Ads 468x60px

.

අක්මීමන මනුජ පුතුගේ පුනරුත්පත්ති කතාවේ තිත්ත ඇත්ත.. ( 01 කොටස )

මනුජ පුතුගේ පුනරුප්පත්ති කතාව සැබෑවක්ද? මවාපෑමක්ද?...

තම පුතු මනුජ ඉහත ආත්මයේ උඩුගම ජීවත් වූ බව අසා එය පරම සත්‍යයක් වශයෙන් පිළිගත් දරුවාගේ මවගේ ඊළඟ අභිප්‍රාය වූයේ දරුවා ද කැටුව ඔහුගේ ඉහත ආත්මය සොයායාමය. 

නමුදු අනුෂාගේ පෙරැත්තය මත තම ඉහත ආත්මයේ ගම උඩුගම බව කීමට පෙර මනුජ නිතර පවසන තවත් ග්‍රාම නාම තුනක් ද තිබි ඇත. ඒ සම්මන්තුරේ, ජනාවිල් සහ කොළඹය. 

සන්නිවේදන තාක්ෂණය අතිශයින් දියුණු නූතනයේ මොළයේ මතක ශක්තිය රෝපණය වන අවුරුදු තුනට වැඩි වයස්වල දරුවන්ගේ මනැස්වල ලොව ඕනෑම පුද්ගල හෝ ස්ථාන නාමයක් මෙලෙස රෝපණය වීම අතිශය ස්වභාවිකය. 

එහෙත්, තම පුතුගේ එම සාමාන්‍ය මානසික තත්ත්වය අරුමයක් සේ දුටු අනූෂා ඊට පෙර ද තම පුතු ‘ඉහත ආත්මයක් වෙත යොමු කිරීමට’
උත්සාහයක් දරා ඇත. ඒ සම්මන්තුරෙයි ප්‍රදේශයේ ‍පොලිස් සේවයේ යෙදෙන තම ඥාතිවරයකු ලවා තම පුතුගේ උපතට කලින් එම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරු පිළිබඳව විමසා සිටීමෙනි. 

එහෙත් ඉනුදු පලක්වී නොමැත. නමුදු දරුවා ඊළඟට හෙළි කළ ජනාවිල් නම් ප්‍රදේශයක් අප රටේ නැත. බොහෝවිට එය ‍පොතුවිල් ඕලුවිල් ආදී ග්‍රාම නාම මුල්කොට දරුවාගේ මනැසේ හටගත් පරිකල්පනයක් විය හැක. මෙම වයසේ දරුවන් එබඳු පරිකල්පන ඇසුරින් ගොඩනගා ගත් පුද්ගල සහ ස්ථාන නාම ප්‍රකාශ කිරීම අතිශය ස්වභාවිකය.

මනුජගේ පියා වී.පී. තිලකරත්න සේවය කරන අක්මීමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ චතුර නම් උපාධිධාරී අභ්‍යාසලාභියෙක් සිටියි. ඔහු තිලකරත්නගේ ගජ මිතුරෙකි. ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයේ මිතුරු පිරිසක් සහභාගි වන විනෝද ගමනකට එක්වීමට නොහැකිවීම මුල්කොට ඊට පෙර දින සවස තිලකරත්න අනූෂා සහ මනුජ පුතු සමග චතුරගේ නිවසට ගොස් ඇත. ඒ ව්‍යවහාරික බසින් කිවහොත් ඒ පුංචි ‘සෙට්’ වීමකටය. 

එම අවස්ථාවට තවත් මිතුරෝ පස් හයදෙනෙක්ද එක්වූහ. චතුරගේ බිරිඳගේ නම ද හිමාලිය. මේ නම ඇසූ සැණින් මනුජගේ මුහුණ සිනාවකින් පිරී ගියේය. ඔහු සතුටින් ඉපිලී යන බවක් ද සැමට වැටහිණි. ඉන්පසුව අනුෂා තම පුතුගේ මුවෙහි නිතරම හිමාලි යන නමක් රැව්දෙන බව මෙම හිමාලිට පවසනුයේ තම දරුවා ඉහත ආත්මය පවසන බවක් ද අඟවමිනි. 

මෙහිදී හිමාලි මනුජගෙන් ඔහුගේ ඉහත ආත්මය පිළිබඳව බොහෝ තොරතුරු විමසා ඇත. මනුජ ද ඒවාට නොපැකිළිව පිළිතුරු දී තිබේ. එහෙත්, මෙවන් කරුණක් පිළිබඳව විධිමත් විමර්ශනයක දී ගවේෂකයකු මනා සිහිනුවණින් වටහා ගත යුතු දෙයක් ද ඇත. 

