Ads 468x60px

.

ලක්ෂ 9 වංචාවට දමිතා අබේරත්නගේ කිසිදු සම්බන්ධයක් නැතිලු...

එහෙත් සොහොයුරා රිමාන්ඩ්...

හරිත වසන්තය නමැති ව්‍යාපෘතියක් මඟින් ඉඩම් වගා කර ආදායම් ලබාදෙන බව පවසා අනුරාධපුර නගරයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ නවයක පමණ මුදලක් වංචා කළ බවට චෝදනා ලැබ පොලිසිය මඟ හරිමින් සිටි ප්‍රසිද්ධ නිළියක වන දමිතා අබේරත්නගේ සහෝදරයකු වන බොරලැස් ගමුව, පැපිලියාන, නුගේගොඩ පාර අංක 297/1 ලිපිනයේ පදිංචි සංජය බණ්ඩාර අබේරත්න මේ මස 16 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

එහෙත් ඉඩම් වගා කර ආදායම් ලබාදෙන බව පවසා මුදල් වංචා කළැයි සැලකෙන හරිත වසන්තය නමැති ව්‍යාපෘතියට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව දමිතා අබේරත්න පවසනවා.

හරිත වසන්තය ව්‍යාපෘතියට අදාළ පුවත්පත් දැන්වීමට තමන් පෙනී සිටියේ සංජය බණ්ඩාර අබේරත්න යන තම සොහොයුරාගේ සහ අනෙක් පාර්ශ්වයේ හිතවත්කමක් නිසා බවත්, එය හුදෙක් හිතවත්කම මත මිසක් ගනුදෙනුවක් මත සිදුකරන ලද්දක් නොවන බවත් අබේරත්න මෙනෙවිය කීවා.

එම පුවත්පත් දැන්වීමට තමන් පෙනී සිටියද එම ව්‍යාපෘතියෙන් සිදු කෙරෙන ගනුදෙනු පිළිබඳ තමන් දැනුවත්වී සිටි නොමැති බවද 2011 වර්ෂයේ ජුනි 21 වැනි දින මුදල් ලබානොගෙන තමන් පෙනී සිටි පුවත්පත් දැන්වීම ඉවත් කරන ලෙස ලිඛිතව ඉල්ලීමක් කළ බවද,  2011 වර්ෂයේ ජුනි 30 වැනි දින එය පිළිගත් බවට ලිඛිතව ලිපියක් ලැබුණු බවද, එතැන් සිට නැවැත එම ව්‍යාපෘතියට අදාළ පුවත්පත් දැන්වීම්හි තමන් පෙනී නොසිටිය බවද ඇය පැවැසුවා.

හරිත වසන්තය ව්‍යාපෘතිය මඟින් යම්කිසි පාර්ශ්වයකට වංචාවක් සිදුවී තිබේ දැයි තමන් නොදන්නා බවත්, එසේ වංචාවක් සිදුවී නම් තමන්ගේ සොහොයුරා වුවද නිර්දෝෂී කරන්නට තමන් උත්සාහ නොගන්නා බවත්, මේ කිසිදු ක්‍රියාවකට තමන් සම්බන්ධ නොමැති බවට තමන්ගේ නිර්දෝෂී බව පැහැදිලි කිරීම අවශ්‍ය බවත් ඇය වැඩිදුරටත් කීවාය.


මේ මුදල් වංචාවේ අනෙක් සැකකරු වන කොළඹ නාරාහේන්පිට නාවල පාර අංක 129/1 ලිපිනයේ ඉන්දික හේවාවසම් නමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට විනිසුරුවරිය තවදුරටත් නියෝග කළාය. 


හරිත වසන්තය නමැති ව්‍යාපෘතියක් මඟින් ඉඩමක් වගා කර ආදායම් ලබා දෙන බව පවසා අනුරාධපුර ගුවන් තොටුපොළ පාර සාම මාවත ලිපිනයේ ඒ.කේ. ගුණපාල ද සිල්වා මහතාගෙන් රුපියල් ලක්ෂ නවයක පමණ මුදලක් සැකකරුවන් වංචනික ලෙස ලබාගෙන ඇති බවට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට මීට පෙර පැමිණිල්ලක් ලැබී තිබූ බව මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් පොලිසිය පැවසුවා.

ඒ අනුව අදාළ පැමිණිල්ල විභාග කිරීමට පොලිසියට පැමිණෙන ලෙස අවස්ථා ගණනාවක් සැකකරුවන්ට දැනුම් දුන්නද ඔවුන් එම නියමය පැහැර හරිමින් පොලිසිය මඟහැර සිටි බවද අධිකරණයට දැනුම් දුන් පොලිසිය පසුව එක් සැකකරුවකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කරමින් අධිකරණයෙන් සිතාසි නිකුත් කළ බවද
පැවසුවා.

අධිකරණ නියෝගයට අනුව පෙරේදා (9) සැකකාර සංජය අබේරත්න අධිකරණය හමුවේ පෙනී සිටින බවද කියා සිටි පොලිසිය තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට සිටින බවත් මේ සැකකරු රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පැමිණිල්ලේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රසාද් ධර්මසේන මහතා අධිකරණයට කියා සිටියේ මේ සැකකරුවන් දෙදෙනා අතරින් සංජය බණ්ඩාර අබේරත්න නමැති සැකකරු ප්‍රසිද්ධ නිළියක වන දමිතා අබේරත්න යන අයගේ සහෝදරයකු බවයි. 


හරිත වසන්තය නමැති ව්‍යාපෘතියක් මඟින් ඉඩම් වගා කර ආදායම් ලබාදෙන බව සඳහන් පුවත්පත් දැන්වීම්වලට නිළි දමිතා අබේරත්න පෙනී සිට ඇති බවද අධිකරණයට කියා සිටි නීතිඥවරයා හරිත වසන්තය නමැති ව්‍යාපෘතිය පිළිබඳ පුවත්පත්වල පළවූ නිළි දමිතා අබේරත්නගේ රුව ඇතුළත්ව සති අන්ත ජාතික පුවත්පතක පළකර තිබූ දැන්වීමක් ද අධිකරණයට ඉදිරිපත් කළේය. 

දමිතා අබේරත්න නමැති නිළියද හරිත වසන්තය නමැති මේ ව්‍යාපෘතියට සම්බන්ධ බවද අධිකරණයට සැල කළ නීතිඥ ප්‍රසාද් ධර්මසේන මහතා ඒ අනුව අදාළ නිළියද මේ මුදල් වංචාව සම්බන්ධයෙන් දැනුම්වත් වී ඇති බවද කීවේය.
 
Related Posts with Thumbnails