Ads 468x60px

.

ඉක්‌මනින්ම පියවරක්‌ ගත යුතුය. නැතිනම් රට අනතුරේය..


මරාගෙන මැරෙන බෝම්බකරුවකු සෞදි අරාබියේ මෙදීනා නගරයේ "මුහම්මද්" පල්ලිය ආසන්නයේදී පෙරේදා රාත්‍රියේ බෝම්බයක්‌ පුපුරුවා හැරීමෙන් එම බෝම්බකරුවා ද ඇතුළත්ව පස්‌ දෙනෙක්‌ ජීවිතක්‍ෂයට පත්වූ බව ඊයේ සියලු පුවත්පත් වාර්තා කර තිබිණි. 

බොහෝ පිරිසක්‌ තුවාල ලබා සිටින බවද වාර්තා වේ. මේ ප්‍රහාරය ආසන්නතම දිනවල සිදුවූ දෙවැන්නයි. බංග්ලාදේශයේ ඩකා අගනුවර
අවන්හලකට ද පසුගිය දිනවල ප්‍රහාරයක්‌ එල්ල වී තිබිණි. 

එම ප්‍රහාරයෙන් බංග්ලාදේශ වැසියන් ඇතුළුව විදේශිකයන් බොහෝ පිරිසක්‌ ඝාතනය වී තිබිණි. එමෙන්ම ඉරාකයේ බැග්ඩෑඩ් නුවර වාහන බෝම්බයක්‌ පිපිරී 120 දෙනකු ඝාතනය වී 180 කට අධික පිරිසක්‌ තුවාල ලබා තිබිණි.

මෙදීනා නුවර ත්‍රස්‌ත ප්‍රහාරයේ වගකීම ඊයේ වන විටත් කිසිවකුත් භාරගෙන තිබුණේ නැත. එහෙත් එම ප්‍රහාරය අයි.එස්‌.අයි.එස්‌. සංවිධානයේ එකක්‌ බවට ජාත්‍යන්තර බුද්ධි අංශ තොරතුරු ගෙනහැර දක්‌වයි. බැග්ඩෑඩ් නුවර ප්‍රහාරයේ වගකීම අයි.එස්‌. ත්‍රස්‌තයන් භාරගෙන තිබේ. ඩකා නුවරට එල්ල කරන ලද ත්‍රස්‌ත ප්‍රහාරය මෙහෙයවා ඇත්තේ "ජමායිතුල් මුජෙයිදින්" නමැති තහනම් ත්‍රස්‌ත සංවිධානයයි.

දීර්ඝ ලෙස අප මේ කරුණු නැවත සිහිපත් කිරීමක්‌ ලෙස ගෙනහැර දැක්‌වූයේ ලොව පුරා ත්‍රස්‌තවාදය (අන්තවාදී, මූලධර්මවාදී ආගමික ත්‍රස්‌තවාදය) කොයිතරම් දුරට ව්‍යාප්ත වී තිබේද යන්නත්, රාමසාන් උත්සවය ආසන්නයේම තමන්ගේ ශුද්ධ වූ පුදබිමක වුව ලේ වැගිරීම් සිදුකරන්නට තරම් මේ ත්‍රස්‌තවාදීන් කොතරම් ම්ලේච්ඡ ද යන්නත් පෙන්වා දීමට ය. පසුගිය කාලය පුරාම යුරෝපයේ රටවල් ගණනාවකට ද අයි.එස්‌.අයි.එස්‌. නම් කුරිරු, ම්ලේච්ඡ ත්‍රස්‌තවාදීහු ප්‍රහාර එල්ල කළහ.

ත්‍රස්‌තවාදය සම්බන්ධයෙන් අතිශය අමිහිරි අත්දැකීම් රැසකට මුහුණ දුන්, එමෙන්ම ලොව භයානකම ත්‍රස්‌තවාදීන් යෑයි හැඳින්වූ කුරිරු එල්.ටී.ටී.ඊ. යට මුහුණ දුන් එකම රට ශ්‍රී ලංකාවයි. 


