Ads 468x60px

.

වම්බටු කිලෝව 300යි, බෝංචි කිලෝව 400යි - අපිට මොකද වෙන්නේ...

ලැම්බෝගිනිවලින් ගෙනැවිත් විකිණුවත් මෙතරම් මිල ඉහළ යා නොහැකියි..

ගෙවතුවලින් එකතු කොට ලැම්බෝගිනි කාර් වලින් ගෙනැවිත් විකිණුවත් එළවළු මිල මෙතරම් ඉහළ යා නොහැකි බව විපක්ෂ නායකවරයා පවසනවා. 

කුරුණෑගල, දොඩම්ගස්‌ලන්ද ප්‍රදේශයේ පැවැති සංවාදශීලී ජනහමු අමතමින් ඒ මහතා පෙරේදා (20 දා) මේ බව කියා සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ හෙතෙම මෙසේද පැවසුවා.

2014 එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ආණ්‌ඩුවේ කල් ඉකුත් වීමේ වර්ෂයයි. එම නිසා 2014 න් පසු මෙම රාජපක්‍ෂ රෙජීමය තබා ගැනීමෙන් පළක්‌ නැහැ. මේ ආණ්‌ඩුව තවදුරටත් තබා ගැනීමෙන් ජනතාවට ජීවත් වීමට හැකියාවක්‌ ලැබෙන්නේ නැහැ.

අද වම්බොටු කිලෝව රුපියල් 300 යි. බෝංචි කිලෝව රුපියල් 400 යි. එළවළු මිල එක වර වැඩි වු බව ආණ්‌ඩුව ප්‍රකාශ කරනවා. නමුත් ගෙවතුවලින් එකතු කරන එළවළු, ලැම්බෝගිනි කාර් එකකින් ගෙනැවිත් අලෙවි කළත්

මිල මෙතරම් වැඩි විය නොහැකියි. අයහපත් දේශගුණය හේතුවෙන් මිල වැඩි වූ බවටත් ආණ්‌ඩුව තවත් අවස්‌ථාවක ප්‍රකාශ කරනවා.

ආණ්‌ඩුව පසුගිය කාලයේදී ජනතාවට ආහාර සපයනවා වෙනුවට ශිරාණි බණ්‌ඩාරනායක පසුපස දිව්වා. ඒ වගේම පසුගිය අයවැයෙන් සුපිරි වෙළෙඳසල්වලට සුපිරි බද්දක්‌ පැනෙව්වා. එම බදු පැනෙව්වේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ගෙවීම සඳහා මුදල් සොයා ගැනීමටයි. ආණ්‌ඩුවේ ඇමැතිවරුන්ට කෝටි ගණන් හම්බ කිරීමට අවස්‌ථාව තිබෙනවා. 


එසේ නම් වෙළෙඳසල් හිමියන් වැඩිපුර රුපියලක්‌ දෙකක්‌ හම්බ කිරීම ප්‍රශ්නයක්‌ද? මේ ආකාරයට ආර්ථිකය ගමන් කරන විට ජීවන වියදම දිනෙන් දිනම වැඩි වනවා. සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසයේදී බඩු මිල වැඩි වන බව අපි දන්නවා. නමුත් මෙතරම් ප්‍රමාණයකින් වැඩි වුණේ නැහැ. බඩු මිල වැඩි වීම නැවැත්වීම සඳහා පියවර ගැනීමට ආණ්‌ඩුවට හැකියාව තිබුණත් එසේ කටයුතු කළේ නැහැ.

ආණ්‌ඩුව පොරොන්දු වූ සහන මල්ලට සිදු වූයේ කුමක්‌දැයි අප ප්‍රශ්න කරනවා. එම සහන මල්ලේ වම්බටුවල මිල කීයද? බෝංචිවලට කීයද? අමු මිරිස්‌ කීයද? සහන මල්ලේ කැරට්‌ සොයා ගැනීමට බැහැ.

