Ads 468x60px

.

වරද ඇත්තේ බැණ බැණ ම පෞද්ගලික බස්‌ රථවලට ගොඩ වන අප අතේය...


පෞද්ගලික බස්‌ ගාස්‌තුව ලබන මස (අගෝස්‌තු) 01 දා සිට සියයට හයකින් ඉහළ දැමීමට පෙරේදා (12 වැනිදා) රැස්‌ වූ කැබිනට්‌ මණ්‌ඩලය තීරණය කරන ලද බව ඊයේ වාර්තා වී තිබිණි. 

ඒ අනුව මෙතෙක්‌ රුපියල් අටක්‌ව තිබූ අවම බස්‌ ගාස්‌තුව රුපියල් නවය දක්‌වා ඉහළ දැමේ. වඩාත් නිවැරැදිව කිව්වොත් නැගලා බැස්‌සත් රුපියල්
නවයයි. මාරු කාසි පිළිබඳව කොහෙත්ම ගැටලුවක්‌ ඇතිවන්නේ නැත. 

ඒ, කොන්දොස්‌තරවරයා කොහොමත් රුපියල් දහයම අය කර ගැනීම අනිවාර්ය බැවිනි. අවම බස්‌ ගාස්‌තුව එසේ රුපියලකින් වැඩිවන අතර ඊට පසු ගාස්‌තුව වන රුපියල් 12 ගාස්‌තුව රුපියල් 13 ක්‌ වනු ඇත. 

රුපියල් 15 ගාස්‌තුව රුපියල් 16 ක්‌ බවට පත් වේ. රුපියල් 18 ගාස්‌තුව රුපියල් 20 ක්‌ දක්‌වා වැඩි වේ. රුපියල් 20 ට වැඩි ගාස්‌තු 6% ක ප්‍රතිශතයකින් වැඩිවේ.

ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න රූපවාහිනි නාලිකා සඳහා ප්‍රකාශ කර සිටියේ තවත් මාස දෙකකින් පමණ අනිවාර්යයෙන්ම මේ ගාස්‌තු ද වැඩි විය හැකි බවය. පෞද්ගලික බස්‌ සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් කියන්නේ මේ ගාස්‌තු වැඩි කිරීම ප්‍රමාණවත් නොවන බවය. 


ඒ කතා දෙකම අහන විට තවත් මාස දෙකකින් පමණ මේ ගාස්‌තු වැඩි කිරීමට නියමිත බව ඉඳුරාම කිව හැකිය. මෙවැනි "ප්‍රයිවට්‌ බස්‌" කතා ජනතාවට දැන් හොඳහැටි පුරුදු දේවල්ය. හරියටම කියන්නට බැරි ඊළඟ බස්‌ වර්ජනය පැවැත්වීමට නියමිතව ඇත්තේ කවදා ද යන්න පමණකි.

පසුගිය වැට්‌ බදු වැඩිවීමත් සමගම බස්‌ ගාස්‌තුවක්‌ අනිවාර්යයෙන්ම ඉහළ යන බව ජනතාව තේරුම් ගෙන තිබිණි. ඒ ජනප්‍රිය ජ්‍යෙdතිෂඥයකු හෝ අනාවැකිකරුවකු කී කතා නිසා නොවේ. "හරකා ඊළඟට පොල් පැළය කා දමන්නේ යෑයි" පෙනෙන්aනටම තිබුණු නිසාය.

වැට්‌ වැඩි කළ සැණින් බස්‌ ව්‍යාපාරික කාට කාටත් ගාස්‌තු වැඩි කිරීමේ කතන්දරය මතක්‌ විය "ව්‍යාපාරික ගැමුණු" මහතා ඒ ගැන කීවේ මෙසේය.

"වැට්‌ බද්ද සියයට 4 කින් වැඩි කිරීමත් සමගම පෞද්ගලික බස්‌ රථ කර්මාන්තයට අදාළ පිරිවැය ඉහළ යැමක්‌ සිදු වේ. ඒ අනුව ජුලි 01 වැනිදා සිදුවන වාර්ෂික බස්‌ ගාස්‌තු සංශෝධනයේදී බස්‌ ගාස්‌තු වැඩිවීමක්‌ අපේක්‍ෂා කෙරේ".

මේ ටික කියා සතියක්‌ යන විට පෞද්ගලික බස්‌ රථ වර්ජනයක්‌ ද කැඳවීමට කටයුතු සංවිධානය විණි. ජනාධිපතිවරයා මේ ප්‍රශ්නයට මැදිහත් වූයේ ඒ අතරය. කතාව පෙළගැහෙන හැටියට දැන් රටේ ජනතාව රුපියල් විස්‌සේ හතළිහේ දුරට ත්‍රිරෝද රියකින් යැම බස්‌රියේ යනවාට වඩා ලාභදායකය. පහසුය. බස්‌ ගාස්‌තු වැඩි වීමක්‌ ඉල්ලන උදවිය අඩුම තරමින් මගියනට පහසුවෙන් සිය ගමනාන්තය දක්‌වා යැමට ඉඩකඩ සලසා දෙන්නේ නම් සාධාරණය.

අවම ගාස්‌තුව හැටියට ගැනෙන රුපියල් නවයක දුර යන මගියකු විඳින අපහසුතා ගැන අමුතුවෙන් කිව යුතු නැත. කොන්දොස්‌තරවරයාගෙන් අමු තිත්ත කතා අසමින් ඉදිරියටත් පසුපසටත් තල්ලු වෙමින් යන ගමනට වඩා පයින් යැම ඊට වඩා ගුණදායක බව අපි විශ්වාස කරමු. 


කොහොමත් මේ වැඩිවීම සෑහුනත් නැතත් බසයකට පැටවිය හැකි ප්‍රමාණයට වඩා තුන් හතර ගුණයක සෙනඟ පටවා ගැනීමත් ඒ සෙනඟ කිටි කිටියේ හිර කරමින් කොන්දොස්‌තර ඒ මැදින් ගමන් කිරීමත් අනිවාර්ය ය. 

එසේ මගීන් පටවාගෙන යන අතරවාරයේත් බස්‌ නැවතුම්වල අධික වේලාවක්‌ "ගල්" වීම් ද, කොට කොටා යැමද පෞද්ගලික බස්‌ රථ මෙරටට ගෙන්වන විටම වැළඳෙන බෝවන රෝගයකි. එය රියෑදුරුගේ, කොන්දොස්‌තරගේ හෝ හිමිකරුවාගේ වරදක්‌ නොවේ. 

පෞද්ගලික බස්‌ සංගම් පුප්පන විට හැකිලෙන වගකිවයුත්තන්ට ලංගම දියුණු කර මේවාට උත්තර සපයන්නට ඉස්‌පාසුවක්‌ නැත. ඒ උදවිය කියන පරිදි ලංගම පාඩුය. එහෙම බලන විට ලංගමටත් පාඩුය. ගැමුණුලාටත් පාඩුය. රටේ ජනතාවට කිසිදු අඩුපාඩුවක්‌ නැත. වරද ඇත්තේ බැණ බැණ ම පෞද්ගලික බස්‌ රථවලට ගොඩ වන අප අතේය.
 
Related Posts with Thumbnails