Ads 468x60px

.

චුයිංගම් දෙකක් සොරකම් කළැයි තම දියණියගේ ඇඟිලි පලා ලුණුකැට එබූ තාත්තාගේ කතාව...

තම ආදරණීය පියාණන්ගේ දෙපතුල් පලා ලුණු  දැමූ දරුවකු ගැන අපට අසන්නට ලැබෙන්නේ අජාසත්ත කතා පුවතිනි. 

එදා දේවදත්තගේ බහට රැවටුණු අජාසත්ත පුතා බිම්බිසාර පිය රජතුමාට මේ සැහැසිකම කළේ වැරදි ඇසුර නිසාය. 

එවැන්නක්ම නොවුණත් මෑතකදී ඊට සමාන තවත් සිදුවීමක් අනුරාධපුර හොරොව්පතාන, ඇලපැත්තාව ප්‍රදේශයෙන් වාර්තා විය. එය අනාවරණය වූයේ එම සිදුවීම වී මාස තුනකට පමණ පසුවය.

මෙදා සිදු වූ කතාවට අනුව එම සැහැසිකම කළේ හිතක් පපුවක් නැති පියෙකු විසිනි. ඔහු මේ අපරාධය කළේ අට හැවිරිදි තම දියණියටය.
හොරොව්පතාන ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක සංජය  මහානාම මහතා ඉදිරියේ දිගහැරුණු ඒ සානුකම්පිත කතාව මෙසේය.


සරත් සිය ජීවන වෘත්තිය ලෙස කළේ සිල්ලර බඩු වෙළෙඳාමයි. ඔහු තම නිවස ඉදිරිපිට කුඩා සිල්ලර බඩු කඩයක් පවත්වාගෙන ගියත් නිතර නිතර මත්පැන් පානය කිරීම පුරුද්දක් ලෙස කරගෙන යන්නටද අමතක නොකළේය.


මෙසේ මත්පැන් පානයට ඇබ්බැහි වී සිටි සරත් ඉවක් බවක් නැතිව බිරිඳ සමග කරන සණ්ඩු සරුවල්වලද අඩුවක් දක්නට තිබුණේ නැත. 28 හැවිරිදි සරත් දරුවන්ට පවා සැලකුවේ නොහොබිනා මිනිසෙකු ලෙසින් බව අනාවරණය වී ඇත.

“අපේ මනුස්සයා මට හරියට කරදර කරනවා. බිලා ඇවිත් මටයි දරුවන්ටයි පහර දෙනවා. අනේ මේක නවත්වලා දෙන්න සර්.”
දිනක් සරත්ගේ බිරිඳ දීපිකා ‍පොලීසියට පැමිණ තම දුක් ගැනවිල්ල කියන්නට පටන් ගත්තාය. ඒ පසුගිය 21 වෙනි ඉරිදාය.‍


පොලීසිය හමුවට පැමිණ තම දුක්ගැනවිල්ල ඉදිරිපත් කළ දීපිකා ඒ අවසරයේදීම තවත් සැඟවුණු කතාවක් හෙළි කරන්නට මුලපිරුවේ තම ස්වාමිපුරුෂයා එතරම් කෲර පුද්ගලයකු බව තව තවත් ස්ථිර කර පෙන්වන්නටය.

ඒ සැඟවුණු කතාව මෙසේය. 


සරත්ට සිටින්නේ දරුවන් දෙදෙනකි. එයින් වැඩිමහල් දරුවා අට හැවිරිදි ශාලනී කෞෂල්‍යාය. මේ වයසේ දරුවන් දඟකාරය. ගැහැනු පිරිමි භේදයෙන් තොරව ඒ දඟකාරකම් පවතින්නේ ඔවුන් දරුවන් නිසාය.

එමෙන්ම ඔවුන් පැණි රස කෑමට එසේත් නැත්නම් කඩචෝරු කෑමට දක්වන්නේ අසීමිත ඇල්මකි. කෞෂල්‍යාත් එසේමය. ඇය බොහෝ විට පියාට හොරෙන් කඩයට ගොස් පැණි රස බෝතලයට අත දමා ටොෆියක් දෙකක් කන්නට පුරුදුව සිටියාය.

පසුගිය මාර්තු මාසේ දවසක ඇය මේ අයුරින්ම පියාගේ කඩයට පිවිසියාය. එදා ඇගේ සිත ගියේ චුයින්ගම් බෝතලය වෙතය. කෞෂල්‍යා චුයින්ගම් දෙකක් හිමිහිට අතට ගත්තේ ගෙතුළට පිවිස ඒවායේ රස බලන්නටය.


මුදලාලි තාත්තලාගේ දරුවන් බොහොමයක් මේ අයුරින් හැසිරීම පුදුමයක් නොවන්නේ පෙර කී පරිදි පැණි රසත් දරුවනුත් අතර මනා සබඳතාවක් ඇති නිසාය.

ඒත් එදා කෞෂල්‍යාට වැරදුණි. පැණි රස කෑමට දරුවන් තුළ ඇති ආසාව තේරුම් නොගත් සරත් කෝපයෙන් ගිනියම් වුයේය. රෞද්‍රව කෞෂල්‍යා දෙස බැලුවේය. ඊළඟ මොහොතේ කේන්තියෙන් යුතුව තම දියණියව අල්ලා ගත්තේය.