මේ වන විට රටේ නිදහස්‌ අධ්‍යාපනය නැති කර ඉවරයි. නිදහස්‌ සෞඛ්‍යයක්‌ නැහැ. කෑම ටිකක්‌ කන්න, ජීවත් වෙන්න විදියක්‌ නැහැ. ඉගෙන ගන්න විදියක්‌ නැහැ. රැකියා නැහැ. එසේ නම් මේ ආණ්‌ඩුව තවදුරටත් තබා ගන්නේ කුමකටද? එම නිසා රාජපක්‍ෂ රෙජීමයේ ආයු කාලය 2014 න් අවසන් කිරීම අවශ්‍යයි. නැත්නම් රටේ තරුණ පරපුරට අනාගතයක්‌ නැහැ.

ආණ්‌ඩුව පන්නා දැමීමට අපට අවි ආයුධ අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ දේශපාලන වශයෙන් උද්ඝෝෂණය කිරීමයි. සෑම ගමකින්ම එම උද්ඝෝෂණ අරම්භ විය යුතුයි. සෞදි අරාබියට නොයවා, ලංකාවේම රැකියා ලබා දෙන ලෙස උද්ඝෝෂණ කළ යුතුයි. නිවාස ඉදි කිරීමට ණය පහසුකම්, නිදහස්‌ අධ්‍යාපනය, නිදහස්‌ සෞඛ්‍ය, ජීවත් වීමට අවශ්‍ය පහසුකම් ඉල්ලා උද්ඝෝෂණ කළ යුතුයි. අපට බොරු කළ රාජපක්‍ෂ රෙජීමය පන්නා දැමීමට එම කටයුතු සිදු කළ යුතුයි.

යුද සමයේ දී පටි තද කර ගන්නා ලෙස ආණ්‌ඩුව ජනතාවගෙන් ඉල්ලා සිටියා. ගම්වල තරුණ තරුණියන් යුද්ධය වෙනුවෙන් ජීවිත පූජා කළා. නමුත් 2009 න් පසු යුද්ධය නිමා කිරීමේ සහනය ජනතාවට ලබා දී නැහැ. නිදහස්‌ අධ්‍යාපනය, රැකියා අවස්‌ථා ලබා දී නැහැ. එම නිසා මෙම පාලන ක්‍රමය අවසන් කිරීමේ ගමන ගමෙන් ආරම්භ කළ යුතුයි.

ගෙයින් ගෙට ගොස්‌ ජනතාව දැනුවත් කිරීමේ වගකීම අපේ ආසන සංවිධායකවරුන්ට පැවරෙනවා. එසේ සංවිධානය වීමට මේ වසරේ පළමු මාස 3 අප වෙන් කර තිබෙනවා. අප එක්‌සත් ජාතික පක්‍ෂයට බැඳෙන්නේ නැතැයි සමහරුන් කියන්නට පුළුවන්. 


මේ ආණ්‌ඩුව පන්නා දැමීමට අවශ්‍ය බව පැවසුවත්, තමන් මධ්‍යස්‌ථව සිටින බව තවත් සමහරුන් පැවසීමට පුළුවන්. නමුත් ඔවුන් සියලු දෙනාටම අපි අපේ පණිවුඩය ලබා දිය යුතුයි. රැකියා ලබා දෙන ආකාරය, ජීවන බර අඩු කරන ආකාරය, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරන ආකාරය අප පැහැදිලි කර දිය යුතුයි.

බල ඇණියක්‌ හැදීමට හමුදාවක්‌ ඇති කළ යුතුයි. බලඇණි හැදීමට පෙර කණ්‌ඩායම් හැදිය යුතුයි. අපත් පහළ මට්‌ටමේ සිට අපේ පක්‍ෂයේ බලඇණි ඇති කළ යුතුයි. මේ රටේ ඡන්දපොළවල් 11,000 ටම එක්‌සත් ජාතික පක්‍ෂ බලඇණි හැදෙන විට ආණ්‌ඩුව බියට පත් වෙනවා. රාජපක්‍ෂ රෙජීමයට මුහුණදීමට අපේ එම බලඇණිවලට හැකියාව ලැබෙනවා.

රාජපක්‍ෂ රෙජීමය ගෙදර යන තුරු අප පාරට බැස උද්ඝෝෂණය කළ යුතුයි. මෙම වසරේ පළමු මාස තුන තුළදී ඒ සඳහා සංවිධානය වීම අත්‍යවශ්‍යයි. පක්‍ෂයට වැඩිපුර සාමාජිකයන් බඳවා ගන්නා අය විශේෂ ඇගයීමට ලක්‌ කිරීමට අප කටයුතු කරන අතරම ඔවුන්ට විශේෂ ත්‍යාගයක්‌ද ලබා දෙනවා. 


