Ads 468x60px

.

2012 ලෝක විනාශය වෙයි ද? නැද්ද?

මායාවරුන් මෙතෙක් කී අනාවැකි ඉටුව තිබෙනවා...

මායාවරුන් ගේ දින දර්ශනය අවසන් වන 2012. 12. 12 දිනෙන් පසු ලෝක විනාශය සිදුවන බවට විවිධ මත, පුවත් මේ වන විට සමාජයේ විවිධ අයුරින් කතාබහට, විවාදයට ලක් වෙනවා. 


සැබවින්ම, ලෝක විනාශය පිළිබඳ සමාජයේ මුල්බැස ගෙන ඇති මේ කතාව කලා ක්ෂේත්‍රයේ නියැලෙන කලාකරුවන් කෙතරම් දුරට පිළිගන්නේ ද? 
ඒ සඳහා ඔවුන් දක්වන්නේ කුමන අන්දමේ අදහසක් ද ප්‍රතිචාරයක් ද යන්න කලාකරුවන් කිහිප දෙනෙකුගෙන් විමසා බලන්නට අපි අදහස් කළා. 2012 වසරේ අග සිදුවනවා යැයි පැවසෙන මේ ලෝක විනාශය පිළිබඳ මතයට ඔවුන් අදහස් දැක්වූයේ මෙලෙසයි.


මායාවරුන් මෙතෙක් කී අනාවැකි ඉටුව තිබෙනවා

සතිස්චන්ද්‍ර එදිරිසිංහ


කිසිම කෙනෙක් ලෝක විනාශයක් වෙනවා කියල කියන්නෙ නැහැ. එහෙම වෙනවට අපි කවුරුත්ම කැමැතිත් නැහැ. නමුත් මීට පෙර මායාවරුන් පැවසූ අනාවැකි ඉෂ්ට වෙලා තිබෙනවා. ඒක නිසා මේ මතය බැහැර කරන්නත් බැහැ. 

ඒ කොහොම වුණත් ලෝක විනාශයක් සිද්ධ වෙනවා කියන මතයේ මම නැහැ. නමුත් ලෝකය තුළ විශාල වෙනස්කම් සිදුවෙන්න ඉඩ තිබෙනවා. සුනාමිය, භූමිකම්පා, සුළි සුළං, හිම කඳු දියවීම්, ඕසෝන් ස්ථරයේ සිදුරු වීම් වැනි භයානක දේ ලෝකයේ මේ වන විට සිදු වෙනවා. 

මෙතෙක් ජීවිතයේ අත්දැකපු නැති අත්දැකීම් අපි අද වෙනකොට විඳිනවා. මේ වසරේ විශාල වෙනස්කම් ස්වභාව ධර්මය තුළ සිදුවන බව පෙනෙන්නට තිබෙනවා. කොහොම වෙතත් මේ ගැන මගේ පදනම තමයි, මගේ ගුරු හාමුදුරු නමක් හිටියා. 

උන්වහන්සේ අපවත් වී වදාළ කපුදූවේ සිරිගුණාලංකාර හාමුදුරුවෝ. උන්වහන්සේට හම්බ වෙලා තිබුණා එක්තරා පුස්කොළ පොතක්. එහි නම ‘යමදේව සංහිතා’ යි. එහි සඳහන් වෙනවා ලෝකයේ බල පහක් පිළිබඳව.

1. බුදු බලය, 2. පසේ බුදු බලය, 3. මහ රහත් බලය, 4. ධ්‍යාන බලය, 5. දියසෙන් බලය.

මේ දියසෙන් බලය නැවත කොටස් පහකට බෙදෙනවා.

1. පෙර උරුමය, 2. පෙර පැතුම, 3. මහේශාඛ්‍ය දේව සම්බන්ධය, 4. වසවර්තී අනුමැතිය (නරකට අධිපති), 5. බුද්ධ අධිෂ්ඨානය.

මේ බුද්ධ අධිෂ්ඨානය කියන වචනය නිසා තමයි සමාජයේ පස්වාන් දහසක් බුදුවන්න කියන වචනය එන්නේ. ශ්‍රී ලංකාවට වඩා ඉන්දියාව ප්‍රමාණයෙන් හැට දෙගුණයක් (62) විශාලයි. මේ මහා භාරතයේ පහළ වුණු තථාගතයාණන් වහන්සේ බුද්ධ ශාසනය ස්ථාපිත කළේ ශ්‍රී ලංකාවේ.