එනම් මෙවන් දරුවකු වෙත එල්ලවන ප්‍රශ්නවලින් ඔහු අප බොහෝ දෙනකු නොදන්නා ඉතා සියුම් වැදගත් කරුණු රාශියක් තම මනැසට පිවිසුවා ගන්නා බවය. නිදසුනක් ලෙස “ඒ කා‍ලේ ඔයාගේ රස්සාවේ ප්‍රශ්න මොනවා හරි තිබුණද...?” යනුවෙන් පැනයක් මෙබඳු දරුවකු වෙත යොමු වුවහොත් ඔහු ඊට “ඔව්” කියා පිළිතුරු දෙනු ඇත. 

ඉන්පසු එම දරුවා තම ඉහත ආත්මයේ කතාව අන්‍යයකු හා පවසනුයේ “ඒ කාලයේ මගේ රස්සාවෙත් හරියට ප්‍රශ්න තිබුණානේ” ආදී වශයෙන් අසන්නවුන් අන්දමන්ද කරවමිනි. එවිට ඒවාට සවන් දෙන්නවුන් සිතනුයේ ද “ඉහත ආත්මය ගැන මතකයක් නැතුව ඔය වයසේ දරුවෙක් කොහොමද ඔච්චර බරපතළ දෙයක් කියන්නේ..” යනුවෙනි. 

කෙසේ හෝ හිමාලිට ප්‍රථම තවත් කිහිප දෙනෙකු හෝ කුඩා මනූජව ඔහුගේ ඉහත ආත්මය පිළිබඳ සංවාදයට එක්කර ගෙන තිබුණාට සැකනැත. ඒ සම්බන්ධ බරපතළ දැනුම් සම්භාරයක් කිසිවකුටත් රහසින් ඔහුගේ සිඟිති මනැසට පිවිස ඇත්තේ එබැවිනි.

“උඩුගම ඉන්නවා මං දන්න කීප දෙනෙක්ම; මෙයා උපදින්න කලින් එහේ ඔය කියන විදිහේ ඇක්සිඩන්ට් එකක් උනාද කියලා මං හොයලා බලන්නම් කෝ..” මනුජගෙන් ඉහත ආත්මය පිළිබඳ තොරතුරු රැසක් විමසා දැනගත් හිමාලි එදින පිරිස සමුගන්නා මොහොතේ කීවා ය. මෙය කුඩා මනූජට මෙන්ම ඔහු මානසික වශයෙන් මෙම මංපෙතට යොමු කළ ඔහුගේ මව අනූෂාට ද මහත් සතුටක් සැනසුමක් ගෙන දුන් ප්‍රකාශයක් බව පෙනේ.

කෙසේ හෝ පසුගිය අගෝස්තු 24දා සවස් වන විට මනුජගේ උඩුගම යාමේ උනන්දුව අසීමාන්තික අයුරින් ඉහළ නැංවී තිබූ බවක් පෙනේ. ඒ අනුව එදින සවස ඔහු එක හ¾ඩින් කරන එක් බැගෑපත් ඉල්ලීමක් තිබිණැයි ඔහුගේ මාපියෝ කීහ. එනම් “අපි චතුර මාමලාගේ ගෙදර යමු...” යන්නය. 

ඊට හේතුව චතුර මාමා ගෙන් කෙසේ වෙතත් තම හදවතේ දැඩිව තැන්පත්ව ඇති හිමාලි යන නමින් පෙනී සිටින නැන්දාගෙන් තමන්ගේත් තම මවගේත් ‍පොදු අභිලාශය ඉටුකර ගැනීමට සුවිසල් තල්ලුවක් ලැබෙන බව මනුජගේ නොමේරූ මනසට වැටහී තිබිමය. එදින ඔහු ඊට පෙර වතාවටත් වඩා චතුරගේ බිරිඳ හිමාලි සමග ලෙන්ගතු වී ඇත්තේ එබැවිනි. 

