Ads 468x60px

.

මේ උතුම් පුණ්‍යකර්මය වඩාත් සාධනීය එකක්‌ බව


කලකට පසු අසන්නට ලැබුණු, දකින්නට ලැබුණු ප්‍රවෘත්තියක්‌ කෙරෙහි අප හැමගේ අවධානය යොමුවිය යුතු යෑයි අපි විශ්වාස කරමු. 

ඒ පිළිකා රෝගියකුට ප්‍රතිකාර කිරීම සඳහා රජය විසින් මෙතෙක්‌ වෙන්කරනු ලැබ තිබූ රුපියල් ලක්‌ෂ 15 ක සීමාව ඉවත්කර සීමාවකින් තොරව මුදල් ලබා දෙන්නට යෑයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න
කරන ලද නියෝගය පිළිබඳව පුවතයි. 

එය ඊයේ බොහෝ පුවත්පත්වල ප්‍රමුඛ පුවතක්‌ බවට පත්ව තිබිණි. මේ ගත් විශිෂ්ට තීන්දුව ගැන අපිදු රාජිත සේනාරත්න අමාත්‍යවරයාට ප්‍රණාමය පුද කරන්නට කැමැත්තෙමු.

ළඟ ළඟම පිළිකා රෝගීන් සම්බන්ධයෙන් අසන්නට ලැබුණු දෙවැනි ආකර්ෂණීය පුවත එයයි. මීට පෙර "පෙට්‌ ස්‌කෑන්" යන්ත්‍රය මිලදී ගැනීම සම්බන්ධයෙන් ද රටේ බොහෝ දෙනකුගේ ප්‍රසාදය පළ විණි. 


එහෙත් පිළිකා රෝහලට එම යන්ත්‍රය මිලට ගැනීම සඳහා රජය දක්‌වන ලද උනන්දුව උදාසීන එකක්‌ බවට චෝදනා එල්ල විණි. කෙසේ හෝ සෞඛ්‍ය අමාත්‍යවරයා මේ ගත් තීරණය ඒ වෙනුවට ප්‍රසාද ලකුණු හිමි වන තීරණයක්‌ බව කිව යුතුය.

වසරකට අලුත් පිළිකා රෝගීන් 13,000 ක්‌ පමණ ලියාපදිංචි වන බව කියෑවේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව 2020 වර්ෂය වනවිට සෑම පස්‌ දෙනකුගෙන් එක අයකු පිළිකා රෝගයට ගොදුරුවීමේ ප්‍රවණතාවක්‌ තිබේ. 


එමෙන්ම වර්තමානය වනවිට පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීම යනු විශාල මුදල් ප්‍රමාණයක්‌ වැය කළ යුතු කාරණයක්‌ බවට පත්ව තිබේ. පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීම ලොව පුරා ලාභදායී ව්‍යාපාරයක්‌ බවට පත්ව ඇත්තේ ඒ නිසාය. පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීමෙන් ඇමරිකාව පමණක්‌ වසරකට ඩොලර් මිලියන 120 ක ශුද්ධ ලාභයක්‌ උපයන්නේය. 

ලොව පුරා ව්‍යාපාරිකයෝ මෙම ප්‍රතිකාර මඟින් ඩොලර් මිලියන 600 -700 ත් අතර ප්‍රමාණයක්‌ ශුද්ධ ලාභය ලෙස උපයති. ඇමරිකානු පිළිකා සංගමය හා ඇමෙරිකානු රක්‌තවේදීන්ගේ සංගමය යන ආයතන දෙකින්ම පිළිගෙන ඇති ආකාරයට පූර්ණ වශයෙන්ම පිළිකාවක්‌ වැළඳී ඇති අයෙකු ජීවත් වන්නේ වසර පහක පමණ කාලයක්‌ පමණි.

මේ සියලු කාරණා අනුව ස්‌ථිර වශයෙන්ම කිව හැකි කාරණාවක්‌ තිබේ. ඒ එවැනි රෝගියකු සම්බන්ධයෙන් විශාල වියදමක්‌ ඉතා කෙටි කාලයක්‌ තුළ වුව දරන්නට සිදුවන බවය. පිළිකා රෝගය වැළඳී ඇති මේ රටේ බොහෝ රෝගීන් හෝ ඔවුනගේ නෑ හිතවතුන් මේ වියදම දැරීමේ ශක්‌තියක්‌ තිබෙන අය නොවේ. 


පුවත්පත් කියවන බොහෝ දෙනකුට පිළිකා රෝගය නිසා අසරණව සිටින යමෙකුට මූල්‍යමය උපකාර අවශ්‍ය බව කියෑවෙන දැන්වීමක්‌ ඇස නොගැටෙන්නේ නම් ඒ ඉතාම කලාතුරකිනි. සෞඛ්‍ය ඇමැතිවරයා ගත් පියවර මෙවැනි රෝගීන් හා ඔවුන්ගේ නෑ හිතවතුන් බොහෝ දෙනකුගේ අස්‌වැසිල්ලට හේතු වන බව නියතය.

ඒ අනුව ලක්‍ෂ 15 ක සීමාව ඉවත් කිරීමෙන් පසු රෝගියකු ජීවත්ව සිටින තාක්‌කල් අවශ්‍ය සියලු ප්‍රතිකාර සහ ඖෂධ ලබාදීමට ඉදිරියේදී කටයුතු කෙරේ. මෙය එක්‌ අතකින් අතිශය සංවේදී සහ මානුෂීය තීරණයක්‌ බවද කිව යුතුය. 


රුපියල් ලක්‍ෂ 15 ක සීමාවක්‌ නියම කළ පසු එම වියදම් දැරීමෙන් අනතුරුව එම රෝගියාට මියයන්නට සූදානම් වන ලෙස දැනුම් දෙන ආකාරයේ නිවැරදි නොවන පණිවුඩයක්‌ සන්නිවේදනය විය හැකිය. ඒ නිසාම මේ ගත් පියවර රෝගියකුගේ මානසික සුවය (විශේෂයෙන්ම පිළිකා රෝගියකුගේ) සඳහාද අතිශය ඉවහල් වන්නක්‌ බව කිව යුතුය.

එහෙත් ස්‌ථිර වශයෙන්ම සෞඛ්‍ය ඇමැතිවරයාටත්, අදාළ සෞඛ්‍ය නිලධාරීන්ටත් කිවයුතු දෙයක්‌ තිබේ. මෙවැනි සාධනීය පියවරවලට ප්‍රවේශ වන්නා සේම ඖෂධ සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලු කෙරෙහිද වැඩි අවධානයක්‌ යොමු කිරීම අත්‍යවශ්‍ය කරුණක්‌ බවය. 


ලක්‍ෂ 15 ක නොව කෝටි 15 ක වුවද නිකුත් කරන ඖෂධ කල් ඉකුත්වූ ඒවානම්, නොඑසේනම් බාල වර්ගයේ ඒවා නම්, මේ ගන්නා උත්සාහයෙන් ඵලක්‌ නැත. පසුගිය කාල වකවානුවේ දිගින් දිගටම මතුවූයේ එවැනි ගැටලුය. 

කොටින්ම පිළිකා රෝහල සම්බන්ධයෙන්ද මෙවැනි කතා බහුලව අසන්නට ලැබුණි. මේ උතුම් පුණ්‍යකර්මය වඩාත් සාධනීය එකක්‌ බවට පත්කර ගැනීම උදෙසා ඒ අක්‍රමිකතාවන්ද අකා මකා දැමිය යුතු බව අපි මතක්‌ කර සිටිමු.
 
Related Posts with Thumbnails