Ads 468x60px

.

හදා ගන්නට වැරදි බොහෝ තිබෙන බව....


ගැමුණු යන නම තිබුණු පමණින් තමන් ඉතිහාසයට එකතුවන රජවරුන් යෑයි සිතා කටයුතු කරන මිනිස්‌සු රටේ සිටිති. මැරවින් පන්නයේ සමහර දේශපාලනඥයන් මෙන්ම බිස්‌නස්‌ කාරයන් ද එසේ සිතා කටයුතු කරන බව "බස්‌ ගැමුණු" කියන කතා නිසාම විශ්වාසයෙන් කිව හැකිය. 

බස්‌ ගැමුණුට එහි බස්‌රථ ව්‍යාපාරයක්‌ තිබේ. නම ගැමුණු වූ පමණින් තඩි ඉන්දියන් බස්‌ රථයක්‌ කණ්‌ඩුල ඇතාට සමකර නාඩගම් නැටීම බස්‌ ගැමුණු වහා නතර කළ යුතුය.

ඊයේ පෙරේදා මේ පුද්ගලයා අපූරු කතාවක්‌ කියා තිබිණි. ඒ අපේ මේ ලියවිල්ලට නිමිත්ත වන්නේ ඒ කාරණයයි. සියලුම පුවත්පත්, විද්යුත්

මාධ්‍ය වාර්තා කළ ආකාරයට කතාව මෙසේය. 

ලබන මස පළමුවැනිදාට සිදුවන බස්‌ ගාස්‌තු සංශෝධනයේදී බස්‌ ගාස්‌තු සංශෝධනය කිරීමට සලකා බලන කරුණු 12 ට අමතරව "මාර්ග තදබද ගාස්‌තුවක්‌ ද" ඇතුළත් කරන ලෙස ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න ඉල්ලා තිබිණි.

බස්‌ සංගමය වෙනුවෙන් කතා කරන එහි සභාපතිවරයාගේ මෙම ඉල්ලීම සමස්‌ත පෞද්ගලික බස්‌රථ හිමියන්ගේ අදහස දැයි කියන්නට අප දන්නේ නැත. 


ඊට හේතුව හැමදාමත් මාධ්‍ය සාකච්ඡාවන් පවත්වා මෙවැනි මොලේ විකාර කතා කියන බස්‌ ගැමුණුගේ අදහස්‌ ප්‍රතික්‍ෂේප කරන පිරිසක්‌ද සිටින බවට රටේ ජනතාවට දිගුකාලීන අත්දැකීම් තිබෙන නිසාය. 

මේ බස්‌ ගාස්‌තු සංශෝධනයේදී සලකා බලන්නට යෑයි කියන "මාර්ග තදබද ගාස්‌තුව" ගැන ගැමුණු විඡේරත්නට අදහසක්‌ පහළ වී ඇත්තේ මහ මඟ වැය වන ඉන්ධන ප්‍රමාණය ගැන දුක සිතීම නිසාය. 

රටේ ජනතාව වෙනුවෙන් අපටද ගැමුණු විඡේරත්නට දුක හිතෙන කතාවක්‌ කියන්නට තිබේ. මේ කතාව අප හැමදෙනාම දන්නා කතාවයි. හැමටම අත්දැකීමක්‌ ඇති කතාවයි. 

කොටුවෙන් පමණක්‌ නොව ලංකාවේ කොයි පෙදෙසින් වුව පෞද්ගලික බස්‌ රථයකට නැඟිවිට විනාඩි 20 -30 ට යා හැකි ගමන පැයක්‌ පමණ කොට කොටා යන්නේ මාර්ග තදබදය නිසාම නොවන බව ගැමුණුද ඉන්තේරුවෙන්ම දන්නා දෙයකි.

පිටත්වන්නට ඔන්න මෙන්න බව පෙන්වමින් වරින්වර රේස්‌ කරමින්, ගෙදර සිටින මිනිසා ඇඳ පැළඳ එනතුරුම කල්මරණ බස්‌ රථවල වැය වන්නේ ඉන්ධන ද නැතිනම් වෙනත් තෙලක්‌ද යන්න අපට පැහැදිලි කළ යුතු ය. 


නොඑසේ නම් ඒ කල්මරන්නේ (කොට කොටා යන්නේ) මාර්ග තදබදය නිසාද යන්න රටට කිව යුතුය. කාගේ කාගෙත් වාසනාවට, "මගියා පැමිණෙනතුරු බස්‌රථය රේස්‌ කිරීමේ" ගාස්‌තුවක්‌ ගැන අදහසක්‌ මේ උදවියගේ ඔ`ථගෙඩිවලට පැමිණ නැත. 

මේ උදවිය මාර්ග තදබද ගාස්‌තුවක්‌ ගැන කියන්නේ සුපුරුදු ලෙසම බස්‌ වර්ජන "තග" ආණ්‌ඩුවට එල්ල කරමිනි. බස්‌ ගැමුණු මාධ්‍ය සාකච්ඡාවක්‌ පවත්වා කී මේ කාරණාවලට අමතරව තවත් වැදගත් කතාවක්‌ කියා තිබිණි. ඒ බස්‌රථවලට වෙනම මංතීරුවක්‌ අවශ්‍ය බවය. මේ වනවිටත් කොළඹ හා බස්‌නාහිර පළාතේ බොහෝ ප්‍රදේශවල මංතීරු පිළිබඳව නීතිය ක්‍රියාත්මකය.

කොහොමටත් එහෙම නීතියක්‌ තිබේ. ඒ නිසාම බස්‌ රථ ධාවනය කළ හැක්‌කේ වම්පස වම් තීරුවෙහි බව පසුගිය දිනවල දැනුම්වත් කිරීම් ද සිදු කෙරිණි. මේ වනවිට එම නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වේද නොවේද යන්න ගැන අදාළ බලධාරීන් විමර්ශනය කළ යුතුය. 


කෙසේ හෝ අපට අසන්නට වන්නේ මේ මං තීරුව ගැන පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමය නොදන්නේද යන්නය. එහෙම නීතියක්‌ තිබුණද ඒ ගැන පෞද්ගලික බස්‌රථ තඹ දොයිතුවකට මායිම් නොකරන බවද, මහපාර යනු ඔය කියන පෞද්ගලික බස්‌ රථවලට අයත් පරවේණී උරුමයක්‌ ලෙස සලකා කටයුතු කරන බව ද, පාරට බසින ඕනෑම කෙනකුට දකින්නට ලැබෙන කාරණයකි. 

ඒ නිසාම මේ හදිසියේ, බස්‌ ගාස්‌තු සංශෝධනයට මාර්ග තදබද ගාස්‌තු අය කරන්නට යෑයි යෝජනා කරන උදවියට හදා ගන්නට වැරදි බොහෝ තිබෙන බව අවධාරණය කළ යුතුය.
 
Related Posts with Thumbnails