Ads 468x60px

.

මම කියන්න තියෙන දේ මූණටම කියනවා, ඒක හින්දා මම සැරයි - මහේෂි මධුසංඛා

මේ දිනවල “ස්වර්ණවාහිනී’ නාලිකාව ඔස්සේ සතියේ දින පහේම රාත්‍රී නවයට විකාශය වන “මුතු පලස” ටෙලි නාට්‍යය තුළින් ඔබ හමුවට එන ඇය නව පරපුරේ නිළියන් අතර ජනාදරයට පත්වූ සුන්දර යෞවනියකි. 

වසර දෙකක නිළි ජීවිතය තුළ දිගු ගමනක් පැමිණි මේ නව යොවුන් නිළිය අද වනවිට කාර්ය බහුල නිළියන් අතර සිටී. 

සිරස ටී.වී. සතියේ දින පහේම රාත්‍රී 9 ට විකාශය වන “චායා”, දෙරණ නාලිකාවේ සතියේ දින පහේම  8.30ට විකාශය වන “පිපෙන මල්” යන ටෙලි නාට්‍ය තුළින්ද සතිය පුරාම අප හමුවන මේ නිළිය ඉරිදා රාත්‍රී 9ට දෙරණ නාලිකාව ඔස්සේ විකාශනය වන “දෙරණ සිටි ඔෆ් ඩාන්ස් අල්ටිමේට් ලෙවල් “තරගයේ ද නර්තනයේ යෙදෙන්නීය. ඇය මහේෂි මධුසංඛාය. අපි මහේෂිව මේ විදිහට ඔබ වෙතට කැඳවාගෙන එමු.

කාටද මහේෂි සුද්දි කියන්නේ ?
සුද්දි කියන්නේ මම මුතු පලස ටෙලි නාට්‍යයේ රඟපාන අහිංසාගේ චරිතයට කියන තවත් නමක්. මේ දවස්වල ඒ සුද්දි කියන නමට මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

ඔබ මේ දවස්වල අතිශය කාර්යබහුලයි නේද?
මුතු පලස, චායා, පිපෙන මල් කියන මෙගා නාට්‍ය තුනක චරිත රඟපෑම කාර්ය බහුල රාජකාරියක් තමයි.  ඔය අතර “දෙරණ සිටි ඔෆ් ඩාන්ස් අල්ටිමේට් ලෙවල්” වෙනුවෙන් නර්තන පුහුණුවීම් කරන්නත් ඕන. මේ සියලුම කටයුතුවල යෙදෙන හින්දා සමහරදාට පාන්දර නැගිටලා මධ්‍යම රාත්‍රිය වනතුරු වැඩ කරන්න වෙනවා.

නිළියක් ලෙස කාර්යබහුල වෙනවා කියන්නේ ආර්ථිකයෙන් හා ජනප්‍රියත්වයෙන් වැඩි වෙනවා කියන එකනේ.
මමත් ජනප්‍රියත්වයෙන් ස්ථාවර වීම ගැන ගොඩක් සතුටුවන කෙනෙක්. බාල, මහලු, ගැහැනු, පිරිමි ගොඩක් පිරිසගේ ආදරය ලැබෙනවා කියන එක ලොකු දෙයක් ඒක ගැන නම් මට තියෙන්නේ පුදුම සතුටක්. ඒත් නිළියක් වන්නේ වැඩිපුර සල්ලි හම්බ කරන්නම කියල හිතන අයට නම් මම කැමැති නැහැ. ඒ වගේ අය ක්‍ෂේත්‍රයටත් ලැජ්ජා හිතෙන දේවල් කරනවා.

ඒ විදියේ අය ගැන මහේෂිගෙන් දැනගන්න කැමතියි
ගෑනු ළමයින්ට කලා ලෝකයේ දී අනවශ්‍ය බලපෑම් වනවා කියන මතයට මම විරුද්ධයි. කවුරුත් කාටවත් ඒ වගේ බලපෑම් කරන්නෙ නැහැ. මමත් වයස විසි  එකක කෙල්ලෙක්. මට නම් කවදාවත් එවැනි බලපෑම් ඇවිත් නැහැ. ඒ වුණත් සල්ලි හම්බ කරන ච්ෙතනාවෙන් මේ ක්‍ෂේත්‍රයට අලුතින් එන අතළොස්සක් ඉන්නවා. 


ඒ අය වැඩියෙන් සල්ලි උපයන්න ඕනකමට, ප්‍රධාන චරිත ලබාගන්න ඕන කමට, තමන්ගෙ චරිතය නිර්මාණය තුළ මතු කරන්න ඕන කමට, ඕනෑම දෙයක් කරන්න ඉදිරිපත් වෙනවා. ඒ වගෙ අයගෙන් ප්‍රයෝජන ගන්න අයත් ඉන්න පුළුවනි. ඒ වගෙ සිදුවීම් පැතිරිලා යනවිට ක්‍ෂේත්‍රයටම ඒ කළු පැල්ලම එනවා.

මහේෂිට සල්ලි ගැන උනන්දුව අඩු, උපතින්ම සල්ලි කාරියක් හින්දා වෙන්න ඇති ...
මට සල්ලි ලැබෙන්නේ දෙමාපියන්ගෙන්. මම හම්බකරපු දෙයක් නැහැ. ඒ හින්දා මම සල්ලිකාරියක් කියල හඳුන්වන්න බැහැනේ.