තම නිවසට පැමිණි ආගන්තුකයන් සඳහා ලහිලහියේ ආහාර පිසින තුරු හිමාලි ද කුඩා මනූජ තමන් අද්දරම පුටුවක වාඩි කරවා ගෙන ඔහු හා බොහෝ දේවල් කතා බස් කොට තිබේ. තමන්ට හරි හැටි නොවැටහෙන විෂයක් මුල්කොට සිත තුළට කා වද්දා ඇති අරමුණ ඉටු කර ගැනීමට හිමාලි නැන්දා නොදැනුවත්ව හෝ ලබාදෙන මෙම තල්ලුව මගින් මෙකී පුනරුත්පත්ති කතාවේ අඩු තැන් පුරවා ලීම පිණිස පුංචි මනුජට යම් පිටුවහලක් ලැබුණු බව පෙනේ.

පසුගිය අගෝස්තු 25 වන සෙනසුරාදාට හිරු පහන් වනුයේ මෙම පුනරුත්පත්ති කතාවේ එක් තීරණාත්මක සංසිද්ධියකට මුල පුරමිනි. එදින අලුයම පිබිදුණු මොහොතේ සිට “අනේ තාත්තේ අපි උඩුගම යං... උඩුගම යං” යනුවෙන් කුඩා මනුජ තොරතෝංචියක් නැතිව තමනට කරදර කරන්නට වූ බව ඔහුගේ පියා තිලකරත්න කීය.

කෙසේ හෝ ඒ මොහොතේම දුරකථනයෙන් තම සුමිතුරු චතුර ඇමතූ තිලකරත්න දැන් උඩුගම ගොස් මෙම පුනරුත්පත්ති කතාවේ පූර්වාපර සන්ධි ගලපනු විනා අන් විකල්පයක් තමන්ට නොපෙනෙන බවක් හැඟවීය. එවිට උඩුගම යන ගමනට තමන් ද සහභාගි වන බව චතුර කීයේ තම සුමිතුරාට සහය පළ කිරීමක් වශයෙන් ද විය හැක. 

එහෙත්, එම දුරකථන සංවාදයට කන් දී සිටි චතුරගේ බිරිඳ හිමාලි එම ගමනට එක්වීමට කැමැත්ත පළ කළේ ගමන සාර්ථක කර ගත හැකි බවට තම විශ්වාසය මත පදනම් වූ වැදගත් දැනමුතුකමක් ද දෙමිනි. ඒ එදින පෙරවරු නවයට රාහුකාලය උදාවන බැවින් ඉන් පෙර නිවසින් පිටවන ලෙස තම සැමියා චතුර ලවා තිලකරත්න දැනුවත් කිරීමෙනි. 

ඇගේ එම ගුප්ත විද්‍යා උපදෙසට අනුව ඊට පෙර මනුජ සහ අනූෂා තම ත්‍රිරෝද රථයේ නංවාගෙන පසුව චතුර හා හිමාලි ද ඊට නංවා ගත් තිලකරත්නට පැයකට ළංවන කාලයක් තුළ කිලෝ මීටර් විසි හයක් පසු කොට උඩුගම නගරයට පැමිණීමට හැකි විය. 

මෙහිදී ඔවුන් හමුවට එක්වර අභියෝග දෙකක් එල්ල වී තිබූ බව පැහැදිලිය.

ඉන් පළමු වැන්න මනුජගේ උපතට එනම් 2005 ට පෙර උඩුගම දී සිදු වූ වෑන් රථයක දොරක් ගැලවීමක් මුල් කොට ගත් අනතුරක් පිළිබඳව විමසා දැන ගැනීම ය. එම වෑන් රථ අනතුරින් මිය ගිය තැනැත්තාගේ ජීවන තොරතුරු මනූජ පවසන පුනරුත්පත්ති කථාව සමග ගලපා ලීම දෙවන අභියෝගයයි. මෙම පිරිස මුලදී ගියේ උඩුගම නගරයේ ජනයා ගැවසෙන එළවළු වෙළෙඳ සලක් අබියසටය. 

එහෙත්, එලෙස වෑන් රථයක දොරක් ගැලවීමක් මුල්කොට ගත් කිසිදු අනතුරක් ගැන සැලකිය යුතු තොරතුරක් ඉන් දැන ගත නොහැකි විය. අනතුරුව මෙම කරුණ අවංකවම කියා ඊට උඩුගම ‍පොලිසියේ රථවාහන අංශයේ උපකාර පැතීමට තිලකරත්නත් චතුරත් ඔවුන්ගේ භාර්යාවෝත් තීරණය කළහ. ඔවුන් එදින පෙරවරු 10.00 ට පමණ උඩුගම ‍පොලිසියේ රථවාහන අංශයට ගියේ ඒ අනුවය.  

