Ads 468x60px

.

ලංකාව යන්නේ සෝමාලියානු මොඩලයට

නීතිය යුක්තිය වල් වැදී තිබෙන ශ්‍රී ලංකාව දැන් යන්නේ සෝමාලියානු මොඩලයේ මැර බලය සහිත කොල්ලකාරී සමාජයකට බව දැරණියලග නුරිය වතු යායේ වතු අධිකාරී නල්ලපෙරුමගේ නිහාල් පෙරේරා ඝාතනය මගින් පෙන්නුම් කරයි.

මෙම වතු අධිකාරී වරයාව ම්ලේච්ඡ ලෙස කපා කොටා දමා තිබුණේ දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහත් ඔහුගේ බෑනා කෙනෙක්‌ වන අමිල වසන්ත විජේසිරිත්, උන්ගේ මැර හමුදාවත් විසින් බව කියෑවිනි. 

පොලිස්‌ වාර්තා අනුව දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහ මිනී මැරුම් තුනක්‌ පිළිබද චෝදනා එල්ල වුවෙකි. දැවැන්ත කොල්ලකෑම් දෙකක සැකකරුවෙකි. මීට අමතරව හිටපු ප්‍රාදේශීය ලේකම් වරයෙකුගේ ගෙල කපා මරා දැමීමට උත්සාහ කළ අපරාධකාරයෙකි.

මෙවැනි අපරාධ කරුවන් ප්‍රාදේශීය දේශපාලකයන් ලෙස ඉදිරිපත් වන අතර මේ කාලකන්නි දේශයේ ජනතාව උන්ට නොපැකිලව චන්දයද දෙති. රාජ්‍ය දේශපාලනයේ රැකවරණය සහිත මේ අපරාධකරුවන් මාමිස්මි මෙන් සඟවා ඇති ආයුධ සොයා ගැනීමට රැගෙන ගොස් මරා දමන්නේ නැත. මේ අපරාධකරුවන් රෙජිමයට අවශ්‍ය අපරාධකරුවෝ වෙති 

මාධ්‍යවේදීන් වන ජානක ලියනආරච්චි සහ හේමන්ත රන්දුණු වාර්තා කරන අන්දමට මෙම අපරාධය වන්නේ මෙසේය. දැරණියගල නුරිය වතු යාය අක්‌කර හයසීයකට අධිකය. එහි තේ කර්මාන්ත ශාලාවක්‌ ද තිබේ.


රජයට අයත් ජාතික ආර්ථික සම්පතක්‌ ලෙස පැවති මෙම වතුයාය නිසි කළමනා කරණයකින් පවත්වාගැනීමට නොහැකි වීම නිසා එහි කළමනාකාරිත්වය ආයෝජන මණ්‌ඩලයේ ව්‍යාපෘතියක්‌ ලෙස වෝල්ටර්ස්‌ බේ නමැති වැවිලි සමාගමට පවරා තිබිණි. 

එනම් දැරණියගල නුරිය වතුයාය පැවතුනේ සම්භාවිත සමාගමක ආයෝජනයක්‌ සහිත ආයෝජන මණ්‌ඩල ව්‍යාපෘතියක්‌ ලෙසිනි. එහෙත් මේ රටේ නීතියේ රැකවරණය සහිතව ව්‍යාපාරයක්‌ පවත්වාගත හැකි අවම රාමුව තුළවත් නුරිය වතුයාය පවත්වාගැනීමට එහි ආයෝජකයන්ට දැරණියගල දේශපාලන මැරයන් ඉඩ දී තිබුණේ නැත. 

හිටපු ප්‍රාදේශීය සභා සභාපති චම්පිකත් ඔහුගේ බෑනා වන අමිලත් සහිත උන්ගේ මැර හමුදාව මේ වත්තේ වතු අධිකාරීවරයාව මරණ බියෙන් මුසපත් කරවා එහි දේපල එළිපිටම කොල්ල කා තිබිණි. වාර්තා වන පරිදි වත්තේ දැවැන්ත ගස්‌ මේ පිරිස විසින් බලහත්කාරයෙන් කපාගෙන යන්නේය. මාසයකට කීප වරක්‌ පැමිණ වතු අධිකාරීවරයාව බිය ගන්වා ෆැක්‌ටරියෙන් තේ කොළ තොග පිටින් රැගෙන යන්නේය. 