“ආපහු හොරකම් නොකරන්න උඹට මං හොඳ දඬුවමක් දෙනවා” මෙසේ කියූ සරත් තම දියණියව අල්ලාගෙන කුරිරු වද හිංසාවකට ලක් කිරීමේ මූලික සැලැස්ම දියත් කළේය.


‍පොලීසියට වාර්තා වී ඇති ආකාරයට අනුව ඔහු මුලින්ම කළේ බ්‍ලේඩ් තලයක් ගෙන කෞෂල්‍යාගේ දකුණු අතේ ඇඟිලි පැලීමය. “අනේ තාත්තේ එපා” කෞෂල්‍යා මර හඬදී කෑගසද්දී සරත් තම රෞද්‍රකම මනාව පෙන්වා දුන්නේය.


මේ අවනඩුව දරාගත නොහැකි දීපිකා කෑ මොර දී තම දියණිය බේරාගන්නට තැත් කළත් ඇයට ඒ සඳහා අවසර ලැබුණේ නැත.
“තෝත් පල. නැත්නම් තොටත් කරන්නේ මේකමයි.” වියරු වැටුණු සරත් මර හඬදී කෑගසන කෞෂල්‍යාගේ විලාපය තුට්ටුවකට වත් ගණන් නොගත්තේය.


කෞෂල්‍යාගේ දෙනෙත්වලින් කොතරම් කඳුළු පිට වුණාදැයි ඔබට අපට තේරුම් ගත හැකිය. ඒ අප සිත් පිත් ඇති මනුස්සයන් නිසාය. “මේ ආකාරයට දකුණු අතේ ඇඟිලි බ්‍ලේඩ් තලයකින් කපා මේ පාපතර පියා ඒ තුළට ලුණු කැට එබුවේ තිරිසන් නරුමයෙකු ලෙසිනි.


‍ලේ ගලන ඇඟිලි තුඩු මතට ලුණු කැට ඔබද්දී ඒ වේදනාව මේ පුංචි සිඟිත්තියට දරාගත නොහැකි විය. ඇය කෑ මොර දී ඉවසුම් නැතිව  නිවස පුරා දිව ගියේ වෙනත් විකල්පයක් නැති නිසාය.


මේ ආකාරයට බිහිසුණු ක්‍රියාවලියකින් පසුව නිහඬ වූ සරත් තම දියණියගේ විලාපය තඹයකට මායිම් නොකර පැත්තකට වී ගෙරෙව්වේ මේ අයුරින් ක්‍රියා කළොත් තවදුරටත් ලබා දෙන දඬුවම් මේ ආකාරයේ ඒවා බව සඳහන් කරමිනි.


කෙසේ හෝ මේ සිදුවීමෙන් තවත් දින ගණනාවක් කෞෂල්‍යා වේදනා වින්දාය. දුක් වින්දාය. තාත්තා දෙස බැලුවේ අහිංසක මුවැත්තියක ලෙසිනි. “එදා සරත් කියන පුද්ගලයා කළ මේ අපරාධය ‍පොලීසියට වාර්තා වුණේ නැහැ. දරුවන්ගේ අම්මා ‍පොලීසියට එන්න දැක්වූ බිය නිසාම මේක යටපත්වී ගොස් තිබුණා.”


“ඒ විතරක් නමෛයි දරුවා ඇඟිලිවල තිබුණු තුවාල හින්දා දින ගණනාවක් ඉස්කෝලෙ පවා ගිහින් තිබුණේ නැහැ. “හැබැයි තම ස්වාමිපුරුෂයාගේ පහර දීම් ඉවසාගන්න බැරිව ‍පොලීසියට ආපු දරුවන්ගේ අම්මා මේ දියණියට කළ අපරාධය ගැනත් කියන්න පසුබට වුණේ නැහැ. අන්න එතනදී තමයි අපි මේ පිළිබඳව සොයා බලලා මේ පුද්ගලයාව අත්අඩංගුවට ගත්තේ.”


මෙසේ කීවේ හොරොව්පතාන ‍පොලිස් ස්ථානාධිපතිවරයාය. ‍පොලිස් අත්අඩංගුවට පත් සරත් මේ කළ වරද පා‍පොච්චාරණය කළේය. ඒ අනුව ඔහුට නඩු පැවැරුනේ ළමා හිංසාව යටතේය. “දැන් සරත්ට එරෙහිව නඩුව විභාග කෙරෙනවා. පළමුවන නඩු වාරයේදී විත්තිකරුව රුපියල්  ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරියා.


මේ වෙද්දී කෞෂල්‍යාගේ මව දීපිකා තම ස්වාමිපුරුෂයාගෙන් වෙන්වීමට තීරණය කර ඇත. මෙවැනි පුද්ගලයෙකු සමග වෙසෙනවාට වඩා දරු දෙදෙනා සමග තනිවම සිටීම යෙහෙකියි ඇය සිතන්නට ඇත.


“මහේස්ත්‍රාත්වරයා විත්තිකරුට අවවාද කර තිබෙනවා පැමිණිලි පාර්ශ්වයේ කිසිවකුට බලපෑම් නොකරන ලෙස. එසේ වුවහොත් ඇප අවලංගු කරන බවත් දන්වා තිබෙනවා. 


ඒ විතරක් නමෛයි දරුවාගේ තුවාල සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් පවා ලබාගන්න මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබෙනවා.” ‍පොලිස් පරීක්ෂක සංජය මහානාම  මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

- සමන් ප්‍රියංකර නම්මුනිගේ
 
Related Posts with Thumbnails