“අපේ පුතා කියනවා එයා ඉහත ආත්මයේ උඩුගමදී වෑන් එකක යනකොට දොර ගැලවිලා වැටිලා මැරුණා කියලා. පුතා කියන විදිහට ඒ වෑන් එකේ මෙයත් එක්ක තව කට්ටියකුත් ගිහින් තියනවා”. ‍පොලිසියේ රථවාහන අංශයට ගොඩ වැදුණු මනුජගේ මාපියෝ කීහ. ඔවුන් පවසන කරුණ කුමක් වුව එය හුදු අහිංසක ඉල්ලීමකි. 

එබැවින් උඩුගම ‍පොලිසියේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කළ සිවිල් ආරක්ෂක නිලධාරිනියක ගේ අවධානය මෙම ඉල්ලීම වෙතට යොමු විය. රථවාහන අංශයේ සෙසු නිලධාරීන්ගේ එකඟත්වය ද ඒ සඳහා පළ විය.

වසර දෙදහසේ සිට 2005 දක්වා උඩුගම ‍පොලිස් බලප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුරු කිහිපයක් පිළිබඳව ‍පොලිස් වාර්තාවල සඳහන්ව තිබිණ. නිලධාරිනිය ඒ එකි’නෙක පරීක්ෂා කළා ය.

“මැරුණු කෙනාගේ නමක් එහෙම දැනගන්න බැරිද...?” පසුව ඇය ඇසුවේ එම අහිංසක ඉල්ලීම එකවරම ඉවත දැමිය නොහැකි බැවිනි.
“එහෙම නමක් නම් කියන්නේ නැහැ... ඒත්, මෙයා කියන විදිහට ඉහත ආත්මයේ මෙයාගේ නෝනාගේ නම හිමාලි, තව තරිඳු කියලා නමකුත් කියනවා” මනුජගේ මව කීයේ තවත් දිගු කතාවකට මුල පුරමිනි.

“පුතා හිටපු ගමන් වාහනයක් එලවාගෙන යනකොට මොබයිල් ෆෝන් එකක් පිටිපස්සට දික්කරනවා වගේ මෙහෙම අත දික්කරලා “හිමාලි මෙන්න ඔයාට කෝල් එකක්... කතා කරන්න” කියනවා. සමහර වෙලාවට කියනවා “හිමාලි ඔය දරුවා අඬන්නේ බඩගින්නේ කිරි ටිකක් දෙන්න කියලා...” 

මනුජගේ මව අනුෂා මේ අයුරින් අතිශය අසාමාන්‍ය විස්තර දාමයක් ඉදිරිපත් කරත්ම එවැන්නක් අසන ඕනෑම කෙනකු මෙන් එම නිලධාරිනිය ද විස්මයෙන් ඇළලී ගියා ය. “ඔහොම වෑන් එකක දොරක් ගැලවුණු සිද්ධියක් නම් මෙහවෛලා නැහැ. හැබැයි මෙන්න මේ විස්තරේ විදිහට නම් දහතුන්දෙනෙක් ගිය වාහනයක් පෙරළිලා එක්කෙනෙක් මැරිලා අට දෙනෙකුට තුවාලත්වෙලා තියෙනවා. 

මේකවෙලා තියෙන්නේ 2001 අගෝස්තු 26 වෙනි ඉරිදා.” අනතුරුව කිසියම් මාරක අනතුරු වාර්තාවක් පරීක්ෂා කළ එම නිලධාරිනිය ඔවුනට කීවාය.  

“එහෙනම් අපි ඒකවත් ‍පොඩ්ඩක් බලමුද?” මනුජගේ දෙමාපියෝ එම නිලධාරිනිය වෙතින් කාරුණික ඉල්ලීමක් කළහ.

“අනිත් කාරණය තමයි මේ ඇක්සිඩන්ට්වෙලා තියෙන්නේ ඔයාලා කියන විදිහේ වෑන් එකක් නොවෙයි. වැලි අදින ටිපර් එකක්. ඒක පාර මැද්දෙ පෙරලිලා. ඒ කොළපාට ටිපර් එක මට තාමත් මතකයි. මොකද අපි උදේ හවහ දකින නිසා. ඒක අපේ ගෙවල් ඉස්සරහ තුෂාර කියලා මල්ලි කෙනෙකුගේ; ඒ ඇක්සිඩන්ට් එක වෙනකොට ඒක එලෙව්වෙත් එයාම තමයි.” මෙම කණ්ඩායමට උපකාර කළ යුතු අන් කිසිදු ක්‍රමයක් නොවුණු බැවින් ඇය කීවාය. 