වතුයායේ ඉදිකිරීම් වේ නම් එම කොන්ත්‍රාත් ලබාදිය යුතු වූයේ මේ මැරයන්ටය. තේ ෆැක්‌ටරියට අවශ්‍ය දර සැපයීමේ කොන්ත්‍රාත්තුවද ලබාගෙන තිබුණේ ඔවුන්ය. දර යාර සියයක්‌ රැගෙන විත් බලහත් කාරයෙන් දර යාර එකසිය විසිපහක්‌ එකසිය තිහක්‌ සදහා මුදල් ලබා ගැනුණි. 

කොටින්ම වතු සේවකයන් පෙරෙට්‌ටුවේ සිටිනා විට වත්තට පැමිණ තමන්ට අවශ්‍ය සේවක ප්‍රමාණය බලහත් කාරයෙන් රැගෙන ගොස්‌ උන්ගේ බැලමෙහෙවර කරගන්නේය. එකෙකු කට හැර නොකීවාට දැරණියගල නුරිය වතුයාය පැවත තිබුණේ කොල්ලකාරයින් විසින් හසුරුවන සෝමාලියාවේ මොඩයලක්‌ ලෙසය.

මේ පසුබිම තුළ වතුයාය පාඩු පිට පාඩු ලබන්නට විය. මේ පිළිබද සොයා බලන්නට වෝල්ටර්ස්‌ බේ සමාගම කොළඹින් අධීක්‌ෂණ කණ්‌ඩායමක්‌ නුරිය වතුයායට එව්වේය. මෙම කණ්‌ඩායමටත් වතු යායට පැමිණෙන විට මග රැකසිටි මැරයෝ පහර දී තිබුණහ. 


නුරිය වතුයාය ආයෝජන මණ්‌ඩල ව්‍යාපෘතියක්‌ ලෙස පැවතුනේ එලෙසිනි. මේ තත්ත්වය පාලනය කරගෙන වතුයාය නිසි කළමනා කරණයකින් පවත්වා ගැනීම සදහා වෝල්ටර්ස්‌ බේ සමාගම නුරිය වතුයායේ හිටපු වතු අධිකාරීවරයාව ඉවත් කළේය. ඒ වෙනුවට නල්ලපෙරුමගේ නිහාල් පෙරේරා පත් කරනු ලැබීය.

මනා පරිපාලන පෞරුෂයක්‌ සහිත අත්දැකීම් පිරිණු 71 හැවිරිදි මෙම වතු අධිකාරීවරයා නුරිය වතුයායට පැමිණෙන්නේ එලෙසිනි. ඔහු මුල සිටම මේ මැරයින්ගේ නින්දා සහිත කොල්ලයට එරෙහි වූයේය. පරිපාලනය සියතට ගත්තේය. 


බලහත්කාරයෙන් වත්තෙන් මිනිසුන් රැගෙන යැම, ෆැක්‌ටරියට පැමිණ බියගන්වා එළිපිටම කරනා තේ කොල්ලය, වත්තේ දේපල කොල්ල කෑම, දර සැපයුමේ අක්‍රමිකතා ඔහු විසින් නවත්වා තිබිණි. එමෙන්ම උන් විසින් කොන්ත්‍රාත් ගෙන නිසි ප්‍රමිතියකට ඉදි නොකළ ඉදිකිරීම් සදහා සිදුකරන ගෙවීම් ඔහු නවතා දැම්මේය. 

මේ සමගම මැර කණ්‌ඩායම අවස්‌ථා දෙකකදී වතු අධිකාරීවරයාට බරපතල ලෙස පහර දුන්නේය. මරා දමන්නට දෙසතියකට පෙරත් හේ පහර කෑමකට ලක්‌වන්නේය. ඒ සමග වැවිලි සමාගම ඔහුට ආයුධ රහිත අංගාරක්‌ෂකයින් දෙදෙනෙක්‌ ලබා දෙන්නේය.

පහර කෑමෙන් අනතුරුව ඔහුගේ කකුල කැඩී යන්නේය. මේ පිළිබදව හෙතෙම දැරණියගල පොලීසියට පැමිණිලි කරන්නේය. වැවිලි කර්මාන්ත ඇමති මහින්ද සමරසිංහට ලිඛිතව දන්වනු ලබන්නේය. 


ඉන් දෙසතියකට පසු අනිල් චම්පික මාමාත්, අමිල වසන්ත බෑණාත්, විසි තුන්දෙනෙකු සහිත උන්ගේ මැර හමුදාවත් මහ දහවලේ නුරිය වත්තට පැමිණ ආයුධ රහිත අංගාරක්‌ෂකයින්ව කපා දමා වතු යායේ තේ කර්මාන්ත ශාලාව අසලදී වතු අධිකාරී නල්ලපෙරුමගේ නිහාල් පෙරේරාව ම්ලේච්ඡ ලෙස කපා කොටා මරා දමන්නේය.

