Ads 468x60px

.

නීතිය ක්‍රියාත්මක කිරීමත් අනිවාර්යයෙන් ම සිදුවිය යුත්තකි..


ඊයේ (22 දා) හැම පුවත්පතකම අවධානයට ලක්‌ විය යුතු ප්‍රවාත්ති දෙකක්‌ පළ වී තිබිණි. ඉන් පළමුවැන්න හැම පුවත්පතකම ශීර්ෂ පාඨය වූ පෑලියගොඩ බහාලුම් අංගණයකින් මතු වූ කෝටි 411 ක කොකේන්
තොගය පිළිබඳ ප්‍රවෘත්තියයි. 

දෙවැන්න මත්ද්‍රව්‍යයක්‌ භාවිතා කර බෝතල් කටුවලින් අත් පා කපාගෙන ඇති සෙවනගල ප්‍රදේශයේ සිසු සිසුවියන් පිරිසක්‌ පිළිබඳව ප්‍රවෘත්තියයි. මේ පුවත් දෙකටම මත සම්බන්ධ ය. 

ඒ දෙකින් කියෑවෙන්නේ වෙනස්‌ සිද්ධීන් දෙකක්‌ වුව අප ඉදිරියේ ඇති විශාල අනතුරක්‌ ගැන ඉඟි කරන්නට එම වාර්තා ප්‍රමාණවත් ය. 

කොකේන් මත්ද්‍රව්‍ය හසුවීමේ සිද්ධිය අලුත්ම අලුත් එකක්‌ ය. එහෙත් මීට පෙර ද ඒ ආකාරයේම කොකේන් තොගයක්‌ අත්අඩංගුවට ගත් පුවත ද ඒ තරම්ම පරණ නැත. පළමුවර අත්අඩංගුවට ගත් කොකේන් තොගයත්, මෙවර ගෙනවිත් ඇති කොකේන් තොගයත් මෙරටට ගෙනවිත් ඇත්තේ එකම පුද්ගලයකු බව කියෑවේ.

පසුගිය කාලය පුරාම මත්ද්‍රව්‍යවලට සම්බන්ධ මෙවැනි තොරතුරු තොග පිටින් ම වාර්තා වූ බව නැවත නැවතත් සිහිපත් කිරීමට අවශ්‍ය නැත. මෙරට සිටියා යෑයි කියන ප්‍රබලම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බුරුතු පිටින් සිපිරි ගෙට ගාල් වෙද්දී බොහෝ දෙනෙක්‌ සිතුවේ කතන්දරය ඉවර බවය. එහෙත් කවර ජාවාරම්කරුවකු වුව එල්ලුම් ගහට ගියත් කතන්දරය ඉවර කිරීම ලෙහෙසි නැති බව පෙනෙන්නට තිබේ.

පොලිස්‌ දෙපාර්තමේන්තු වාර්තාවලට අනුව මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සතියේ වැඩ කරන දිනකට අවම වශයෙන් චූදිතයන් 330 දෙනෙකුට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනේ. ඒ අනුව පසුගිය වර්ෂයේදී එනම් 2015 වර්ෂයේ 87,840 දෙනකුට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ. 


එහෙත් 2014 වර්ෂයේදී එම සංඛ්‍යාව 71,712 ක්‌ ලෙස සටහන් වේ. මෙහිදී සැලකිය යුතු කාරණය වන්නේ මේ අධිකරණමය ක්‍රියාමාර්ගවලට ලක්‌වන බොහෝ දෙනෙක්‌ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් මිස මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නො වන බව ය. 

ඒ අනුව ඉඳහිට අත්අඩංගුවට ගන්නා, ජීවිතාන්තය දක්‌වා සිපිරිගෙට නියම වන්නන් පිළිබඳව උත්කර්ෂයට නැංවීම ප්‍රායෝගික නැති බව පෙනී යයි. සරලව කියන්නේ නම් මේ කතන්දරය ඉවර කිරීම ලෙහෙසි පහසු නැති බව ය. 2015 වර්ෂයේ අධිකරණ ක්‍රියාමාර්ග ගත් අය අසූහත්දහස ඉක්‌මවීමෙන් පෙනී යන්නේ මත්ද්‍රව්‍ය භාවිත කරන සංඛ්‍යාවේ වැඩිවීමක්‌ මිස අඩුවීමක්‌ පෙනෙන්නට නැති බවය.

සෙවනගල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි කියන සිසු සිසුවියන් සම්බන්ධ ප්‍රවෘත්තිය ගැන වැඩි අවධානයක්‌ යොමු විය යුත්තේ එහෙයිනි. ඇත්ත වශයෙන් ම අප රටේ අනාගතය ගැන යම් බියක්‌ ඇති කර ගැනීම සාධාරණය. 


පාසල් සිසු සිසුවියන්ගේ තත්ත්වය එබඳු නම් පාසල් හැරගිය අය ගැන කවර කතාද? සියලුම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මූලික ඉලක්‌කය වන්නේ ගැටවර වියෙහි තරුණ තරුණියන් ය. එය කොළඹ හතටත්, ඈත සෙවනගල ගමටත් පොදු ය. 

කුඩු ජාවාරම්කරුවාට තම පාරිභෝගිකයන් පිරිස වැඩි කර ගැනීමේ අවශ්‍යතාවක්‌ තිබේ. ඔහුගේ ඉලක්‌කය වන්නේ ඒ වන විටත් මත්ද්‍රව්‍ය භාවිතයට හුරු පුද්ගලයා නොවේ. එවැන්නෙක්‌ මේ ජාවාරම කිසිසේත් අතහැර දැමීමට සූදානම් වන්නේ ද නැත. 

දැන් අප ඉදිරියේ අර්බුද දෙකක්‌ තිබේ. පළමුවැන්න මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සොයා ගැනීම ය. දෙවැන්න රටේ අනාගත පරම්පරාව විනාශයෙන් බේරා ගැනීම ය. ඒ සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් පමණක්‌ ප්‍රමාණවත් නොවේ. 

ඒ සඳහා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රටේ නීති රීති වැඩි කිරීමත්, දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමත් අනිවාර්යයෙන් ම සිදුවිය යුත්තකි.
 
Related Posts with Thumbnails