Ads 468x60px

.

කුමන බාධා එල්ල වුවත් වර්ජනය අද සිට අකුරටම ක්‍රියාත්මක කරනවා - ගැමුණු විජේරත්න

ලංගමයෙන් අමතර බස්‌ 1000 ක්‌

බස් ගාස්තුව ඉහළ දමා ගැනීම උදෙසා අද (11) දිවයින පුරා පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත්වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඊයේ (10) පැවසුවා. 

බස් වර්ජනය පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී එම සංගමය විසින් ඊයේ (10) පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මෙම අදහස් පළකළා.

බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව බස් හිමියන්ට හිමි නීත්‍යනුකූල බස් ගාස්තු වැඩිවීම ගැනීම උදෙසා තමන් මෙසේ වර්ජනයක නිරතවන බවත්, වත්මන් පුද්ගලික සේවා අමාත්‍යවරයා ගෙන් කිසිදාක බස් ගාස්තු වැඩිවීමක් නොලැබෙන බවත් ගැමුණු විජේරත්න මහතා පැවසුවා.

දුර ගමන් බස්රථ 3000ක් අද (11) දිනයේ ධාවනය වුවත් දිවයින පුරා පෞද්ගලික බස් රථ 20,000ක් ධාවනයෙන් ඉවත්වන බවද ඔහු
පැවසුවා. කුමන බාධා එල්ල වුවත් ඇතැම් බස් සංගම් බස් කර්මාන්තය පාවා දුන්නත් වර්ජනය අකුරටම ක්‍රියාත්මක කරන බව පැවැසූ ගැමුණු
විජේරත්න මහතා ප්‍රවාහන බලධාරීන් බස් හිමියන්ට නිසි කාලයේදී බස් ගාස්තුව දුන්නානම් මෙවැනි වර්ජනයක් ක්‍රියාත්මක නොවන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.

ලංගමයෙන් අමතර බස්‌ 1000 ක්‌ දමයි - දකුණ නුවරඑළිය සහ රත්නපුර දිස්‌ත්‍රික්‌ වර්ජනයට නැහැ

බස්‌ ගාස්‌තුව ඉහළ නොදැමීම නිසා ඊයේ (10 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමය විසින් ආරම්භ කළ බස්‌ වර්ජනයට මුහුණදීම සඳහා ලංගම බස්‌ රථ 1000 ක්‌ පමණ අමතරව යෙදවූ බව ප්‍රවාහන අමාත්‍යාංශය කියා සිටී.

අවස්‌ථා කිහිපයකදී බස්‌ ගාස්‌තු සංශෝධනයට අදාළ ජාතික ප්‍රතිපත්තිය අනුව මෙවර ගාස්‌තුව ඉහළ දමන ලෙස රජයෙන් ඉල්ලා සිටිය ද පෞද්ගලික ප්‍රවාහන සේවා ඇමැතිවරයා හෝ ජාතික ගමනාගමන කොමිෂන් සභාව හෝ ඊට නිසි ප්‍රතිචාර නොදැක්‌වීම නිසා මෙලෙස වැඩ වර්ජනය කිරීමට සිදු වූ බව පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න මහතා ඊයේ (10 වැනිදා) සවස මාධ්‍ය හමුවකදී පැවැසීය.

මෙම වර්ජනය නීත්‍යනුකූල බව ද කී ඒ මහතා බස්‌ කර්මාන්තයෙන් යෑපෙන්නන් ගේ ජීවිත වෙනුවෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට සිදු වූ බව ද සඳහන් කළේය.

මේ අතර එක්‌ පෞද්ගලික බස්‌ සංගමයක්‌ හැර අනෙක්‌ සියලුම බස්‌ සංගම් සහ සමාගම් අද දිනයේදී සුපුරුදු පරිදි බස්‌ රථ ධාවනය කරන බව පෞද්ගලික ප්‍රවාහන සේවා ඇමැති සී. බී. රත්නායක මහතා පැවැසීය.

බස්‌ හිමියන් වෙත සහන ලබා දීමට රජය තීරණය කර තිබියදීත් මෙලෙස වැඩ වර්ජනයක්‌ කිරීම අසාධාරණ බව ද ඇමැතිවරයා කීය.

මේ අතර අනෙක්‌ ප්‍රධාන බස්‌ සංගමය වන සමස්‌ත ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සමිති සම්මේලනය මෙම වැඩ වර්ජනයට සහභාගි වන්නේ ද යන්න පිළිබඳව ඊයේ සවස්‌ වන තුරුත් තීරණයක්‌ කර නොතිබූ නමුත් ඔවුන් ඒ පිළිබඳව සාකච්ඡා පවත්වන ලදී.

කෙසේ වෙතත් ඊට පෙර දිනයේදී (09 දා) එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා කියා සිටියේ තමන් වැඩ වර්ජනයට අකුල් නොහෙළන බවයි.

මේ අතර අදාළ වර්ජනය සඳහා කිසිදු සහයෝගයක්‌ නොදක්‌වන බව අන්තර් පළාත් පෞද්ගලික බස්‌ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා ඊයේ නාරාහේන්පිටදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

බස්‌හිමියන්ට පවතින ගැටලු සාකච්ඡා කොට විසඳිය හැකි ඒවා බැවින් වර්ජනයක්‌ අනවශ්‍ය බව ද හෙතෙම කීය. තමන්ට පවතින ගැටලු සම්බන්ධයෙන් පෞද්ගලික ප්‍රවාහන සේවා ඇමැතිවරයා සහ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බවත්, එහිදී යහපත් ප්‍රතිචාර ලැබුණු බව ද ඒ මහතා සඳහන් කළේය.