“එහෙනම් අපිට ඒ ගැනවත් විස්තර ටිකක් දෙනවද?” මනුජගේ දෙමාපියන් සහ චතුර-හිමාලි යුවල එසේ ඉල්ලා ඇත්තේ වෙන කරන්නම දෙයක් නොමැති බැවිනි.

“‍පොඩ්ඩක් ඉන්නකෝ ඊට කලින් ඒ මල්ලිගෙනුත් අහලා බලන්න..” නිලධාරිනිය සිය ජංගම දුරකථනය සිය’තට ගනිමින් කීවාය. ඉන්පසුව කැටන්දොල සිට පැමිණි මෙම පිරිස සහ ඔවුන්ගේ අරමුණ පිළිබඳව දුරකථනය මගින් පැහැදිලි කළ ඇය මෙම පිරිස සතු දත්තයන් ද කිසිවකු හමුවේ අනාවරණය කරන්නට විය. 

“තුෂාර මල්ලී ඔයාලගේ මැරිච්ච හිච්චි මාමා බැඳපු නැන්දාගේ නම මොකක්ද...?” යමුනා...? ඒත් මේ කියන කෙනා බැඳලා නම් ඉඳලා තියෙන්නේ නම් හිමාලි කියලා කෙනෙක් ලු.. එතකොට ඔයාලගේ හිච්චි මාමට පුතාල එක්කෙනෙක් ‍නෙවෙයි දෙන්නෙක්ම ඉන්නවනේ. එයාලාගේ නම් මොනවාද?  එහෙනං ඔහොම ‍පොඩ්ඩක් ඉන්න..... 

මේ අය කියනවා මේ දරුවා එහෙම නම් කියන්නේ නෑ කියලා...” මේ ආදී වශයෙන් මනූජ පවසන පෙර ආත්මයේ විස්තර එම රිය අනතුරින් මළ පුද්ගලයා හා කෙසේවත් සැසඳීමට නොහැකි බව එම නිලධාරිනියට ද මනාව වැටහිණ.

“කෝකටත් මල්ලී ඔයාට දැන් ‍පොලිසියට එන්න පුළුවන් නම් මෙයාලගෙන් තව ටිකක් විස්තර දැනගන්න පුළුවන්.” අවසානයේ එම නිලධාරිනිය කීවේ මේ සම්බන්ධයෙන් තව දුරටත් ඔහු හා දුරකථන සංවාදයේ යෙදීම පවා නිෂ්ඵල දෙයක් බව වටහා ගත් පසුව ය.

ඇය එලෙස දුරකථන සංවාදයක යෙදුණේ අක්මීමන මනුජ මතීෂ දරුවාගේ ඉහත ආත්මය ලෙසින් මාධ්‍ය මගින් සුවිසල් ප්‍රචාරයක් හිමි කරගත් ඉහත සඳහන් රිය අනතුරින් මියගිය හෙට්ටිගමගේ උදය කැලුම් නමැත්තාගේ වැඩිමල් සොයුරිය වන හෙට්ටිගමගේ ශ්‍රියානි ධර්මලතාගේ වැඩිමල් පුතු සමගිනි. උඩුගම, කැටගොඩ පදිංචි තිස් හය හැවිරිදි තුෂාර සම්පත් නම් වන ඔහු යහපත් සමාජශීලී දිවිපවෛතක් ගත කරන; වාහන ව්‍යාපාරවලට සම්බන්ධ වූවෙකි.

“ඔය කියන විස්තර අපේ  හිච්චි මාමාට කිසිම සම්බන්ධයක් නැහැනේ අක්කේ... ඒ හින්දා මං නිකම් ‍පොලිසියට එන එකේ තේරුමක් නෑ..” ඔහු කීය.

