Ads 468x60px

.

ඩෙංගු මදුරුවා ශ්‍රී ලංකාවේ ගිනස්‌ වාර්තා පිහිටුවීමට පෙර...


බස්‌නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය පසුගිය දිනෙක අපූරු කතාවක්‌ කියා තිබිණි. කතාවේ සංක්‌ෂිප්තය මෙසේය. "පසුගිය ආණ්‌ඩුවේදී ගෝඨාභය රාජපක්‌ෂ හමුදාව එවන විට එයට බියවී ජනතාව ඩෙංගු මර්දනයට පියවර ගත්තා. ඒත් දැන් එසේ සිදුවන්නේ නෑ. 

දැන් නගර සභාවේ නිලධාරීන් ආවාම මිනිස්‌සු බයවෙන්නේ නෑ". මේ කතාව අපට කාරණා කිහිපයක්‌ පැහැදිලි කර දේ. ඒ ගැන කතා කරන්නට පෙර මහ ඇමැතිවරයා කියන "ඩෙංගු" කතාව ගැන කෙටි
පැහැදිලි කිරීමක්‌ කළ යුතුයි. ඒ අප නැවතත් ඩෙංගු ගැන කියන්නට යන නිසාය. අපි සති තුනක්‌ තිස්‌සේ වරින් වර මේ ගැන ලීවෙමු.

2016 අවුරුද්දේ පෙබරවාරි මාසයේ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ඩෙංගු ගැන සංඛ්‍යා ලේඛනයක්‌ ඉදිරිපත් කරන ලදී. එහි තිබූ පරිදි 2016 ජනවාරි මාසයේ පමණක්‌ ඩෙංගු රෝගීන් 3,333 (තුන්දහස්‌ තුන්සිය තිස්‌තුනක්‌) පිළිබඳව වාර්තා වී තිබේ. ඉනිදු 1316 ක්‌ වන වැඩිම රෝගීන් වාර්තා වී තිබෙන්නේ කොළඹ දිස්‌ත්‍රික්‌කයෙනි.

මේ වන විට 2016 අවුරුද්දෙන් මාස හයක්‌ ගෙවී අවසන්ය. මේ මාස හය තුළදී දිස්‌ත්‍රික්‌ක දහයකින් රෝගීන් 21,000 (විසිඑක්‌දාහක්‌) පමණ වාර්තා වී තිබෙන බව අලුත්ම වාර්තාවල දැක්‌වේ. සමහර දිස්‌ත්‍රික්‌කවලින් සතියකට ඩෙංගු රෝගීන් 1500 ක්‌ පමණ වාර්තා වන බවද සඳහන්ය. ඉකුත් වර්ෂයේ එනම් 2015 වර්ෂය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 29063 ක ප්‍රමාණයකි. ඒ අනුව මේ වර්ෂය ඩෙංගු "වාර්තා" තබන මට්‌ටමේ ව්‍යසනයක්‌ බවට පත්ව තිබෙන බව පෙනෙන්නට තිබේ.

බස්‌නාහිර මහ ඇමැතිවරයා කියන කතාව අප ගළපා ගත යුත්තේ මේ සංඛ්‍යාලේඛනය සමඟය. ඒ අනුව මේ අවුරුද්දේ ඩෙංගු වැඩිවීමට එක්‌ හේතුවක්‌ වී තිබෙන්නේ ජනතාවගේ "බිය සැක" තුරන් වීමය. කරුමෙට මෙන් මේ "බය නැති වී" තිබෙන්නේ ඩෙංගු රෝගයට නොවේ. 


තමන්ගේ පරිසරය අපවිත්‍ර කිරීමටය. කොටින්ම කීවොත් දැන් මේ මිනිස්‌සු නැවතත් කසළ ගොඩවල් සමඟ ජීවත්වීමට පුරුදු වී සිටිති. පහුගිය ආණ්‌ඩුව සමයේ හමුදාවට "බයේ" ඩෙංගු මර්දනය සඳහා සහය දැක්‌වීමම මේ මිනිසුන්ගේ මෝඩකම එළිපිටම ප්‍රදර්ශනය කිරීමකි. 

ඇත්තෙන්ම "ඩෙංගු" යනු කාටවත් බයේ නවතා දැමිය යුතු ව්‍යසනයක්‌ නොවන බව ඉහත සංඛ්‍යා ලේඛනවලින් අපූරුවට පෙන්වා දේ. පසුගිය අවුරුදු කිහිපයේම ක්‍රියාත්මක කරන ලද ඩෙංගු මර්දන ව්‍යාපෘතිවල "ප්‍රගතිය" කවරාකාරදැයි ඉහත සංඛ්‍යාලේඛනවලින් විමර්ශනය කළ හැකිය. ඇත්ත වශයෙන්ම ඩෙංගු මර්දනය යනු රටේ කාගෙත් අවධානයට ලක්‌විය යුතු වගකීමක්‌ ගතයුතු ක්‍රියාවලියකි. 

ආණ්‌ඩුව පැත්තෙන් ඒ කෙරෙහි දක්‌වන උනන්දුව ක්‍රියාත්මක වීම සියයට 50 ක්‌ නම් ඉතිරි සියයට පනහම ජනතාව පැත්තෙන් ක්‍රියාත්මක විය යුතු ඒවා බව අපේ අදහසයි. මහපාර, කුණු කානු, බෝක්‌කු, ඇළ මාර්ග පිරිසිදු කිරීම ආණ්‌ඩුවේ වැඩක්‌ බව ඇත්තය. 

එහෙත් ගෙවත්ත පිරිසිදුවට තබා ගැනීමටවත් තම තමන්ට හැකියාව තිබෙන බව කවුරු කවුරුත් තේරුම් ගත යුතුය. පොල් කෝම්බ, ටින් කැබලි, පරණ ටයර් අයින් කරන්නට හමුදාව හෝ නගර සභාවේ නිලධාරීන් ගෙදරට එනතෙක්‌ සිටිය යුතු නැත. 

සැබෑව නම් මාරයා සිටින්නෙත් මාරයාට නිදහසේ සිය රාජකාරිය කරන්නටත් අවස්‌ථාව සලසා දෙන්නේ රටේ ජනතාවම බවය. පරණ ආණ්‌ඩුවේත්, තිබෙන ආණ්‌ඩුවේත් ගුණ දොස්‌ සෙවීමෙන් වැඩක්‌ නැත. වගකිව යුත්තන්ද ආණ්‌ඩුවල හොඳ නරක සොය සොයා සිටීමෙන් පලක්‌ නැත. ඩෙංගු මදුරුවා ශ්‍රී ලංකාවේ ගිනස්‌ වාර්තා පිහිටුවීමට පෙර වැඩ පටන්ගන්න........ !
 
Related Posts with Thumbnails