Ads 468x60px

.

ජනතාව ගොනාට අන්දන වැඩපිළිවෙළ අනුමත කළ නොහැකි බව...


කෘෂිකර්ම ඇමැතිවරයා ඉතා විශාල මුදලක්‌ ගෙවා තම අමාත්‍යාංශය සඳහා ගොඩනැඟිල්ලක්‌ මිලදී ගත් කතාව මාස හතරක්‌ පහක්‌ පරණ කතාවකි. කෘෂිකර්ම ඇමැතිවරයා ගිය මගම අනුගමනය කරමින් තවත් ඇමැතිවරුද ඒ ආකාරයට ගොඩනැඟිලි මිලදී ගත් කතාවද පරණය. 

එවැනි බොහෝ ඇමැතිවරු සිය අමාත්‍යාංශ එම ගොඩනැඟිලිවල ආරම්භ කළ කතාවද, එම ගොඩනැඟිලි සඳහා මිල අධික බඩු බාහිරාදිය ගැනීමේ
කතාවද පරණය.

අපට කියන්නට තිබෙන අලුත්ම අලුත් කතාව ඊට වඩා වෙනස්‌ අමුතුම එකකි. කතාව කෙටියෙන්ම කියනවානම්, "කෘෂිකර්ම ඇමැතිවරයා විශාල මුදලක්‌ ගෙවා කුලියට ගත් එම ගොඩනැඟිල්ලේ පදිංචියට තවමත් ගොස්‌ නැත. එහෙත් ඒ වෙනුවෙන් මාස හතරකට ගෙවිය යුතු රුපියල් අටකෝටි හතළිස්‌ ලක්‍ෂයක කුලිය ගෙවන්නට කටයුතු කර තිබේ. 


කෘෂිකර්ම ඇමැති ධුරයට අමතරව ශ්‍රීලනිප මහලේකම්වරයා ලෙසද කටයුතු කරන දුමින්ද දිසානායක ඇමැතිවරයාට එම ගොඩනැඟිල්ලේ පදිංචියට ඒමට තවමත් හැකියාව ලැබී නැත්තේ වැඩකටයුතු අධිකවීම නිසාද, නැකතක්‌ හරි නොගිය නිසාද යන කාරණය වැදගත් නැත. 

මේ මොහොතෙහි රටට වැදගත් වන්නේ රටේ ජනතාවගේ බදු මුදල් මේ තරම් නොසැලකිලිමත් ලෙස අත්තනෝමතික ලෙස නිර්ලඡ්ජිතව නාස්‌ති කිරීමය. කොහොමත් මේ ගොඩනැඟිල්ල කුලියට ගැනීමේ ගනුදෙනුවම "යහපාලන ආණ්‌ඩුව" පවසන නාස්‌තිය දූෂණය අවම කරන ප්‍රතිපත්තියට ගැළපෙන්නේ නැත. 

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා එම ගොඩනැඟිල්ල කුලියට ගන්නේ මසකට රුපියල් දෙකෝටි දසලක්‍ෂයක කුලී පදනමක්‌ යටතේය. ඒ පසුගිය අප්‍රේල් 08 වැනිදාය. ඒ අනුව එම ගොඩනැඟිල්ල වෙනුවෙන් අමාත්‍යාංශය වසර දෙකක කුලිය වශයෙන් රුපියල් පනස්‌කෝටි හතළිස්‌ ලක්‍ෂයක මුදලක්‌ අත්තිකාරම් ලෙස ගෙවා ඇත. 

රජයේ මුදල් මේ අන්දමින් වැය කිරීම කොතරම් යුක්‌ති යුක්‌තදැයි විගණකාධිපතිවරයාද, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් පසුගිය මැයි මාසයේදී විමසා තිබිණි.

කෘෂිකර්ම ඇමැතිවරයා මෙම ගොඩනැඟිල්ල මිලදී ගැනීමේ තීන්දුව ගන්නේ ඒ සඳහා රජයේ ගොඩනැඟිල්ලක්‌ අවම මිලකට මිලදී ගන්නට පූර්ණ හැකියාව තිබියදීය. එසේත් නැත්නම් මේ වැයකරන මුදලින් සුදුසු ඉඩමක අමාත්‍යාංශය සඳහා නවීන ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීම කළ යුතුව තිබිණි. 


එම ගොඩනැඟිල්ල මිලදී ගැනීමට තිබූ හදිසිය දැන් පෙනෙන්නට නැති නිසා සුළු කාලයක්‌ ගෙන ගොඩනැඟිල්ල ඉදිකිරීම කළ හැකිව තිබිණි. එහෙත් ඒ කිසිවත්ම නොතකා මෙවැනි අවලස්‌සන ගනුදෙනුවකට යැම සම්පූර්ණයෙන්ම නාස්‌තිකාර වියදමක්‌ බව කිව යුතුය.

මෙවැනි නාස්‌තිකාර වියදම් කර ගොඩනැඟිල්ල මිලදී ගන්නා කවර අමාත්‍යාංශයක්‌ වුව රටේ ජනතාව වෙනුවෙන් කරන්නේ මොනවාදැයි අප අසන්නට ඉක්‌මන් වන්නේ නැත්තේ වසරක්‌ පිරුණු ආණ්‌ඩුවකින් එසේ ඇසීම සාධාරණ නැති නිසාය. 


මුල් වටයේදී තීරුබදු රහිත සුපිරි කාර් ගෙන්වීමටත්, තම සුපිරි දීමනා "තවත් ටිකක්‌" වැඩිකර ගැනීමටත්, මිලියන ගණන් වැය කොට බොරු ව්‍යාපෘති ආරම්භ කිරීමටත් තමන්ගේ කතිරයෙන් පත්වූ මහජන නියෝජිතයාට ඉඩ නොදෙන්නේ නම්, රටේ ජනතාවගෙන් ඇති වැඩේ මොකක්‌ද?

නැවතත් සිහිපත් කරනවානම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක පක්‍ෂයේ මහලේකම්ය. දේශපාලන පරපුරක පුරුකක්‌ය. යහපාලන ආණ්‌ඩුව ගෙන එන්නට මාරක තීන්දුවක්‌ ගෙන ඒ වෙනුවෙන් කැපවූ අයෙකි. නාස්‌තිය දූෂණය වළක්‌වන්නට ප්‍රතිඥ දුන් කණ්‌ඩායමේ මහත්මයෙකි. ඒ සියල්ලටම වඩා තරුණ කොල්ලෙකි. 


එහෙව් තත්ත්වයක්‌ තුළ ටිකක්‌ කළඑළියට සිටින්නට ඔහුගේ ඇති කැමැත්ත මොන ප්‍රතිපත්තිවලටත් වඩා ඉහළය. එහෙත් අපට කියන්නට යමක්‌ තිබේ. 

ජනතා ඡන්දයෙන් පත්ව ජනතා නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තුවට ගිය සියලුම දෙනා මේ ආකාරයෙන් තමන්ගේ "ගොඩ වැඩිකර ගැනීමේ" මාරාන්තික මෙහෙයුමට සහභාගි වී සිටීම ගැන අපට අවබෝධ කරගත හැකිය. එහෙත් ඒ වෙනුවෙන් ජනතාව ගොනාට අන්දන වැඩපිළිවෙළ අනුමත කළ නොහැකිය.
 
Related Posts with Thumbnails