“එහෙනම් මම මෙයාලට ඔයාලගේ ගෙදරට එන පාර කියන්නද මල්ලී...” අනතුරුව ඔහුට ඇගේ හඬ ඇසිණ.
“මම නම් හිතන්නේ එහෙම එන එකෙත් තේරුමක් නැහැ කියලයි. ඒ හින්ද අපි ඕක අල්ලලා දාමු”

තුෂාර යළි මඳ කල්පනාවකට පිවිසුණි. “හරි එහෙම එන්නම ඕනේ කියනවා නම් එවන්න කෝ....” හෙතෙම අනතුරුව කීය.
දැන් අපි මේ පුනරුප්පත්ති කතාවේ සුවිශේෂී සන්ධිස්ථානයකට පැමිණ සිටිමු. මනුජ පුතුගේ ඉහත ආත්මය පිළිබඳව විමසීමේ දී ඔහුගේ මාපියන් ඒ සම්බන්ධයෙන් මනුජ පුතුගෙන් අසා දැන ගත් සියලු කරුණු එකක් නෑර උඩුගම ‍පොලිසියේ රථ වාහන අංශයේ දී හෙළි කොට තිබිණ.

නමුදු අනතුරට ලක්වූ අවස්ථාවේ තමන් ගමන් ගත් වාහනයේ දහතුන් දෙනකු සිටි වගක් මනුජ පුතු කී කතාවක් ඔවුන් එහිදී කියා නැත. ඒ වෙනුවට දරුවාගේ මව  අනුෂා පවසා ඇත්තේ, ‘ඒ වාහනේ මෙයත් එක්ක තව කට්ටියක් ගිහින් තියනවා’ යනුවෙන් පමණි. 

මනුජ පුතු එම අනතුර සම්බන්ධ එවන් අතිශය වැදගත් සංඛ්‍යාත්මක තොරතුරක් කල් ඇතිවම අනාවරණය කොට තිබිණි නම් එම දෙමාපියන් ඒ සම්බන්ධයෙන් උඩුගම ‍පොලිසියේ දී මුනිවත රැක්කේ ඇයි? එමෙන්ම මනුජ පුතු කල් ඇතිවම කී බවක් පැවසුණු අනතුරට පත් වාහනයේ වර්ණයක් පිළිබඳව ද  එවර උඩුගම ‍පොලිසියේදී එම මාපියන් හෙළිදරව් කොට නැත. 

තම පුතුට ඉහත ආත්මයේ (බොහෝ විට තරිඳු නමින්) එක් දරුවකු සිටි බව විනා දරු දෙදෙනකු සිටි වගක් ද එම මවුපිය යුවළ රථවාහන අංශයේ සේවය කළ නිලධාරිනියට කියා නැත. ඊට එකම හේතුව සත්‍ය අනතුර පිළිබඳ ඒ තොරතුරු කිසිවක් ඊට පෙර මනුජ පුතු වෙතින් කියැවී නොතිබිම නොවේද?

මනුජ පුතුගේ පුනරුප්පත්ති කතාව සැබෑවක්ද? මවාපෑමක්ද? යන විමසුම සඳහා අතිශය වැදගත් ඉහත සඳහන් තොරතුරමා මුල්වරට අනාවරණය කර ගත්තේ එම නිලධාරිනිය සහ තුෂාර සම්පත් වෙතින් වෙන් වෙන් වශයෙන් ප්‍රශ්න කිරීමෙනි. එහිදී ඔවුන් දෙදෙනා වෙතින්ම හෙළි වූ ‍පොදු යථාර්ථයක් විය. 

එනම් අනතුරට ලක්වන විට වාහනයේ දහතුන් දෙනකු සිටි බව වාහනයේ වර්ණය ආදී විස්තර කිසිවක් මනුජ පුතුගේ මාපියන් උඩුගම ‍පොලිසියට පැමිණි මුල් අවස්ථාවේ හෙළි නොකළ බවය. එහෙත් එම කරුණු තහවුරු කර ගැනීම පිණිස එම ප්‍රශ්න කිරීම වුව ප්‍රමාණවත් නැතැයි මට පසුව සිතිණ.

ඒ අනුව මා කළේ ඊට පසුව ඔවුන් දෙදෙනා එකට මුණගස්වා එම ප්‍රකාශයන් එකි’නෙක ගලපා ඒවායේ සත්‍යතාවන් යළි තහවුරු කර ගැනීමය.

ඒ අනුව ‘පුතා වාහනය කොළ පාටයි කිව්වා. වාහනේ දහතුන් දෙනෙක් ගියා කිව්වා. මෙයාට දරුවෝ දෙන්නෙක් ඉන්නවා කිව්වා ආදී වශයෙන් මනුජ පුතුගේ මාපියන් පසුව මාධ්‍ය මගින් පුන පුනාම රට හෙළි කළ කරුණු හුදෙක් ඔවුන්ගේ සාවද්‍ය මවාපෑම් බව අමුතුවෙන් කිව යුතු නැත. මනුජ පුතු සහ ඔහුගේ මාපියන් එම අනතුර සම්බන්ධ ඒ සත්‍ය තොරතුරු දැනගෙන ඇත්තේ උඩුගම ‍පොලිසියට පැමිණි පසුව බව මින් මනාව පැහැදිලි වෙයි.

