Ads 468x60px

.

හවුස්‌මේඩ් රස්‌සාවට රට යෑවීම ගැන අවධානය යොමු කළ යුතු බව...


මැලේසියාවේ ගෘහ සේවයට ගොස්‌ ඇඳිවත පිටින් පැමිණි පුත්තලමේ පදිංචි කාන්තාවක ගැන ඊයේ පුවත්පත් වාර්තා කර තිබිණි. 

අප හැමදාමත් කියන පරිදි රට ගිය ඇත්තියන් පිළිබඳව මෙවැනි තොරතුරක්‌ මසකට අවම වශයෙන් එකක්‌ හෝ වාර්තා වේ. කවර වගකිවයුතු ආයතනයකට හෝ මෙම තත්ත්වය නිවැරදි කර ගැනීමේ හැකියාවක්‌ තවමත් ලැබී නැති බව මේ සිදුවීම් තවදුරටත් තහවුරු කරයි. 

මේ තත්ත්වය සියයට සියයක්‌ම නිවැරදි කිරීමේ හැකියාවක්‌ නැති බව අපිදු විශ්වාස කරමු. පැනනැගෙන බොහෝ ප්‍රායෝගික කාරණා
හේතුවෙන් යම් යම් ගැටලු උද්ගත විය හැකි නමුත් මේ හිංසනකාරී ක්‍රියා සඳහා මීට වඩා වැඩි අවධානයක්‌ යොමු කළ යුතු බව කිව යුතුය.

පුත්තලමේ කාන්තාව සම්බන්ධයෙන් ඇසෙන කතාව ශෝකජනකය. ඇය පුත්තලම ප්‍රදේශයේ දුෂ්කර ප්‍රදේශයක ජීවත්වන එක්‌දරු මවකි. රට රැකියාවකට යන්නට උත්සාහ දරන රට රැකියාවකට ගිය හැම අම්මා කෙනකුගේම මෙන් ඇයගේ කතාව ද බොහෝ අසීරුතා දුක්‌ කම්කටොළු පිරීගත් එකක්‌ විය හැකිය. 


ඇය වැනි බොහෝ කාන්තාවන් මේ යන්නට උත්සාහ දරන්නේ ඇමෙරිකාවේ "ඩිස්‌නිලන්තයට" නොවේ. ජපානයේ µqජියාමා ගිනිකන්ද බලන්නට ද නොවේ. නයගරා දියඇල්ල බැලීමටත් නොවේ. ලන්ඩන් නුවර වීදි දිගේ ඇවිද යන්නට ද නොවේ. අසල්වැසි රට වන ඉන්දියාවේ සාප්පු සවාරියක යන්නට ද නොවේ. මේ හැමෝම යන්නේ "රට රස්‌සාවකට" ය. 

මේ "රට රස්‌සාව" යනු හවුස්‌මේඩ් රස්‌සාවය. "හවුස්‌මේඩ්" සේවය ඉතාම හොඳ රස්‌සාවක්‌ විය හැකි බවට අතළොස්‌සක්‌ දෙනා කියන්නට ඉඩ ඇති නමුත් අපට නිරන්තරයෙන් අසන්නට ලැබෙන මෙවැනි කතා, මේ වන විට ඉතාම "නරක රස්‌සාවක්‌" බවට පත්ව ඇති බව අපට තේරුම් කර දුන්නේය.

රස්‌සාවේ නරක ඉතාම බිහිසුණුය. ඒ සමහර කතා අසන්නටත් අසීරුය. ඇණ ගිල්ලවීම, ඇණ ගැසීම, ශරීරය පිළිස්‌සීම, පහරදීම, කොණ්‌ඩය කපා දැමීම, එතැනින් නොනැවතී ලිංගික වධ හිංසා, සමූහ දූෂණයට ලක්‌වීම ආදී කෲරතර දේ එම වධහිංසාවලට ඇතුළත්ය. පුත්තලමේ කාන්තාවගේ කොණ්‌ඩය කපා, අතපය ද කපා, රත් කරන ලද හැඳිවලින් ශරීරය පුළුස්‌සා ඇති බව කියෑවේ. 


ඇය සේවය කර ඇත්තේ මැලේසියාවේ ක්‌වාලාලාම්පූර් හි නිවසකය. සිහින පොදියක්‌ හිස මත තබාගෙන රට රස්‌සාවට ගොස්‌ ඇඳිවත පිටින් මේ රටට එන බොහෝ කාන්තාවන්ගේ කතා පිටුපස සිටින ඒජන්සිකාරයන් කිසිවෙකුත් මේවා පිළිගන්නේ නැත. 

ඒජන්සිකරුවන් කියන කතා අනුව හිලරි ක්‌ලින්ටන්, තෙරේසා මේ ඇන්ජලා මර්කර් පවා තම සියලු තනතුරු, වරප්‍රසාද අතහැර කොහේ හෝ අරාබි රටක "හවුස්‌මේඩ්" කෙනකු වන්නට කල්පනා කරනු නියතය. ඒ නිසාම ඒජන්සිකාරයන්ට පුත්තලමේ කාන්තාව අනේක දුක්‌විඳ පැමිණීම සරල කාරණයකි. 

ඇයගේ කොණ්‌ඩය කැපීම "සැලුන්" යැමක්‌ හැටියටත් අත් පා පිළිස්‌සීම ටැටූ කෙටීමක්‌ හැටියටත් එවැනි රැකියා බිස්‌නස්‌කරුවන් තීරණය කළද එය පුදුම වන්නට කාරණයක්‌ නොවේ. දැන් මේ වන විට රටේ තේ, පොල්, රබර් ආදායම් ගැන හිතන්නටවත් බැරිය. 

මේ නිසාම විදෙස්‌ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දහදිය කඳුළු වගුරුවමින් එවන මුදල් මේ රටට වටින්නේය. එහෙත් ඒ වටිනාකමට සරිලන ආරක්‍ෂණයක්‌ අප ඒ අයට ලබා දී තිබේද යන්න වගකිවයුත්තන් දිනපතාම උදේ නැගිටින මොහොතෙත් නින්දට යන මොහොතෙත් කල්පනා කළ යුතුය. 

ඒ කල්පනාවේ අවසානය ඒජන්සිකාරයන් රැකගැනීම නොව විදෙස්‌ගත ශ්‍රමිකයන් රැකගැනීම පමණක්‌ම විය යුතුය. හවුස්‌මේඩ් රස්‌සාවට රට යෑවීම සීමා කරන බව කීවත් එවැන්නක්‌ පෙනෙන්නට නැති නිසා එය ක්‍රියාත්මක කරනතුරු හෝ අප කී කාරණා ගැන අවධානය යොමු කළ යුතුය.
 
Related Posts with Thumbnails