Ads 468x60px

.

මගේ මහත්තයාට වෙඩි තියාගෙන මැරෙන්න තරම් හේතුවක් තිබුනේ නෑ..

මගේ මහත්තයට කිසිම ප්‍රශ්නයක්‌ 
කරදරයක්‌ තිබුණෙ නෑ. 

මමත් දරුවො තුන්දෙනත් ඉදිරියේ 
වෙඩි තියාගෙන මැරෙන්න 
තරම් ප්‍රශ්නයක්‌ මහත්තයට 
තිබුණෙ නෑ...

මගේ මහත්තයට සිදුවූ විපත ගැන මට අදහාගන්න බෑ. අනේ දෙවියනේ මමත් මේ නොදරුවන් තුන්දෙනත් මේ ලෝකෙ තනි වුණා. 

යෑයි ඇල්පිටිය පොලිසියේ මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක බී. ඩී. එල්. එල්. බුදාගොඩ මහතා වෙඩි තබාගෙන මිය යැමේ ශෝකය දරාගත නොහැකිව විලාප තබමින් බුදාගොඩ මහතාගේ බිරිඳ වන ශිරෝමනී ප්‍රියංකා වීරසිංහ (38) මහත්මිය පවසනවා.

මෙසේ ඉතා අවාසනාවන්ත ලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ ඇල්පිටිය පොලිසියේ මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක වශයෙන් සේවය කළ බී. ඩී. එල් එල්. බුදාගොඩ මහතාය.

විලාප තබමින් ශිරෝමනී මහත්මිය මෙසේ පැවැසුවා. 


මගේ මහත්තය මීට වසර කිහිපයකට පෙර දිනපතාම මත්පැන් පානය කළා. ඒත් දැන් කාලයක සිට මත්පැන් පානය කිරීම
සම්පූර්ණයෙන්ම නතර කළා.


ආගමට දහමට ලැදි වුණා. ආගමානුකූල ජීවිතයකට යොමු වුණා. සෑම පසළොස්‌වක පොහොයකටම ඔහු අටසිල් ගත්තා. ආගමික වතාවත්වල නිරත වුණා.

සිද්ධිය වූ දවස මට හොඳට මතකයි. එදා සවස 7.00 ට විතර එයා වැටලීමකට යනව කියල පිටව ගියා. රාත්‍රි 8.30 ට පමණ නැවත වැටලීම අවසන් කර පොලිසියට ආවා. ඇවිත් එයාගේ නිල කාමරයේ සිට රාජකාරි කටයුතු නිමකර රාත්‍රි 9.15 ට පමණ නිල නිවසට පැමිණියා.

අපි දෙන්න අතරේ කවදාවත්ම ප්‍රශ්නයක්‌ ගැටුමක්‌ තිබුණේ නෑ. මටත් දරුවො තුන්දෙනාටත් එයා පණට වගේම ආදරෙයි. මොන රාජකාරි වැඩ තිබුණත් දිනපතාම දරුවො තුන්දෙනාගේ පාසල් පොත්පත් බලා පාඩම් කියා දෙනවා. පාසල් වැඩ ගැන සොයා බලනවා.

නිල කාමරයේ සිට නිවසට පැමිණි එයා ලොකු දුවට ළඟට කතාකරල එයාගේ හිස අතගා නංගිලා දෙන්නා හොඳට බලාගන්න කියල එක්‌ වරම ඉනේ තිබුණු පිස්‌තෝලය අතට අරගෙන පපුවට වෙඩි තියා ගත්තා.

මගෙත් දරුවො තුන්දෙනාගෙත් ලතෝනියට පොලිසියේ නිලධාරීන් නිවසට ආවා. ඒ අය ඒ මොහොතේම මහත්තයව ඇල්පිටිය රෝහලට ගෙන ගියා. අනේ දෙවියනේ ඒ වන විටත් මගේ මහත්තයා ජීවිතයෙන් සදහටම සමුගෙන තිබුණා. මේක මට සිහිනයක්‌ වගේ. අදහාගන්න බෑ.

බුදාගොඩ මහතාගේ හදිසි වියෝවෙන් ඔහුගේ දියණියන් වන එෂිනා (12) ප්‍රින්සිස්‌ (10) සහ ඉඳුවරී (05) දියණියන් තිදෙනා සහ ආදර බිරිඳ මෙලොව තනි වී ඇත.

ඔහුගේ වැඩිමහල් දියණියන් දෙදෙනා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ 6 වසරේ සහ 4 වසරේ අධ්‍යාපනය ලබන අතර බාල දියණිය පෙර පාසල් අධ්‍යාපනය ලබයි.
 
Related Posts with Thumbnails