තම හිච්චි මාමාගේ මරණය සිදුවූ අනතුරට අදාළ සත්‍ය කරුණු සහ ගොනාමුල්‍ලේ සිට පැමිණි මෙම පිරිස උඩුගම ‍පොලිසියේදී පවසා ඇති කරුණු අහසට ‍පොළොව මෙන් දුරස්තර බව ඒ වන විට තුෂාරට මනාව පසක් වී තිබිණ. 

සටකපට ජාවාරම් කරුවන්ගේ සූත්තර මගඩි ඇස් බැන්දුම් අතරේ වාහන ව්‍යාපාරයකට සාර්ථක ලෙස සම්බන්ධ වී සිටින ඔහුට මෙය ද වෙනත් ආකාරයක ඇස්බැන්දුමක් විය හැකි බව සැනින් අවබෝධ වීමේ අරුමයක් නැත.

සාවද්‍ය තොරතුරු මත පදනම්ව තම හිච්චි මාමාගේ ආත්මය ඉල්ලාගෙන සිය නිවෙසට පැමිණෙන මෙම ආගන්තුකයන් පිරිස නිවසට කැඳවා ගන්නට වත් තුෂාර මුලින් එකඟ නොවූයේ එනිසාම විය හැක.

තුෂාර පදිංචිව සිටිනුයේ තම දෙමාපියන් පදිංචි නිවසට යාබද නිවසේය. මියගිය උදය කැලුම්ගේ මරණයෙන් වසර එකොළහක් පිරීම නිමිත්තෙන් එදින හිමිදිරියේ සිට ඔහුගේ සොයුරිය, තුෂාරගේ මව නිවසේ විශේෂ දානයක් පිළියෙල කරමින් සිටියාය. තුෂාරගේ පියා සහ සොයුරු සොයුරියන් පස්දෙනා ද එදින නිවසෙහි වූහ.

“අම්මා මෙහේ හිච්චි මාමාට පින් දෙන්න දානෙ උයනවා. අන්න හිච්චි මාමා ආයිත් ඉපදිලා අපිව බලන්න එනවා” සිවිල් ආරක්ෂක නිලධාරිනියගේ දුරකතන ඇමතුමට පිළිතුරු දීමෙන් පසු දෙමාපියන් වෙසෙන යාබද නිවසට පැමිණි තුෂාර කීයේ කිසිදු බරපතළක් ඇතිව නොවේ.

“අනේ නිකම් ඉන්න පුතේ. විකාර කතා නොකියා” දානය පිළියෙල කරමින් සිටි මව ශ්‍රියානි ධර්මලතා ද කීවාය.
“එහෙනම් බොරුද බලන්නකෝ තව ඩිංගකින්.” තුෂාර කීයේ සිත තුළ සඟවාගත් සියුම් උපහාසයකින් ද විය යුතුය. 

එහෙත් තම මියගිය ආදරණීය බාල සොයුරා සිය මරණයෙන් වසර එකොළහක් සපිරීමට පෙර දිනයේ යළි තමන් සොයා පැමිණෙන බවක් ඇසීමෙන් සොයුරියක ලෙස ශ්‍රියානි ධර්මලතා තුළ ඇති වූ විස්මය, කම්පනය සහ සංවේදීතාවය අමතුවෙන් විස්තර කළ යුතු නැත. මෙය ද මෙම පුනරුප්පත්ති කතාව මෙපමණ දුරක් ඉදිරියට ඇදී යාමට හේතුවක් වූ බව නිසැකය. 

“මචං, මෙන්න අපේ හිච්චි මාමා, ආයිත් ඉපදිලා අපිව හොයාගෙන එනවලු. පුළුවන් නම් වරෙන්කෝ මේ පැත්තේ” ඒ සමගම කෙසේවත් පුර්වාපර සන්ධි ගැළපිය නොහැකි මෙම පුනරුප්පත්ති කතාවේ වැදගත්ම ජවනිකාව ‘සජීවිව‘ නැරඹීම පිණිස තුෂාර තම සමීපතම මිතුරන් දෙතුන් දෙනකුට ද එලෙස දුරකතනයෙන් ඇරයුම් කළේය.

