Ads 468x60px

.

වගකිව යුතු කවරකු වුව ඉක්‌මණින්ම මේ තත්ත්වය වෙනස්‌ කිරීමට කටයුතු කළ යුතු බව...


සමහර බන්ධනාගාර නිලධාරීන් රැඳවියන්ගේ 'සර්වන්ට්‌ලා' (මෙහෙකරුවන්) බවට පත්ව සිටින වග ලියා තැබිය යුත්තේ වගකීමෙනි. ඒ තත්ත්වයට බන්ධනාගාරය තුළ ක්‍රමවේදය සැකසී තිබේ. 

ඒ නිසාම රැඳවියන්ගේ නිවෙස්‌වලින් බන්ධනාගාරයට 'විසිට්‌' ආවත් නාවත් "අවශ්‍ය දේ" සපයා දීමට උදවිය ඕනෑ තරම් බන්ධනාගාර තුළ සිටිති. ඊයේ පෙරේදා කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ නියාමක
වරයෙක්‌ සිය නිල ඇඳුමේ පාවහන් යට රුපියල් ලක්‍ෂයකට වැඩි වටිනා කමකින් යුත් කේරළ ගංජා ග්‍රෑම් 15 කුත් මිලිග්‍රෑම් 700 ක්‌ ගෙන යමින් සිටියදී හසුවී තිබිණි. 

කිසිවෙකුත් මෙය ඇඟ කිලිපොළා යන "මාර නිවුස්‌" එකක්‌ හැටියට ගත යුතු නැත. අපේ විශ්වාසයේ හැටියට මෙය ඉතාම සරල සිද්ධියකි. එකම දේ "බඩු අතේ මාට්‌ටු" වීමය. නැතිනම් බන්ධනාගාරය තුළට කේරළ ගංජා නොව, ඕනෑම මත්ද්‍රව්‍යයක්‌ ගෙන යන කෂඩ නිලධාරීන් සිටින බව කිව යුතුය.

මෙවැනි අමන නිලධාරීන් රාජකාරියේ යෙදෙන්නේ බන්ධනාගාරයේ වුවද සැබෑ රාජකාරිය වෙනත් එකකි. නමගිය කුඩු ජාවාරම්කරුවකුගේ කුඩු සමාගමක "අනියම් සේවකයන්" හැටියට ද මේ නිලධාරීන් යෑයි කියන සමහර පිරිස්‌ කටයුතු කරති.

අපි නැවතත් රටේ ජනතාවට 2015 සැප්තැම්බර් මාසයේ ප්‍රවෘත්තියක්‌ සිහිපත් කරමු. එම ප්‍රවෘත්තියේ සඳහන් වූයේ වෙලේ සුදාගේ මත්ද්‍රව්‍ය ජාවාරම පවත්වාගෙන යැමට සහය ලබාගැනීමට ජංගම දුරකථන 174 කට රුපියල් මිලියන ගණනක්‌ ගෙවා ඇති බවය. 


වෙලේ සුදාගෙන් මුදල් ලබාගත්තේ යෑයි කියන බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව 45 ක්‌ යෑයි මුලදී කීවද රහස්‌ පොලිසිය අදාළ නාමලේඛණයෙන් ඉදිරිපත් කර තිබුණේ බන්ධනාගාර නියාමකවරු 17 දෙනකු පමණි. එහෙව් නිලධාරීන් සිටින බන්ධනාගාර තුළ කේරළ ගංජා ගෙන යැම ඉතා සුළු සිදුවීමක්‌ පමණි.

ගංජා, ආයුර්වේද බේත් සඳහා භාවිතයට ගන්නා පැලෑටියකි. මේ නියාමකවරයා බන්ධනාගාරය තුළට ගංජා ගෙන ගොස්‌ ඇත්තේ එවැනි සද්කාර්යකට නොවන බව පැහැදිලිය. මේ "බඩු" මේ පුද්ගලයා ගෙන යන්නේම කාගේ හෝ ඕඩරයකටය. නිකං නොවේ මුදලටය. 


රස්‌සාවට වඩා මෙහෙකාරකම හොඳ යෑයි සල්ලි කොළ දකින විට ඒකාට සිතෙන්නට ඇත. එහෙත් ප්‍රශ්නයක්‌ තිබේ. මේ අමනයා අශුචි තවරන්නේ බන්ධනාගාරයේ ගෞරවනීය නාමයේය. ඒ ද සල්ලි කොළ නිසාම බව පැහැදිලිය. මෙවැනි එකෙකු දෙන්නෙකු බන්ධනාගාර රස්‌සාව ගණිකා වෘත්තියේ යොදවන විට ඊළඟට ඇති වන තත්ත්වය අමුතුවෙන් කිව යුතු නැත.

බන්ධනාගාරය යනු හිල්ටන් හෝටලයේ එක්‌ පරිශ්‍රයක්‌ නොවේ. රටේම සිටින මගෝඩි වැඩ කළවුන් රඳවා තබන ස්‌ථානයයි. මේ වැරැදි කර සිපිරි ගෙට එන පුද්ගලයන්ගේ මොළය සේදීම මොළේ ඇති පුද්ගලයන් විසින් කළ යුත්තකි. 


"වැරැද්දක්‌" කර පැමිණ ඊට දඬුවම් විඳින එකාට, වැරැද්දක්‌ කරන්නට අනුබල දීම බන්ධනාගාරයට අදාළ තත්ත්වයෙන් පිට පැනීමකි. එවිට "හිර ගෙදරක්‌" නඩත්තු කිරීමේ අවශ්‍යතාවක්‌ නැත. එළියේ කරන වරදම සිපිරිගෙයිදීත් කරන්නට අනුබල දෙන (වැරදි හදන්නටම සිටින) කෂඩ නිලධාරීන් ගැන මීටත් වඩා සැලකිලිමත් විය යුතු බව අපේ අදහසය.

මෙවැනි බාල වර්ගයේ වැඩ බන්ධනාගාරයේ මෑත ඉතිහාසය පුරා අපට අසන්නට දකින්නට ලැබිණි. බොහෝ දෙනෙක්‌ට "වරදට දඬුවම්" හිමිවිණි. එහෙත් ඒ කිසිවකින් පාඩමක්‌ ඉගෙනගත් බවක්‌ පෙනෙන්නට නැත. 


රැඳවියන් (අතිශය දරුණු අපරාධකරුවන්, කුඩු කප්පිත්තන්) ගෙදර සිටිනවාටත් වඩා හොඳින් බන්ධනාගාරය තුළ කාලය ගත කරන්නේ මෙවැනි අමන නිලධාරීන්ගේ පිහිටෙනි. නැතිනම් හිරගෙදරින් වටිනා, අතිශය දියුණු තාක්‍ෂණයක්‌ සහිත ජංගම දුරකථන හසුවන්නේ කොහොමද? 

අපේ විශ්වාසය, මෙවැනි තත්ත්වයන් වළකාලීමට ගන්නා ක්‍රමවේදයන් තුළ යම් යම් අඩුපාඩු තිබෙන බවය. නොඑසේනම් නීති රීති ප්‍රමාණවත් නොවන බවය. හසුවුණේ එකෙකි. එහෙත් මෙය සංවිධානාත්මක තවත් පිරිසක්‌ සමගම ක්‍රියාත්මක බව කිව යුතුය. වගකිව යුතු කවරකු වුව ඉක්‌මණින්ම මේ තත්ත්වය වෙනස්‌ කිරීමට කටයුතු කළ යුතුය.
 
Related Posts with Thumbnails