වසර පන්දහසක් පවතින බුදු දහම 2600 දී නිම වෙන්න බැහැ. මේ නිසා මම කියන්නේ ලෝක විනාශයක් සිදුවන බව පිළිගන්නට බැහැ කියලයි. නමුත් ලෝකයේ විවිධ වෙනස්කම් සිදුවන මතයේ මම ඉන්නවා.
ධම්ම පදයේ සඳහන් වෙනවා වහින වැස්ස වහිනවාමයි. 

එය නවත්වන්න කිසිවෙකුට බැහැ. නමුත් කුඩය අරගෙන යනකොට තෙමෙනවා අඩුයි. කුඩය යනු දහමයි. ඒ වගේම තව දාර්ශනික මතයක් තිබෙනවා ඇල්බට් අයින්ස්ටයින් ඉදිරිපත් කරපු. ඒ විද්‍යාවෙන් තොර දහම ආබාධිතයි දහමෙන් තොර විද්‍යාව අන්ධයි කියලා. මේ හැම දේම අනුව මට කියන්නට තියෙන්නේ දහම අපේ ජීවිතයට අවශ්‍යයි. හොඳම දේ තමයි ධර්මානුකූලව ජීවත්වීම.



ලෝකය කෙසේ වෙතත් මිනිස් විනාශයක් නම් අත ළඟයි

නිහාල් නෙල්සන්


සංඝ පීතෘන් වහන්සේලා අපිට උගන්වා තිබෙන බුද්ධ ධර්මයට අනුව බුදුරජාණන් වහන්සේ ගේ බුද්ධ කාලය මහා භද්‍ර කල්පයක්. ඒ කියන්නේ වසර පන්දහසක්. මෙයින් අදහස් වන්නේ බුදු දහම මහ භද්‍ර කල්පයක් පවතිනවා ය කියලයි. 

මේ ගෙවෙන්නේ බුදුන් වහන්සේ ගේ සම්බුද්ධත්ව ජයන්තියේ 2600 වැනි වර්ෂයේ අගභාගයයි. තවත් වසර දෙදහස් ගණනක් බුද්ධ කාලය ඉදිරියට සම්පූර්ණ විය යුතුයි. ඒ නිසා බුදු දහමට අනුව ලෝක විනාශයක් සිදු වෙනවා ය කියන දේ අපිට පිළිගන්න බැහැ. 

නමුත් වර්තමානයේ මිනිසුන් තම ජීවිත පවත්වාගෙන යන ආකාරය අනුව ඒ කියන්නේ ඔවුන් සිදු කරන පින් පව් අනුව ඔවුන්ගේ ඉදිරි අනාගතය තීරණය වෙනවා.

පින් කරන මිනිසුන් රැකෙන බවත් පවු කරන මිනිසුන් ඉක්මනින්ම විනාශ වන බවත් මම පිළිගන්නවා. අපි මේ යන ගමනේ දී අද අපිට ඇස්පනා පිටම දකින්නට තිබෙන මේ සමාජයේ විවිධ විනාශයන්, දුශ්චරිතයන් භීෂණය, දූෂණය හේතුවෙන් මේ ලෝකය විනාශ වන එක කෙසේ වෙතත් මිනිසුන්ගේ විනාශය නම් අත ළඟ බව පෙනෙනවා. 

මම හිතන්නේ පව් කරන මිනිස්සු විනාශය කරා යන අතරම පින් කරන මිනිසුන්ට මහා භද්‍ර කල්පය ගෙවන්නට පුළුවන් තත්ත්වයක් ඉදිරියට ඇති වේවි කියලයි.


ඕවා බොරු කටකතා

උදයකාන්ත වර්ණසූරිය

මම නං කියන්නේ ලෝක විනාශය කියලා දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මේවා එක එක අයගේ බොරු කටකතා. මම දකින්නේ මෙයත් වෙළෙන්දන්ගේ ප්‍රයෝගයක්. එහෙම නැත්නම් බිස්නස් ට්‍රික් එකක් ලෙසයි. ලෝක විනාශය කියන දේ කවදා හරි සිද්ධ වෙයි. 