ඒ වුණත් පවුල් පසුබිමින්  මහේෂි සල්ලිකාරියක්. පවුල් පසුබිම ගැන තොරතුරු ටිකක් කියන්න.
මගෙ පවුලෙ එකම දරුවා මම. අපි නුවර, අනුරාධපුර වගේම ඕමාන්වලත් කාලෙන් කාලෙට හිටියා. අපිට යම් යම් ව්‍යාපාර ලංකාව වගේම පිටරට තුළත් තියෙනවා. ඒත් ඔය සල්ලිකාර කියන වචනය නම් මට ගැළපෙන්නෙ නැහැ. සල්ලිකාර කියන්න පුළුවන් මල්ටි මිලියන් මට්ටමෙන් අපට සල්ලි නැහැ.


මහේෂි ගැන කට කතා පැතිරිලා තියෙනවද ?
කවමදාවත් කිසිම නළුවකුගෙ නමක් සම්බන්ධ කරලා කටකතාවක් මට පැතිරිලාම නැහැ.

එහෙනම් මොන විදියේ කට කතාද මහේෂිට පැතිරිලා තියෙන්නේ ?
මම ආඩම්බරයි කියලා. මම සැරයි කියල නම් සමහරු කියලා තියෙනවා.

ඇයි ඒ විදියේ කතා පැතිරුනේ
මම කියන්න තියෙන දේ මූණටම කියනවා. ඒක හින්දා මම සැරයි කියල හිතනවා ඇති. මම සැර නැහැ. හරි අහිංසකයි. පවුලෙ එකම ළමයා විදියට හැදුණු හින්දා ටිකක් විතර දඟයි. ඒ හේතු හින්දා තමයි ඔහොම කතා පැතිරෙන්නේ.

මහේෂිගෙ සම වයසේ ඉන්න සමකාලීන නිළියක් එක්ක ලොකු ගැටුමක් තියෙන බවටත් කටකතාවක් තියෙනවා.
ඒක බොරු කතාවක්. මට අභියෝගයක් වන අයත් එක්කනේ මම ගැටෙන්න ඕන. ඔය කියන නිළිය මට අභියෝගයක් නමෛයි.

එහෙනම් ඇයි මේ අමනාපය ?
මූණට හොඳට කතා කරලා යන්න ගියාට පසුව එක එක දේ කියන අයට මම කැමති නැහැ. මම අකමැති ගුණාංග තියෙන අයට ගැහැනු ළමයෙකුට උචිත නොවන හැසිරීම් රටා තියෙන අයට මම කැමති නැහැ. ඒ වගේ අය ඇසුරු කරන්නෙත් නැහැ.

ඇයයි ඔබයි  එකිනෙකාගෙ මුහුණවත් බලන්නෙවත් නැතිලු නේද  ?
අනේ එහෙම නැහැ. දැකපු තැන මම ඇයට හිනාවෙනවා. ඒත් ඇය මාත් එක්ක කතා කරන්නේ නැති නම් මට බලෙන් පැනලා කතා කරන්න බැහැනේ.

මහේෂි නිළියක් වුණ හින්දා මහේෂිගෙ තාත්තා ඔබේ මුහුණවත් බලන්නෙ නැති වුණා කියලත් කටකතාවක් තියෙනවා.
ඒ කතාව නම් ඇත්ත. පවුලෙ එකම දරුවා හින්දයි, මම ගෑනු ළමයෙක් හින්දයි, මම නිළියක් වනවට තාත්තා තදින්ම විරුද්ධ වුණා. මම නිළිකමට එකතු වූ මුල්ම කා‍ලේදී තාත්තා කෑම මේසෙදිවත් මාත් එක්ක එකට වාඩිවෙන්න ආවෙ නැහැ. දැන්නම් ඒ අමනාපකම් ඉවරයි.

මහේෂි නිළියක් වනවාට විරුද්ධ වූ පෙම්වතාටත් පිටුපාලා නිළිකමට එකතු වුණාය කියලත් කටකතාවක් තියෙනවා.
ඒ කටකතාවත් ඇත්ත. ඒක මම පාසල් අවධියේ තිබුණු ප්‍රේම සම්බන්ධයක්. කලාවට මම හුඟක් කැමතියි. ඔහු මම නිළියක් වනවාට විරුද්ධ වීම නිසා ඇති වූ මත ගැටුම් අපව වෙන්කළා. එහෙම නැතුව මම ඔහුව අතෑරලා නිළිකමට ආවා ‍නෙවෙයි.

ඊට පසුව නළුවන් දෙදෙනකුම ඔබේ ආදරය ඉල්ලූ බවත් ආරංචි මාර්ග පවසනවා.
පිරිමි ළමයෙක් ගැහැනු ළමයෙකුට ආදරේ ප්‍රකාශ කිරීම, ගෑනු ළමයා ඒ ආදරේ ප්‍රතික්‍ෂේප කිරීම සාමාන්‍ය දෙයක්නේ. හැබැයි ඔය ප්‍රශ්නෙට මම දෙන පිළිතුරට මේ ටිකත් එකතු කරන්න. මේ වනවිට මම රඟපෑ නිර්මාණවල මගෙ පෙම්වතා විදියට රඟපෑ නළුවන් කිසිම කෙනෙක් මට එවැනි යෝජනා කර නැහැ. ඔය නළුවන් දෙදෙනා ඒ අතර නැහැ.

මහේෂි දැන් ඒ නළුවො දෙන්නගෙ මූණවත් බලන්නෙ නැද්ද ?
අනේ නැහැ. අපි හොඳට කතාබහ කරනවා. ඒ අය වැදගත් විදියට තමන්ගෙ ආදරේ ප්‍රකාශ කළා. මම ඒක ප්‍රතික්‍ෂේප කළා. එච්චරයි.

- ආරියවංශ කුලතිලක
 
Related Posts with Thumbnails