කාලසටහනක්‌ අනුව බස්‌ ධාවනය කිරීම, ඒකාබද්ධ කාලසටහන් ක්‍රියාත්මක කිරීම සහ ලීසිං ලබා ගැනීමේදී ඇතිවන ගැටලු නිරාකරණය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ලබා දුන් පොරොන්දු ඉටුවනු ඇතැයි තමනට විශ්වාස බව ද සරත් විජිත කුමාර මහතා වැඩිදුරටත් කීය.

මේ අතර සමස්‌ත ලංකා පෞද්ගලික බස්‌ රථ මඟීන්ගේ සංගමය විසින් නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටින්නේ සහන ලබාදීමට රජය සූදානම්ව සිටිද්දී බස්‌ ගාස්‌තු ඉහළ දැමීමට ඉල්ලීම අතිශයින් අසාධාරණ බව ය.

අහිංසක මඟීන් ඇපයට තබා ගැමුණු විඡේරත්න මහතා විසින් වැඩ වර්ජනයක්‌ කැඳවීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව එහි සඳහන් වේ.

මේ අතර දකුණු පළාතේ කිසිදු බස්‌ සංගමයක්‌ වර්ජනයට සහභාගි නොවන බව කියා සිටියේය. නුවරඑළිය සහ රත්නපුර දිස්‌ත්‍රික්‌කවල පෞද්ගලික බස්‌ සමාගම් ද වර්ජනයට දායක නොවන බව කියා සිටියහ.


ධාවනය නොකරන බස්‌ ගැන නීති පියවර ගන්නවා - බස්‌නාහිර මාර්ගස්‌ථ සභාපති

මගීන් අපහසුතාවට පත්කරමින් අද (11 වැනිදා) දින පෞද්ගලික බස්‌ රථ ධාවනය නොකරන හිමිකරුවන්ට, රියෑදුරන්ට සහ කොන්දොස්‌තර වරුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව බස්‌නාහිර පළාත් මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති අමිල රම්මණ්‌ඩල මහතා ඊයේ (10 වැනිදා) පැවැසීය.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ සභාපතිවරයා මෙසේද කීය.

"බස්‌ ගාස්‌තු වැඩිකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කර විසඳුමක්‌ දෙන තුරු බස්‌ වර්ජන නොකිරීමට බස්‌ සංගම් එකඟ වුණා. මේ නිසා බහුතරයක්‌ බස්‌ ධාවනය කරන්න සූදානම්. කොහොම වුණත් අද ධාවනය නොවන බස්‌ රථවලට නීති මගින් කටයුතු කරනවා. 


අධිකාරියේ සියලුම ප්‍රාදේශීය කාර්යාල දැනුවත් කළා ධාවනය නොවන බස්‌ රථ වල අංක සොයා වාර්තාවක්‌ දෙන්න කියලා. තමන්ගේ අරමුණු ඉටුකරගන්න මගීන්ව බිල්ලට ගන්න එපා. බස්‌ රථ හිමියන් ජීවත් වෙන්නේ මගීන්ගේ මුදලින්".

ධාවන බලපත් අත්හිටුවනවා - සබරගමුව මාර්ගස්‌ථ සභාපති

ලංකා පෞද්ගලික බස්‌ සංගමය සංවිධානය කරන වැඩ වර්ජනයට සහාය දක්‌වන සබරගමුව පළාතේ පෞද්ගලික බස්‌ හිමියන්ගේ ධාවන බලපත්‍ර අත්හිටුවන බව සබරගමුව මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති සංජය සේනාරත්න මහතා පැවැසීය.

මෙම වැඩ වර්ජනය සමාජ ෙද්‍රහී ක්‍රියාවක්‌ බවද, එයට සහාය දක්‌වන බස්‌ රථ හිමියන් පිළිබඳව දැඩි තීරණ ගන්නා බවද හෙතෙම කීය.

සබරගමුව මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරිය යටතේ රත්නපුර හා කෑගල්ල යන දිස්‌ත්‍රික්‌කවල පෞද්ගලික බස්‌ රථ 1990 ක්‌ ලියාපදිංචි කර ඇති අතර, ධාවන මාර්ග 510 ක සිය සේවාවන් පවත්වාගෙන යනු ලබයි.


"ගැමුණු රාජ්‍ය විරෝධියෙක්‌"
 
ජනාධිපතිවරයා විසින් පෞද්ගලික බස්‌ කර්මාන්තය වෙත සහන ලබාදෙන බවට පොරොන්දුවක්‌ දී තිබියදීත් ඊට සවන් නොදී බස්‌ වර්ජනයක්‌ ක්‍රියාත්මක කළ ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න "රාජ්‍ය විරෝධියෙක්‌" බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පැවසීය.

සහන ලබාදීම සඳහා ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවට ගැමුණු විඡේරත්න මහතා සහභාගි නොවූ බවත් එය නුසුදුසු ක්‍රියාවක්‌ බවද සභාපතිවරයා කීය.

එම සාකච්ඡාව සඳහා අනෙක්‌ සියලුම බස්‌ සංගම් පැමිණ සිය ප්‍රශ්න ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කොට ඒවාට සහනදායි පිළිතුරු ලබා ගත් බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
 
Related Posts with Thumbnails