Ads 468x60px

.

තාරුණ්‍යට ලණු...

ලාංකික තරුණයා තරම් ලණු කෑ කෙනෙකු මිහි පිට නොසිටි බව නම් සහතිකය. 

බොහෝ කාලයක් පුරා ශ්‍රී ලාංකික තාරුණ්‍යට නොයෙකුත් ලණු රාජ්‍ය මෙන්ම විපක්ෂ වැඩ සටහන් මගින් නොඅඩුව ලැබිණි. නිදහසින් පසු මුල්ම විශාල ලණුව ලැබෙන්නේ ආණ්ඩුවෙනි. එය භාෂාව මුල් කරගත් ලණුවකි. 

දෙවන ලෝක යුද්දයෙන් පසු ආසියාවේ බොහෝ රටවල් තම ආර්ථිකය සහ සමාජය අනාගතයට මුහුණ දීම පිණිස සුදානම් කළහ. ජපානය, සිංගප්පූරුව, දකුණු කොරියාව, මැලේසියාව, වැනි රටවල් නූතන තාක්ෂණය, රැකියා ප්‍රවර්ධනය, නිවස හා සුව සේවා පහසුකම් වැඩි දියුණු කිරීම ඉලක්ක කොට රට මෙහෙයවුහ. 

නමුත් එවැනි දැක්මක් නොතිබූ අපේ මෝඩ දේශපාලකයෝ නුතන තාක්ෂණය, රැකියා ප්‍රවර්ධනය අතහැර භාෂාවක් බදාගෙන ලාංකික තාරුණ්‍ය සමග සූදු කෙලියේය. රාජ්‍ය භාෂා උන්මාදය මගින් ලාංකික තාරුණ්‍යට ලණු ලැබුණු අතර දීර්ඝ කාලින වාර්ගික ගැටුමකට රට හෙලනු ලැබිය. එම ලණුව බොහෝ කාලයක් වැමෑරීමට ලංකික තාරුණ්‍යට සිදු විය.

1971 පමණ වන විට ලාංකික තාරුණ්‍යට චේගුවේරා ලණුව ලැබේ. එමගින්  තරුණයන් 12,000 පමණ ස්වර්ගස්ථ වන අතර ඉතාම සුළු පිරිසකට පමණක් 71 තොරොම්බල් කරමින් සමාජ තත්වයක් ගොඩ නගා ගැනීමේ වාසනාව ලැබේ. 

නමුත් මේ නිසා නන්නත්තාර වූ ලාංකික තාරුණ්‍ය ඉතා විශාලය. 71 පසුව මන්ත්‍රීගේ  නිර්දේශය, මන්ත්‍රීගේ ලියුම මත රැකියා ලබාගත හැකි අනෙකුත් ජිවන අවස්ථා කොටු කරන ලද තාරුණ්‍යක් ලාංකික තරුණයාට ලැබේ. එමගින් මිරිස් නැතිව හොදි කෑමට, සීනි නැතිව තේ බීමට කැමති වූ කීකරු තාරුණ්‍යක් ගොඩ නගනු ලැබේ.

1983 වන විට ජාති ආල ලණුව ලාංකික තාරුණ්‍යට බෙදා දෙනු ලැබේ. එමගින් ජනතාව විසින්ම තම ආර්ථිකයට ගිනි තබාගෙන රට පස්සට ඇද දමති. 88-89 වන විට මව්බිම නැත්නම් මරණය යන ලණුව තරුණයාට ලැබෙන අතර මේ ලණු කෑවෝ නොකෑවෝ 60, 000 පමණ ටයර් උඩ යති.  

මව්බිම නැත්නම් මරණය යන ලණුව ලාංකික තාරුණ්‍යට මාකට්  කළ නායකයෝ පමණක් ගොනිබිල්ලන් වී හෝ හමුදාව සමග ගිවිසුම් ගසා තමන්ගේ ජිවිත බේරාගනිති. ඉන්පසු රට පනින බොහෝ දෙනා යලි මෙරටට එන්නේ හොඳ ජීවන අඩිතාලමක් දමාගෙනය. ඉන්පසු ඔවුන් යලි පෙර සේ දේශපාලනය කරති. යලිත් ලණු තරුණයාට බෙදති.

1960 ගණන් වන තෙක් හොඳ අධ්‍යාපන මට්ටමක් තිබු ලංකාවේ විශ්ව විද්‍යාල බාහිර සහ අභ්‍යන්තර ලණු නිසා ගරා වැටෙන්නට පටන් ගනියි. වර්ජන උද්ගෝෂණ නිසා වසරේ වැඩි කාලයක් වසා තිබුණු ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනික මට්ටමින් පිරිහෙන අතර මේ වන විට අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍යන් වල විශ්ව විද්‍යාල වලටද අධ්‍යාපනික ගුණාත්මක භාවය අතින් පසුපසින් සිටිති.

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කියා නිෂ්මිලා, වෙනුරලා බිලි බෝයිස්ලා  කරමින් ලණු කවා මරණයට දැක්වූ අතර ඔවුන්ට ලණු ගිල්වූ සිසු නායකයන් අද දොස්තර ඉංජිනේරු ,විධයක වැනි රැකියා කරමින් ගෙවල් දොරවල් හදාගෙන ධනය යහමින් රැස් කරති. 

එහෙත් ස්වයං වරදකාරී බැවින් මිදීමට වසරකට වරක් මේ බිලි බෝයිස්ලා සමරමින් ඉටිපන්දම් පත්තු කිරීමට නම් අමතක නොකරති. එහෙත් විශ්ව විද්‍යාල වල ලාංකික තාරුණ්‍ය අත් විඳින ලණු තවම නිමක් නැත. 