මෙවන් පුනරුප්පත්ති කතාවක් නිවැරදිව ගවේෂණය කිරීමේ දී විශේෂයෙන් සැලකිය යුතු කරුණක් තිබේ. එනම් පුනරුප්පත්තිය පවසන දරුවා තමන් ඉහත ආත්මයේ ජීවත්වූ පරිසරය සම්බන්ධයෙන් දක්වන සංවේදීතාවයයි.

“ඔහොම කෙලින්ම කැටගොඩ ගල්ලන්දල පාලම ළඟට යන්න. එතනට ඔය ගේ පේන නොපෙනෙන ගාණයි. හොයාගන්න බැරි වුණොත් අහන්නකෝ. නාගහවත්තලගේ ගෙදර කියලා... ඕනේ කෙනෙක් පෙන්නයි.”

 උඩුගම ‍පොලිසියේ දී සිවිල් ආරක්ෂක නිලධාරිනිය එසේ පවසන විට මනුජ තුළ කිසියම් අසාමාන්‍ය අතීත ස්මරණයක් තිබුණි නම් ඔහු ඊට “ඔව්.. ඔව්...., කැටගොඩ මං දන්නවා ගල්ලන්දල පාලමත් මතකයි...” ආදී වශයෙන් ඊට ප්‍රතිචාර දැක්විය යුතුය. 

නමුදු එවැනි ප්‍රතිචාරයක් දක්වනු තබා දරුවා තුළ ඒ පිළිබඳ අල්ප මාත්‍රික හැඟීමක්වත් තිබි නැත. 

කෙසේ හෝ ‍පොලිස් ස්ථානයෙන් ලත් එම මගපෙන්වීම ඔස්සේ තිලකරත්න  සිය මනුජ පුතුද, තම බිරිඳ සහ චරිත් - හිමාලි යුවල ද ත්‍රිරෝද රථයේ නංවා ගෙන එම නිලධාරිනිය කී මඟ සලකුණු ඔස්සේ උදය කැලුම් විසූ නිවස පෙනෙන නොපෙනෙන මානයේ පිහිටි ගල්ලන්දල පාළම අද්දරට සමීප විණි. උදය කැලුම් ජීවත් වූ නිවස ආශ්‍රිත පරිසර පද්ධතිය ගතවූ කාලය තුළ සැලකිය යුතු ආකාරයකින් වෙනසකට  බඳුන් වී ඇති අයුරක් මෙම සංචාරයේ දී මට නොපෙනිණ. 

මනුජගේ පුනරුත්පත්ති කතාවේ තවත් අතිශය දුර්වල තැනක් මතුවන්නේ මෙතැනිනි. ඒ උදය කැලුම් ජීවත් වූ නිවසේ දොරකඩට පැමිණි පසු ද එම පරිසරය පිළිබඳ සංවේදීතාවයක් හෝ අබමල් රේණුවකවත් මතකයක් මනුජ සතුව නොතිබිමය.

උදය කැලුම්ගේ වැඩිමල් සොයුරිය ශ්‍රියානි ධර්මලතාගේ සැමියා වන ධර්මසිරි නාගහවත්ත සහ ඔවුන්ගේ බාල පුතු චින්තක නාගහවත්ත මෝටර් සයිකලයකින් එහි පැමිණෙනුයේ එලෙස තිලකරත්න පැදවූ ත්‍රිරෝද රථය ගල්ලන්දල පාලම අද්දරට පැමිණි පසුවය. ඒ දෙදෙනා ඒ මොහොතේ ඒ ආසන්නයේ පිහිටි ගල්ලන්දල ශ්‍රී සුධර්මාරාමය වෙත දහවල් දානය රැගෙන යමින් සිටියහ. 

“අර තියෙන්නේ අපේ ගේ... එහාට යන්න අපිත් ඉක්මනට එන්නම්...” මිය ගිය උදය කැලුම්ගේ මස්සිනා වන ධර්මසිරි නාගහවත්ත මහතා පවසා ඇත්තේ මනුජගේ පෙරආත්මයේ කථාවට පිවිසීමට මගක් තොටක් නොදැන අතරමග නතරව සිටි තිලකරත්න ඇතුළු පිරිසට නිසි මග පෙන්වමිනි.

මෙහි තවත් කොටසක් කියවීම සඳහා අප හා රැඳී  සිටින්න.



 
Related Posts with Thumbnails