Ads 468x60px

.

බැතිමතුන්ගේ සාධුකාර මධ්‍යයේ සෝමාවතිය ඉහළ අහසේ රැස් විහිදෙයි...

ඇසළ පොහොය යෙදී තිබූ ඊයේ (22) දිනයේ පොළොන්නරුව සෝමාවතී ඵෙතිහාසික චෛත්‍ය රාජයාණන් වහන්සේට ඉහළ අහසින් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ නෙත් සිත් පුබුදුවාලමින් රැස්වළල්ලක් දක්නට ලැබිණි.

මෙම රශ්මි මාලාව බැතිමතුන්ගේ සාධුකාර මධ්‍යයේ විනාඩි කිහිපයක් සෝමාවතී චෛත්‍යයට ඉහළ අහසේ දිස්විය. 


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට, රජයට හා රණවිරුවන් ඇතුළු ලක්වාසී ජනතාවට සෙත්පතා පොළොන්න්රුව ඵෙතිහාසික සොමාවතිය රජ මහා විහාරාධිපති මල්වතු මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය හා වැඩ බලන මහා ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත පහමුණේ සුමංගල නාහිමිපාණන් ගේ අනුශාසනා පරිදි කොළඹ ආර්ය සිද්ධි පදනම විසින් සංවිධානය කරනු ලැබූ 'ප්‍රඥා ප්‍රදීප පූජා' මහා පින්කම ඊයේ (22) දවස පුරා සෝමාවති චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියදි පැවැත්විණි.

පහන් 2500 ක්, නෙළුම් මල් හා පිච්ච මල් 2500 කින් සමන්විතව පැවැත්වුණු මෙම මහා පින්කමේදී අසූ මහා ශ්‍රාවකයන් ඇතුළු මහ රහතන් වහන්සේලා පන්සිය නමක් සිහිපත් කොට කිරිපිඩු දානය, ව්‍යාංජන 32 කින් සමන්විත මහා මුළුතැන් සම්බුද්ධ පූජාව,මහා කප්රුක පූජාවක්ද සිදුකළ අතර මහා සංඝරත්නය සියක් නමක් විසින් ජය පිරිත දේශනාකොට ජනාධිපතිතුමාට රටට සෙත් ප්‍රාර්ථනා කළහ.

පොහෝය දිනයේ සවස දළදා සම්බුද්ධ ගිලන් පස පූජාවෙන් අනතුරුව සියලු දිව්‍ය බ්‍රහ්මාදීන් උදෙසා මහා මුරුතැන් සහ පළතුරු හත්සියයක් හා කැවිලි හයසියයක ප්‍රමාණයකින් යුත් දේව පූජාවක්ද පැවැත්වීය.

ත්‍රස්තවාදී භීෂණයෙන් කැලෑවැදී තිබූ සෝමාවතී පූජා භූමිය අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු වත්මන් රජයේ සහයෝගයෙන් යටිතල පහසුකම් සංවර්ධනය නිසා බැතිමතුන් විශාල පිරිසකට බියෙන් සැකෙන් තොරව දිවා රාත්‍රී දෙකෙහිම මෙම පුන්‍ය භූමිය වැඳ පුදා ගැනීමට ඉඩ ප්‍රස්ථාව උදාවී ඇති බව පහමුණේ සුමංගල නාහිමියෝ ප්‍රකාශ කළහ.

ග්‍රාමීය කටයුතු ජ්‍යෙෂ්ඨ ඇමැති ආතාවුද සෙනවිරත්න, තැපැල් ඇමැති ජීවන් කුමාරතුංග මහත්වරුන්ගේ මඟපෙන්වීම යටතේ කොළඹ මැනිං වෙළෙද පොලේ ආරියසිද්ධි පදනම නිර්මාතෘ ආර්. ඒ ආරියදාස මහතා ඇතුළු දානපතියන්ගේ දායකත්වයෙන් මෙම පින්කම සිදු කෙරිණි.

මෙම අවස්ථාවට තැපැල් සේවා ඇමැති ජීවන් කුමාරතුංග, නියෝජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත්, ග්‍රාමීය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම් සරත් සේනානායක, සම්බන්ධීකරණ ලේකම් චන්දුපාල වන්නිආරච්චි, කොළඹ මැනිං වෙළෙද පොලේ ආරියසිද්ධි පදනම නිර්මාතෘ ආර්. ඒ ආරියදාස මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ. 

 
 
Related Posts with Thumbnails