අපේ සෑම ක්‍රියාකාරී සාමාජිකයෙක්‌ම තවත් සාමාජිකයන් දස දෙනෙකු බැගින් බඳවා ගැනීමට කටයුතු කළ යුතුයි. රාජපක්‍ෂ රෙජීමය අහෝසි කිරීම වෙනුවෙන් එවැනි සාමාජිකයකු වසරකට දැරිය යුත්තේ රුපියල් 20 ක්‌ වැනි මුදලක්‌ පමණයි.

ආසන බල මණ්‌ඩල පිහිටුවීමෙන් පසුව ජුනි මාසයේ සිට උද්ඝෝෂණ කරමින් මේ ආණ්‌ඩුව පන්නා දැමීමේ ගමන නොකඩවා ක්‍රියාත්මක කරනවා. තමන් ගැන පමණක්‌ සිතා කටයුතු කරන මේ ආණ්‌ඩුව තබා ගැනීමෙන් රටේ ජනතාවට සෙතක්‌ නැහැ.

ගමින් ගමට, ගෙයින් ගෙට ගොස්‌ ජනතාව දැනුවත් නොකළේ නම් අපට අපේක්‍ෂකත්වය ලබා නොදෙන බව 1977 දී ඡේ. ආර්. ජයවර්ධන මැතිතුමා පවසා සිටියා. එම නිසා අප මනාප වෙනුවෙන් වැඩ කළ යුතු නැහැ. මනාපවලින් ආණ්‌ඩු ඇති කළ නොහැකියි. අවශ්‍ය වන්නේ පක්‍ෂයට අලුත් ඡන්ද ලබා ගැනීමයි. එවිට තමන්ගේ රට තමන්ට අයිති වෙනවා.


දන්න ගෑණු ලමයි සේරටම SMS කරලා UNPඑකට බැඳෙන්න කියන්න- රනිල්ගෙන් ඉල්ලීමක්

SMS, රිඟින්ටෝන් වැනි දේවල් සම්බන්ධව මීට පෙර කිහිපවරක්ම විපක්ෂ නායකවරයා විසින් කතා කර තිබුණා. මේ දිනවල ඔහු දැඩි වෙහෙසක් ගන්නේ පක්ෂය දිනවීම සඳහා නව සාමාජිකයින් බඳවාගැනීමටයි.

සාමාජිකයින් බඳවාගැනීම සඳහා SMS යොදාගත හැකි බව ඔහු පවසා තිබුනේ මෙලෙසින්

"ගමේ සේරම එකතු කරගන්න. එකතු කරගන ගෙයින් ගෙට යන්න. මේ ගමේ ඒක සාර්ථකව කරලා තියනවා. කී දෙනෙක් බඳවාගෙන තියනවද ඔය මල්ලි? (ඔහු යමක් කියයි)


ඔය දන්න ගෑණු ලමයි සේරම බඳවගන්න. එතනත් දහයක් පහළොවක් ඉන්නවනේ. වැඩේ හරියට කරලා නෑ මට පේන්නේ. SMS කරලා කියන්න බැඳෙන්න UNP එකට කියලා. අන්න එහෙමයි වැඩේ කරන්න ඕනේ."


අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටළු වලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් පසුගිය අගෝස්තු මාසයේ කොටුව දුම්රියපල ඉදිරිපිටදී උද්ඝෝෂණයකදී ඔහු පැවසුවේ "නිදහස් අධ්‍යාපනය නොමරා මරන්න යන අවස්ථාවේ මම මේ නංගිලා මලිලාගෙන් එක ඉල්ලීමක් කරනවා. තමන් දන්න හැම වැඩිහිටි කෙනාටම SMS යවන්න" කියාය.

2009 වසරේ වේදිකාවකදීද රනිල් වික්‍රමසිංහ මහතා SMS පිළිබඳව කතා කර තිබුණා. ඒ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ යෞවන යෞවනියන්ගේ ජංගම දුරකථන වල තිබෙන රිඟින්ටෝන් වෙනුවට SMS ලබාදෙන බවයි.
 
Related Posts with Thumbnails