එහෙම වෙයි කියලා අපි අපේ වැඩ කටයුතු පැත්තට දාලා අන්ධ වෙලා ඒ දේවල් විශ්වාස කරමින් සිටිය යුතු නැහැ. මරණය ගැන කියන්න බැහැ වගේම ලෝක විනාශය ගැනත් කියන්න බැහැ. හොඳම දේ ධර්මානුකූල ජීවත්වීමයි.

බුදු දහමට අනුව ලෝකය ඇති වෙනවා වගේම නැති වෙනවා

එඩ්නා සුගතපාල


ලෝක විනාශය ගැන කතා කරන කොට ඉස්සෙල්ලම කියන්න ඕන මේ ලෝකය ඇතිවෙමින්, පැවැතෙමින්, නැතිවෙමින් තියෙන බව. මේ න්‍යාය තුළට මම අවතීර්ණ වුණේ බෞද්ධ දර්ශනයෙන්. ලෝකයේ කිසිම ශාස්තෘවරයකුට වෙනස් කරන්න බැරි නියත ධර්මය තමයි බුද්ධ ධර්මය. 

මගේ ආකල්පය අනුව ලෝකයේ පවතින සියලු විද්‍යාත්මක නියමයන් අබිබවා යන්න හැකි ධර්මය බුද්ධ ධර්මයයි. බුදුන්ගේ ධර්ම දේශනා අනුව ලෝකය ඇති වෙනවා වගේම පැවැතීමත් පවතිනවා වගේම නැතිවීමත් සිදුවිය යුතුයි. 

කවදා හරි මේ ලෝකය විනාශ වන එක ස්ථිරයි. 1899 දී ලෝකය විනාශ වන බව එක කාලයක් කිව්වා. නැවත 1919 දී විනාශ වන බව කිව්වා. මේ වකවානුවේදී 2012. 12. 12 දින හෝ ආසන්න දිනක ලේකය විනාශ වෙනවා කියලා තව මතයක් ඇති වෙලා තිබෙනවා. 

මේ දේ මම දකින්නේ අපේ ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ ඉන්න රවී, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු, යුරේනස්, නැප්චුන්, ප්ලුටෝ කියන ග්‍රහයන් දෙළොස් දෙනා අනුවයි.

ග්‍රහයන්ගෙන් පෘථිවියට රශ්මි ධාරාවක් පතිත වෙනවා. ඒ රශ්මි ධාරාව මිනිසා කරා යළිත් පරාවර්තනය වෙනවා. එවිට තමයි මෙයාට හොඳයි අරයාට අසුබයි කියලා කියන්නේ. මේවා අඩු වැඩි වශයෙන් මිනිසාට බලපානවා. මේ අඩු වැඩි වීම මත තමයි කෙනෙකුට අපලයි කෙනෙකුට සුබයි කියලා ඡ්‍යොතිෂයේදී කියන්නේ. 

ලෝක විනාශයේදී සිදුවන්නේ ඉරයි පොළොවයි අතර සිටින ග්‍රහයින් සියල්ලම එක පෙළට එදිනට එකතු වෙනවා. එවිට භූ චලන, අස්වාභාවික විපත් වැනි දේවල් විශේෂයෙන් ඇති වෙනවා. 

මේ පිහිටීම උඩ භයානක විපත් සිදුවෙන්න ඉඩ තිබෙනවා. මගේ පෞද්ගලික අදහස තමයි 2012 දෙසැම්බර් 12 වැනි දා එහෙම විනාශයක් සිදුවන්නේ නැහැ කියන එකයි. 

මොකද අපි සැම දෙනාම ධාර්මිකව මේ ලෝකයේ ජීවත් වුණොත් ඒ දහමට අනුව අපිව ඒ ධර්මයෙන් ආරක්ෂා වන නිසා එවැනි විපත් සිදුවීමේ ඉඩකඩ අඩුයි. මේ ලෝකයේ අපේ ජීවිත ඔප්පුව අපේ හඳහනයි. ඒ අනුව තමයි අපිට යම් දෙයක් ලැබෙන්නෙ සහ නොලැබී යන්නේ.
 
Related Posts with Thumbnails