Ads 468x60px

.

අවදානම ගැන තවදුරටත් අවධානය යොමු කළ යුතුයි...


වැසි විපත්, ආපදාවන් ගැන රටේ ඇතිව තිබෙන කතා බහේ උණුසුම මැකී යන්නටත් පෙර තවත් බරපතළ විනාශයක්‌ ගැන කතාවක්‌ අසන්නට සිදුව තිබේ. ඒ කොස්‌ගම හමුදා කඳවුරේ ඇතිවූ පුපුරා යාමය. 

එය එසේ මෙසේ පුපුරා යැමක්‌ නොව අවට ගම් කිහිපයකම ජනතාව බියෙන් සලිත කළ කිලෝමීටර හයක පමණ දුරක පිහිටි සියලු ගම්වාසීන්
තාවකාලිකව ඉවත් කරන්නට සිදුවූ තරමේ බරපතළ එකකි. 

මුල් අවස්‌ථාවේ ගිනි නිවන දෙපාර්තමේන්තුවේ ගිනි නිවන රථ පහක්‌ පමණ එම ගින්න ඇතිවී තිබුණු තැනට යාමට හැකියාවක්‌ ලැබී නැත. 

ගින්න මැඬ පැවැත්වීම සඳහා අවශ්‍ය සහාය ලබා ගැනීමට ත්‍රිවිධ හමුදාවම කැඳවා තිබූ අතර එම පිරිසට පවා එම ස්‌ථානයට ළඟාවීමේ දැඩි අපහසුතාවක්‌ පැන නැඟී තිබුණු බව වාර්තා විණි. 

කෙසේ හෝ ඊයේ (6 දා) උදේ වන විට තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකියාව ලැබී තිබුණු බව බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර විසින් මාධ්‍යයට දන්වනු ලැබ තිබිණි.

කෙසේ හෝ මේ විනාශය නිසා සිදුවූ ජීවිත හානි පිළිබඳව තවමත් හරි හැටි තොරතුරු වාර්තාවී නැත. එමෙන්ම විනාශය නිසා සිදුවූ අලාභහානියද තක්‌සේරු කළ නොහැකි තරම් බව කියති. 


එහෙත් මේ මොහොතේ එවැනි "ගණනය" කිරීම් වලට යාමට වඩා වැදගත් වන්නේ තවදුරටත් හානි වීමට ඇති ඉඩකඩ අවම කර ගැනීම බව අපේ විශ්වාසයයි. එමෙන්ම මේ මොහොතේ ජනමාධ්‍ය වුව වගකීමෙන් යුතුව පුවත් පළ කිරීමට කටයුතු කිරීම වැදගත්ය. 

විවිධ මාධ්‍ය මගින් මෙම කඳවුරේ පිහිටි අවි ගබඩාව මෙරට විශාලතම අවි ගබඩාව ලෙසත් තවත් සමහර මාධ්‍ය මගින් එය මෙරට දෙවැනි විශාලතම අවි ගබඩාව බවත් සඳහන් කර තිබිණි. බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර කියන්නේ එවැනි තොරතුරු රහස්‌ හැටියට තබාගත යුතු බවය. 

මේ රටේ යුද්ධයක්‌ තිබුණු කාලයේ මෙවැනි තොරතුරු ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කළේ නැත. වර්තමානයේ එය රහසක්‌ හැටියට තබාගත යුතු යෑයි අප විශ්වාස කරන්නේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් අපි කාටත් වගකීමක්‌ තිබෙන නිසාය.

2009 අවුරුද්දේ වවුනියාව යුද හමුදා අවි ගබඩාවද මේ ආකාරයෙන්ම පිපිරී, ගිනිගෙන විනාශ විය. එය එල්ටීටීඊ ප්‍රහාරයක්‌ නිසා සිදුවූ බව කියෑවේ. හමුදා ආරංචි මාර්ගවලට අනුව කොස්‌ගම කඳවුරේ පිපිරී යාම නිසා සිදුවූ හානිය ඊට වඩා අඩුය. 


කොස්‌ගම හමුදා කඳවුරේ අවි ගබඩාවේ සැහැල්ලු මෙන්ම බර අවි සඳහා යොදා ගන්නා උණ්‌ඩ, පුපුරණ ද්‍රව්‍ය ගෑස්‌ සිලින්ඩරද තිබී ඇත.

තවමත් මේ හදිසි ගින්නට හේතුවක්‌ සොයාගෙන නැත. එහෙත් මෙය වගකිවයුතු තවත් බොහෝදුර සිතන්නට යමක්‌ ඉතිරිකර ඇති බව පැහැදිලිය. හමුදා නිලධාරීන්, පොලිස්‌ නිලධාරීන් එක්‌ව ගත් ආරක්‍ෂිත ක්‍රියා මාර්ග නිසා ආසන්න නිවෙස්‌වල ජනතාව වහා එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට හැකියාව ලැබිණි. 


ඒ මොහොතේ ත්‍රිවිධ හමුදාවත්, පොලිසියත් එම නිවාසවල ජනතාවගේ ආරක්‍ෂාව ගැන මෙන්ම නිවාස අතහැර දමා දිවගිය ජනතාවගේ නිවෙස්‌ ආරක්‍ෂා කිරීම සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය ප්‍රශංසනීය බව කිව යුතුය.

කෙසේ හෝ මෙය තරමක්‌ බරපතළ කාරණයක්‌ බැවින් ඒ ගැන පූර්ණ පරීක්‍ෂණයක්‌ කිරීමේ දැඩි අවශ්‍යතාවක්‌ තිබේ. පූර්ණ පරීක්‍ෂණයක්‌ පවත්වන මෙන් ජනාධිපතිවරයා ආරක්‍ෂක අංශ ප්‍රධානීන්ටද දන්වා තිබිණි. 


පිපිරීම සහ ගින්න මැඬ පැවැත් වුවද තවමත් අනතුරුදායක තත්ත්වය පහව ගොස්‌ නොමැති නිසා ප්‍රදේශයේ ජනතාවගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන්ද, අදාළ අංශ තවදුරටත් සැලකිලිමත් වීම වැදගත්ය. 

අවි ගබඩාවේ පිපිරුම නිසා අදාළ ප්‍රදේශයේ ජලයට විෂ ද්‍රව්‍ය එකතු වීමේ අවදානමක්‌ ඇති බැවින් ජලය පානය කිරීමේදී සැලකිලිමත් වන්නැයි සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කියා තිබිණි. එමෙන්ම මේ හේතුව නිසා වෙනත් පාරිසරික සංකූලතා මතුවීමේ අවදානමද වැඩිය. 

කඳවුරේ පිපිරුම නිසා කොස්‌ගම කොටහැර කන්ද නාය යාමේ තර්ජනයක්‌ද මතුව තිබෙන බව ඊයේ පුවත්පත් වාර්තා කර තිබිණි. මේ කිසිවක්‌ සුළු කොට තැකිය හැකි ඒවා නොවේ. ආරක්‍ෂාව සම්බන්ධයෙන් වගකීමක්‌ ඇතිවා සේම රජයට මෙවැනි අතුරු කාරණා ගැනද වැඩි වැඩියෙන් සිතන්නට සිදුවේ.
 
Related Posts with Thumbnails