මේ වනවිට නුරිය වතු යාය පරිපාලනය කළ වෝල්ටර්ස්‌ බේ ඇමරිකානු සමාගම මේ අනීතික වටපිටාව තුළ වතුයාය තවදුරටත් තමුන්ට පරිපාලනය කළ නොහැකි බව වැවිලි කර්මාන්ත ඇමති මහින්ද සමරසිංහ වෙත ලි
ඛිතව දන්වා ඇති ආකාරය ශ්‍රී ලංකා වැවිලි කරුවන්ගේ සංගමයේ සභාපති නිසල ජයවර්ධන බී.බී.සී. ප්‍රවෘත්ති සේවයට පවසයි. 

ඔහුට අනුව මේ වනවිටත් මේ නින්දා සහගත අපරාධයේ සැබෑ ඝාතකයින් අත්අඩංගුවට ගැනීමට බලධාරීන්ට නොහැකි වී තිබේ. අනිල් චම්පික විජේසිංහ දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාය. ඔහු දැනට දේශපාලන බලයේ වත් නැත. අමිල වසන්ත විජේසිරි ඔහුගේ අයියාගේ පුතාය. 

නීතිය අතට ගෙන පොලිසියත් "සැලැන්ඩර්" කරගෙන එළිපිට රාජ්‍ය දේපල කොල්ල කෑම සදහා "තනි ගේමක්‌ ගහන්නට" ප්‍රාදේශීය සභාවක හිටපු, තුට්‌ටු දෙකේ දේශපාලකයෙකුටත් ඔහුගේ බෑණා කෙනෙකුටත් හැකි යෑයි මේ රටේ සිටිනා මොළේ කළදක්‌ සහිත මනුස්‌සයෙක්‌ විශ්වාස කරන්නේ නැත. මේ එළි දකින්නේ මේ රටේ අනීතික ම්ලේච්ඡ කමේ යථාර්ථය ය. සිහිබුද්ධියෙන් යුතුව කියවා ගතයුතු රටේ ඉරණම මේ සිදුවීම් තුළ ගැබ් වී ඇත.

වෝල්ටර්ස්‌ බේ ඇමරිකානු වැවිලි සමාගම ලංකාවට පැමිණෙන්නේ ආයෝජන මණ්‌ඩලයේ අනුමැතිය හා එකගතාවය මතය. ඒ ඩොලර් මිලියන ගණනක්‌ ලංකාව තුළ ආයෝජනය කිරීම සදහාය. එම රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණ ව්‍යාපෘතියට එක්‌වන ආයෝජකයින්ව ප්‍රාදේශීය මට්‌ටමේදීත් ආණ්‌ඩුවේ දේශපාලන බලය සහිත මැරයන් විසින් කොල්ල කන්නේය. 


කප්පම් ගන්නේය. මේ නින්දා සහගත කොල්ලය ගැන පොලිසියත් දැනුවත් වන්නේය. රටේ වැවිලි කර්මාන්ත ඇමතිවරයාත් දැනුවත් වන්නේය. අනතුරුව නීතියේ රැකවරණයක්‌ නොමැති එම ව්‍යාපෘති කළමනාකරුවන් කපා කොටා මරා දැමෙන්නේය.

වැවිලි කරුවන් පවා ප්‍රාදේශීය දේශපාලන මැරයන් විසින් මරා දමන සෝමාලියානු මොඩලයකට අප අවතීර්ණ ව සිටිමු. දැන් කල හැක්කේ කුමක්ද ? කිසිවක් නැත. මිනීමරුවන්, ස්ත්‍රී දුෂකයන්, කප්පම් කරුවන් තම නියෝජිතයන් ලෙස පත් කර ගන්නා ජනතාවක් සිටින රටක මෙවැනි අපරාධ තව තවත් ඉදිරියේ සිදුවීම නියතය.  


නමුත් අවසානයේ සිදුවිය හැක්කේ කුමක්ද ? කොටි ත්‍රස්තවාදීන් සමග නොබියව සටන් වැදුණු සොල්දාදුවන් තවමත් අප අතර ජිවත් වෙති. මේ සොල්දාදුවන් තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් පෙරට විත් මේ ප්‍රාදේශීය මැරයන් මර්ධනය කිරීමට පෙරමුණ ගනු ඇත. එවැනි අරාජික සමයක් ඇති වීමට පෙර රටේ නිතිය යුක්තිය ස්ථාපිත කිරීම සැම දෙනාගේම හිත සුව සුව පිණිස වනු ඇත.

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails