Ads 468x60px

.

මුස්ලිම් කතුන් මූණ වහන මෝස්තරය තහනම් කරන්න නීති ගෙන ආ යුතුයි - ඥානසාර හිමි

මුස්ලිම් රටක් වුණු මැලේසියාවත් මේ ඇඳුම තහනම් කළා...

ඇයි අපේ රටට බැරි ඒක කරන්න..

ප්‍රසිද්ධ ස්ථානවල මුස්ලිම් කාන්තාවන් මුහුණ වසාගෙන සිටින ඇඳුම් මෝස්තරය වන නිකාබය තහනම් කරන්න රජය නීතියක් ගෙන ආ යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පවසනවා. උන්වහන්සේ එසේ පැවැසුවේ බෞද්ධ මන්දිරයේ ඊයේ (8දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. 

එහිදී අදහස් දැක්වූ ඒ හිමියෝ මෙසේද පැවසුවා.

ලංකාව අරාබිය නොවෙයි. අපිට රට ගැන සාධාරණ සැකයක්, බියක් තියෙනවා. මේ ඇඳුමට හැංගිලා අද පාතාලයන් රජ කිරීමට හොඳම උදාහරණයක් තමයි මාමාස්මි. අපිට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනවා.


ඒක මානව අයිතිවාසිකමක්. අනික අපරාධවලට මේ ඇඳුම හොඳ උගුලක්. මේක නවත්වන්න ඕනෑ. නැත්නම් ඉදිරියේදී මේක වාර්ගික ප්‍රශ්නයක් දක්වා දිග්ගැස්සෙනවා.

අද මුළු යුරෝපයමත්, මුස්ලිම් රටක් වුණු මැලේසියාවත් මේ ඇඳුම තහනම් කළා නම් ඇයි අපේ රටට බැරි ඒක කරන්න. කුරානයේ කොහෙවත් ඔය ඇඳුම ගැන සඳහන් කරලා නැහැ. අනික ඕක නැවැත්තුවා කියලා මානව හිමිකම් කඩවීමක් සිදු වෙන්නේ නැහැයි ඒ හිමියෝ පැවසුවා.

පෙරේදා (7දා) අලුයම ඉන්දියාවේ බුද්ධගයාවට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධව මෙහිදී අදහස් දැක්වීය. 2012 දී "මුජහිඩ්" ත්‍රස්ත කණ්ඩායම ප්‍රසිද්ධියේ දිල්ලියට හා බුද්ධගයාවට ප්‍රහාරයක් එල්ල කරන බව ප්‍රකාශ කළද, මෙතෙක් බුද්ධගයාවට නිසි ආරක්‍ෂාව සැපැයීමට අපොහොසත් වීම කනගාටුවට කරුණක් බවත්, ප්‍රහාරයේ වගකීම ඉන්දියාව බාරගෙන යුතු බවත් ඥානසාර හිමියෝ කීහ.


මේ ප්‍රහාරය විශේෂයෙන්ම සැලැසුම් සහගත එකක් බවත්, කිසිදු සහායක් නොමැතිව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට ළං වීමට නොහැකි බවත් අවම වශයෙන් රැගෙන යනු ලබන මල් බඳුන පවා පරීක්‍ෂාවට ලක්කරන හෙයින් මේ ප්‍රහාරය සැලැසුම් සහගත එකක් බවත් ඒ හිමියෝ පැවැසූහ.


නිසි ආරක්‍ෂක වැඩපිළිවෙළක් සකස් නොකිරීම බරපතළ වරදක් වන අතර ලෝක බෞද්ධයන්ගේ හදවතට එල්ල කළ මේ ප්‍රහාරය හෙළා දකින බවද උන්වහන්සේ පැවැසූහ. සියවස් ගණනාවක් හින්දුන්ගේ සටනේදී බුද්ධගයාව නැවැත ලබාදීමට කටයුතු කළේ ලංකාවේ ධර්මපාලතුමා වන හෙයින් හරි නම් ඉන්දියාව ලංකාවට මලින් පිදිය යුතු බවද සඳහන් කළහ.

මෙරටට පැමිණෙන ශිවශංකර් මෙනන් හරි නම් කටුනායකින් හැරී ආපසු යා යුතු බවත් ඉන්දියාව ලැජ්ජා විය යුතු බවත් ඒ හිමියෝ කීහ. ඉන්දියාව ලංකාවෙන් ආරක්‍ෂාව පිළිබඳ පාඩම් ඉගෙන ගත යුතු වන අතර ලංකාවට කටමැත ‍ෙදාඩවමින් මෙය කොලනියක් කර ගැනීමට උත්සාහයක යෙදෙන ඉන්දියාවට විරෝධය දක්වන බවද ඥානසාර හිමියෝ පැවැසූහ.

පළාත් සභා ක්‍රමයේ රඟ දැන් ඉන්දියාවට තේරී ඇති බවත්, මධ්‍යම රජයෙන් කළ දැනුම් දීමට ප්‍රාන්ත රජය ක්‍රියා කිරීමට අපොහොසත් වී ඇති බැවින් මේ ප්‍රහාරය අපේ රටේ පාලකයන්ට පළාත් සභා අහෝසි කිරීමට හොඳ උදාහරණයක් වන බවත් පවසන ඒ හිමියෝ අන්තවාදය දුරලමින් ලෝක බෞද්ධයාගේ ආරක්‍ෂාව තහවුරු කළ යුතු අතරම, මේ ප්‍රහාරයට වගකිව යුත්තන් අත්අඩංගුවට ගෙන නිසි දඬුවම් ලබාදීමට කටයුතු කරන ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලා සිටින බවද පැවැසූහ.
 
Related Posts with Thumbnails