එල්.ටී.ටී.ඊ. ය ලොව භයානකම ත්‍රස්‌තවාදී නඩය යෑයි නාමකරණය කරන ලද්දේ එල්.ටී.ටී.ඊ. යට කිරි පොවා ඇතිදැඩි කළ ජාත්‍යන්තරයමය. ජාත්‍යන්තරය විසින්ම පෝෂණය කරනු ලබන මෙවැනි ත්‍රස්‌තවාදී කණ්‌ඩායම් අද ඒ ඒ රටවලට පාරාවළල්ලක්‌ වී තිබේ. 

වර්තමානය වන විට ආසියාකරයේ පමණක්‌ නොව බටහිර රටවල ද "මරාගෙන මැරෙන" සෙල්ලම් දමන මේ ත්‍රස්‌ත කණ්‌ඩායම් තමන්ට "හීලෑ" යෑයි ජාත්‍යන්තරයේ බොහෝ රටවල් තවමත් විශ්වාසයෙන් සිටිති.

ශ්‍රී ලංකාව, ත්‍රස්‌තවාදයේ ඇති භයානකකම ගැන ලෝකයට පැහැදිලි කරන විට කිසිවෙකුත් එය පයිසෙකට මායිම් කළේ නැත. වර්තමානය වන විට යුරෝපයට ඇතුළු වන කළු හම ඇති කවරකු වුවද ත්‍රස්‌තවාදියකු යෑයි සැක කරන මට්‌ටමට ආරක්‍ෂාව ගැන තක්‌කු මුක්‌කු වී සිටින ජාත්‍යන්තරයේ බොහෝ රටවල් අතීතයේ බුරුතු පිටින් "ත්‍රස්‌තවාදීන්" ට එම රටවල දේශපාලන රැකවරණය ලබා දුන්නේ සරණාගතයන් ලෙස සලකමිනි. 


ජාත්‍යන්තරයට මේ සියලුම ම්ලේච්ඡ ත්‍රස්‌තවාදීහු "විමුක්‌තිකාමී" සුරතල්ලු වූහ. ජාත්‍යන්තරය නොව අපේ අසල්වාසී රටවල් පවා ත්‍රස්‌තවාදය සම්බන්ධයෙන් නිවැරැදි ප්‍රතිපත්තියක සිටින බවක්‌ පෙනෙන්නට තිබුණේ නැත.

අද ලොව පුරා බොහෝ රටවලට තමන්ගේම ආගමේ, තමන්ගේම ජාතියේ අන්තවාදීන්ගේ පවා ම්ලේච්ඡ ප්‍රහාරයනට මුහුණදීමට සිදුව තිබෙන්නේ තත්ත්වය හරි හැටි කළමනාකරණය කර නොගැනීම හේතුවෙනි. 


එමෙන්ම ත්‍රස්‌තවාදය, අන්තවාදය වෙනුවෙන් පෙනී සිටින, ඒ වෙනුවෙන් අනියමින් කටයුතු කරන පුද්ගලයන් මුල් වටයේදීම හඳුනා නොගැනීමේ ප්‍රතිඵලයක්‌ ලෙස පසුකාලීනව බොහෝ බරපතළ තත්ත්වයන්ට මුහුණදීමට සිදු වන බව කවර රටක වුව පාලකයන් අවබෝධ කර ගත යුතුය. 

අපේ රටේද ආණ්‌ඩුවේම හිඳ අන්තවාදය, මූලධර්මවාදය වෙනුවෙන් පෙනී සිටින ඒ ගැන බරපතළ ප්‍රකාශ කරන සමහර දේශපාලනඥයන් වෙනුවෙන් ඉක්‌මනින්ම පියවරක්‌ ගත යුතුය. නැතිනම් රට අනතුරේය.
 
Related Posts with Thumbnails