සල්ලි බාගය ඇති එවුන් බටහිර විශ්ව විද්‍යාල වලට ගොස් කලට වෙලාවට උපාධි නිම කරගෙන මෙරට සහ විදේශ රැකියා වෙළඳපොල අල්ලා ගනිද්දී ලණු කවන ලද දේශීය විශ්ව විද්‍යාල වල ලාංකික තාරුණ්‍ය  මහපාරවල් වල කාලය නාස්ති කරති. 

කිසිම දැනුමක් හැකියාවක් ලබා ගැනීමට අපොහොසත් වන මොවුන් අන්තිමට පිනට සුළු පඩියකට ආණ්ඩුවේ රැකියාවක් හිඟමන් යදිති. සිසුන්ට ලණු ගිල්වූ සිසු නායකයන් පමණක් තම තමන්ගේ අනාගතය ගොඩ දමා ගනිති. තවද මේ ගැටුම් වලට උල්පන්දම් දෙන විශ්ව විද්‍යාල ආචාර්යවරු තම දරුවන් බටහිර විශ්ව විද්‍යාල වලට යවති.

දේශපාලකයන් විසින් ලණු දී විනාශ කල ලංකික තාරුණ්‍යට මතවාදී වශයෙන්ද ලණු ලැබේ. තමන්ගේ දරුවන්ට බටහිර විද්‍යාව උගන්වා ඒ දැනුම හැකියා මතින් රැකියා ලබා ගැනීමට සලස්වා උන්ගේ ජිවිත සරු කොට අනුන්ගේ දරුවන්ට බටහිර අධ්‍යාපනයේ හිස් බව, ඉංග්‍රීසි අධ්‍යාපනය අනවශ්‍ය බව මතවාදී පණ්ඩිතයෝ දේශනා කරති. 

එසේම බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව පුන පුනා පවසති. මේ ලණු කන සිංහල බොදු තරුණයා බටහිර විද්‍යාව වාස්තවිකද නැද්ද කියා වාද කරමින් සිටින අතර අනෙකුත් ජාතින් බටහිර විද්‍යාව ඉගෙන ගෙන වෘත්තිකයන් බවට පත් වෙති. ඉන්පසු අපගේ අධ්‍යාත්මික නායකයෝ ජිවිත සරු කරගත් අන්‍ය ජාතිකයාට වයිර කිරීමට ඉරිසියා කිරීමට සිංහල බොදු තරුණයාට පුරුදු කරති.

දකුණේ තාරුණ්‍ය මේ ආකාරයට නන්නත්තාර වන විට උතුරේ තාරුණ්‍යටද යහමින් ලණු ලැබුණි. රටෙන් බාගයක් ඉල්ලා ගැනීමට ගිය අරගලය කෙළවර වුයේ උතුරේ තරුණයා සතුව තිබු පර්චස් විස්සටත් කෙළවීමෙනි. ජිවිත බේරාගෙන බටහිට රට වලට පැන ගිය දෙමල තාරුණ්‍ය සීතලේ ගැහි ගැහී පාරවල් අතුගා, ලැට් හොදා අරගලයට මුදල් එකතු කොට ඒවා කේ .පී ට දුන්හ. 

අනේ කේ.පී ඒවා ලෝස් නැතුව මැදමූළන ලොක්කාට පූජා කළේය. උතුරේ තාරුණ්‍ය ජාතිවාදයෙන් මුසපත් කරවා සයනයිඩ් කරල් කරේ එල්වා මල්ටි බැරල් වලින් කරවී යාමට යුද පෙරමුණට යැවු දයා මාස්ටර් වැනි එල්ටීටීඊ දේශපාලන නායකයෝ දැන් වේට්ටිය ඔසවා තම කහළ මාර්ගය ද්‍රවිඩ ජනතාවට පෙන්වා කියන්නේ කුමක්ද.? 

මැරීච්ච එවුන් මළා අතුරුදහන් වූ එවූන් අතුරුදහන් උනා දැන් උඹලා කටවල් වහගෙන පුළුවන් විදියට ජිවත් වෙයල්ලා කියාය. පෙනේද උතුරේ තාරුණ්‍යට ලැබුණු ලණු ප්‍රමාණය ?

තිස් වසරක යුද්දයෙන් පසුවද ලංකික තාරුණ්‍යට ලැබෙන ලණු නිමක්  නැත. ජිහාඩ් සටන, මුලධර්ම වාදය, හලාල් විරෝධය, ගව ඝාතන විරෝධය, යනාදී නොයෙකුත් මුහුණු වරින් ලණු වරින් වර  ලංකික තාරුණ්‍ය ඉල්ලක්ක කොට එවති. මේ ලණු නොකා තමන්ගේ ජිවිත සාධාරණ අයුරින් ගොඩ නගා ගැනීම ලංකික තරුණයා හමුවේ ඇති බරපතලම අභියෝගය වේ. 

ඒ සඳහා විචාර බුද්ධිය විශ්ලේෂණාත්මක චින්තනය තරුණයාට අවශ්‍ය කෙරේ. නමුත් ආණ්ඩුව මෙන්ම විපක්ෂයද මේ මොහොතේ මොට කරමින් සිටින්නේ තරුණයා සහජයෙන් සතු වූ විචාර බුද්ධිය හා විශ්ලේෂණාත්මක චින්තනයයි.

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails