Ads 468x60px

.

තහනම හොඳයි හැබැයි ඉක්‌මනින්...!


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ග්ලයිෆොසෙට්‌ අඩංගු කෘෂි රසායනයන් ආනයනය කිරීම හා අලෙවිය වහාම ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන්ම තහනම් කරන බව 2015 මැයි 22 වැනිදා කීවේය. 

ජනාධිපතිවරයා එය ප්‍රකාශ කර දින කිහිපයකට පසු එනම් 2015 මැයි 28 වැනිදා කැබිනට්‌ මණ්‌ඩලය එම තහනමට අනුමැතිය ලබාදුන්නේය. ජුනි
11 වැනිදා වන විට (දින 100 ආණ්‌ඩුවේ) මුදල් ඇමැති රවි කරුණානායක මහතා ද ආනයන අපනයන පාලන පනත යටතේ ග්ලයිෆොසෙට්‌ මෙරටට ගෙන්වීම ජුනි 11 වැනිදා තහනම් කරන ලදී. 

විශේෂත්වය වන්නේ එම "තහනමට" අදාළ කතාබහ අතරවාරයේම ග්ලයිෆොසෙට්‌ අඩංගු කෘෂි රසායන සහිත කන්ටේනර් 15ක්‌ නැවත ආනයනය කර තිබීමය. එමෙන්ම තහනම නොතකා එම කන්ටේනර් 15ම මුදාහරින්නට ද අදිසි හස්‌තයක්‌ කටයුතු කර තිබිණි.

එය වසරකට මදක්‌ වැඩි "පරණ කතාවකි." එවැනි පරණ කතා ගැන කොහොමත් ශ්‍රී ලාංකිකයන් වන අප වැඩි තැකීමක්‌ කරන්නේ නැත. ඒ නිසා අපි අලුත් කතාව ද නැවත වතාවක්‌ සිහිපත් කර සිටිමු.

ඉහත ග්ලයිෆොසෙට්‌ නම් කෘෂි රසායනයටත් වඩා අතිශය විෂ සහිත ග්ලුෆොසිනේට්‌ නම් රසායනිකය ද ඉතාම ආසන්න දිනක මෙරටට ගෙන්වන්නට කවුරුන් හෝ කටයුතු කර තිබිණි. 


එය ග්ලයිෆොසෙට්‌වලටත් වඩා පහළොස්‌ ගුණයකින් පමණ විෂ සහිත බව අපි මීට පෙර ද පෙන්වා දුනිමු. එම කෘෂි රසායනය ගෙන්වීමට කටයුතු කළ සමාගම් දෙක මේ වන විට ලීටර් ලක්‍ෂ තුනක ප්‍රමාණයක්‌ මෙරටට ගෙන්වා තිබේ. 

ග්ලයිෆොසෙට්‌ තහනම් කළේ විෂ සහිත කෘෂි රසායනයක්‌ නිසා නම්, එයින් වකුගඩු විනාශ වන නිසා නම්, ඊටත් වඩා පහළොස්‌ ගුණයකින් විෂ වැඩි කෘෂි රසායනයක්‌ ලංකාවට ගෙන එනතෙක්‌ ඒවා වෙළෙඳපොළට මුදාහරින තෙක්‌ බලධාරීන් බුදිද? යන මෝඩ සහ සුලභ ප්‍රශ්නය අප අසන්නේ නැත. 

ඒ වෙනුවට අපි පසුගිය දිනෙක පළවූ ප්‍රවෘත්තියක්‌ ගැන අවධානය යොමු කරනු කැමැත්තෙමු. එම ප්‍රවෘත්තියට අනුව සියලුම වර්ගවලට අයත් පූර්ණ වල් නාශක ආනයනය කිරීම, අලෙවි කිරීම සහ භාවිත කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නියෝග කරනු ලැබ තිබේ. 

ජනාධිපතිවරයා, පළිබෝධ නාශක රෙජිස්‌ට්‍රාර්වරයා ඇතුළු අදාළ අංශවලට මෙම තහනම් කිරීම පිළිබඳව උපදෙස්‌ ලබාදී තිබේ. ජනාධිපතිවරයා මේ කාරණය ගැන කරනු ලබන අවංක මැදිහත්වීම ගැන අපි ප්‍රශංසා කරමු. 

එහෙත් අපට පෙනෙන හැටියට ජනාධිපතිවරයාට වැඩ කරන්නට සිදුව ඇත්තේ ඔහුගේ උපදෙස්‌ නියෝග නොතකන අන්දමේ නිලධාරි පැළැන්තියක්‌ හා සමහර දේශපාලනඥයන් සමඟ බව ස්‌ථිර වශයෙන්ම සඳහන් කළ යුතුව තිබේ. 

මෙය ඇත්තක්‌ නොවේ නම් ජනාධිපතිවරයා විසින් තහනම් කරනු ලැබ තිබියදීත් පසුගිය 2015 වර්ෂයේ ග්ලයිෆොසෙට්‌ කන්ටේනර් 15ක්‌ නිදහසේ රට තුළට මුදාහරින්නේ නැත. 

නැවතත් පරණ කතාවටම පිවිසුණහොත් 2015 ජුනි මාසයේදී ග්ලයිෆොසෙට්‌ තහනමට අදාළ ගැසට්‌ නිවේදනය සකස්‌ කළ පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයා ඊට අනුමැතිය ලබාගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කර තිබිණි. 

කෘෂිකර්ම ලේකම්වරයා එය ඇමැතිවරයාගේ අනුමැතිය සඳහා යොමු කර තිබේ. කෙසේ හෝ වැඩේ කෙරෙන්නට බොහෝ සෙයින් පමා විය. රජයේ නිලධාරීන්ට, ඇමැතිවරුන්ට අත්සන් කරන්නට ලියුම් බොහෝ සේ ගොඩගැසී ඇති බව අපි දනිමු. සමහර ලිපි සම්බන්ධයෙන් "පොඩි පරක්‌කුවක්‌" කිරීමද සාමාන්‍යය. 

එහෙත් අප කියන්නේ මෙවැනි වැදගත් කාරණා සම්බන්ධයෙන් එවැනි "පරක්‌කු" වලංගු නැති බවත්, මෙය ජනාධිපතිවරයාගේ නියෝගයක්‌ නිසා ඒ ගැන වැඩි අවධානයක්‌ යොමු කළ යුතු බවත්ය. ගෙන්වා ඇතැයි කියන ග්ලුෆොසිනේට්‌ නම් කෘෂි රසායනය සම්බන්ධයෙන් අවශ්‍ය වන්නේ එවැනි ඉක්‌මන් ගැසට්‌ නිවේදනයක්‌ය. 

මේවා ගෙන්වා ඇත්තේ ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ කිසිදු අනුමැතියකින් තොරවය. වකුගඩු රෝග කලාප රට පුරා වැඩි කරන ක්‍රමවේදයකට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් කිසිසේත්ම එකඟ නොවන බවද අපි විශ්වාස කරමු.
 
Related Posts with Thumbnails