Ads 468x60px

.

ජනවාරි 08 ජනවරමට පිටුපා යන එකක්‌ නොවිය යුතු බව...


වැට්‌ බදු සංශෝධන කෙටුම්පත ඊයේ (20 දා) විවාදයට ගැනීමට නියමිතව තිබුණද එසේ වූයේ නැත. පසුගිය මැයි 02 වැනිදා සිට අයකර ගැනීමට
කටයුතු කරන ලද වැට්‌ බද්ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවනු ලැබුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර එසේ බදු අයකිරීම වැරදි බව පෙන්වා දෙමිනි. එහෙත් ඒ වනවිටත් වෙන්නට ඕන හරිය වුවමනාවටත් වඩා හොඳින් සිදුවී තිබිණි.

ආණ්‌ඩුව වැට්‌ බදු පනවනවා යෑයි කී දින සිටම ජනතාවට වැට්‌ බද්දේ රඟ පෙනිණි. අවසානයේ සිදුවූයේ, පාරිභෝගිකයා නොව ව්‍යාපාරිකයන් එම වැට්‌ බද්දට එරෙහිව වීදි බැසීමය. ජනතාවට සහන ඉල්ලමින් පිරිසක්‌ අධිකරණයට යන්නේද මේ අතරවාරයේය. 


කෙසේ හෝ දැන් වැට්‌ බද්ද ගැන කතාව අඩුය. එහෙත් සිදුවීමට නියමිත දේ අවිනිශ්චිතය. වැට්‌ බද්ද පැනවූ දා සිටම වැට්‌ බද්දට කරමුලින්ම හසුවූ ජනතාවට ආණ්‌ඩුවේ එම "බරපතළ අත්වැරැද්ද" නිසා ඇතිවූ පාඩුව පියවා ගැනීමේ හැකියාවක්‌ නැත. 

උදාහරණයක්‌ හැටියට පසුගිය ජුනි මාසයේ සියලුම දුරකථන සමාගම් (ස්‌ථාවර සහ ජංගම) එම වැට්‌ බද්දට අයත් මුදල රටේ ජනතාවගෙන් අයකර ගත්හ. සියලුම පෞද්ගලික රෝහල් අදාළ බදු මුදල අය කර ගත්හ. 

දැන් අවම වශයෙන් සියලුම දුරකථන සමාගම්වලට පාරිභෝගිකයන්ගේ මෙවර බිල්පත්වලින් එම මුදල අඩුකර දීමට හැකියාවක්‌ තිබේද යන්න ආණ්‌ඩුව කල්පනා කළ යුතුය. එහෙත් පුද්ගලික රෝහල් වලදී ප්‍රතිකාර සඳහාත්, සැත්කම් සඳහාත් ජනතාව විසින් ගෙවනු ලැබූ (නීති විරෝධී) බදු මුදල් ලබා ගැනීමට හැකියාවක්‌ නැත.

රටේ ජනතාවගේ ප්‍රශ්න ගැන "පත්තරවල" බොහෝ දේ පළවූ නිසාත්, වගකිව යුතු අය ඒවා කියවා ඇති නිසාත, අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්‌ඩ 15 ක මිල සංශෝධනය කිරීමට ආණ්‌ඩුව කටයුතු කළේය. 


එසේ මිල සංශෝධනය කළ, නොඑසේ නම් පාලන මිලක්‌ නියම කළ භාණ්‌ඩ අතර සස්‌ටජන්, පිටිකිරි, සීනි, තිරිඟු පිටි, පරිප්පු, කරවල, මුංඇට, ලොකු ලූනු, කිරිපිටි, කුකුළු මස්‌, අර්තාපල්, වියළි මිරිස්‌ වැනි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්‌ඩ විය.

දැන් මේ පාලන මිල සම්බන්ධයෙන්ද ව්‍යාපාරිකයන් අතර විශාල කතා බහක්‌ මතුව තිබේ. බොහෝ ව්‍යාපාරිකයන් පවසන්නේ ගහෙන් ගෙඩි එන්නා සේ පාලන මිලට බඩු ලබාදිය නොහැකි බවය. මේ වන විට ගෙනැවිත් ඇති තොග ආනයනය කර ඇත්තේ "පරණ මිලටම" නිසා පාලන මිලට බඩු ලබාදීම කළ නොහැකි බව ඔවුනගේ අදහසයි.

(පරණ මිලට ආනයනය කරන ලද බඩුවලට වැට්‌ ගැසීමට ඉක්‌මන් වීම වෙනම කාරණයකි.) කෙසේ හෝ ජනතාවට වැට්‌ ගැසූ "ඉක්‌මනටම" පාලන මිලට බොහෝ බඩු ලැබෙන්නට ප්‍රමාද වන හැටියක්‌ පෙනෙන්නට තිබේ. 


කෙසේ හෝ රටේ ජනතාවගේ ප්‍රධාන ආහාරය වන පාන් පිටි වෙනුවට හාලට පුරුදු වෙන්නට යෑයි කියන ආණ්‌ඩුව "සහල්" සඳහා පාලන මිලක්‌ නියම කර නැත. පරිප්පු, කරවල, අර්තාපල්, බත් සමග නොව "පිදුරු" සමඟ කෑ හැකි යෑයි සිතන අයෙකුට මේ ක්‍රමය හරි විය හැකි නමුත් තවමත් බත්කන මිනිසුන් ජීවත්වන රටකට එවැනි විහිළු අවශ්‍ය නැත.

වැට්‌ විවාදය පරක්‌කු කරන්නේ තවත් ජංජාලයකට දැයි අසන්නට නොව කල්පනා කරන්නටවත් අප ඉක්‌මන් වන්නේ නැත. එහෙත් ඒ කවර තීරණයක්‌ වුව ජනවාරි 08 ජනවරමට පිටුපා යන එකක්‌ නොවිය යුතු බව අපේ විශ්වාසයයි. මේ ආණ්‌ඩුව පත්කළේ මේ රටේ ජනතාව බව ආණ්‌ඩුවේම උදවිය කියන විට අප කියන කාරණය සාධාරණ බව වැටහෙනු ඇත.
 
Related Posts with Thumbnails