Ads 468x60px

.

අය්යෝ සල්ලි "මුතුහෙට්‌ටිගමගේ සිංගප්පූරු ගමනට වියදම් කළ සල්ලි අපරාදේ ලු"


පසුගියදා වඳුරඹදී සිද්ධියක්‌ හට ගත්තේය. ඒ පිළිබඳව ඉතා කෙටියෙන් මතක්‌ කරනවා නම් සිද්ධිය මෙසේය. ජනාධිපතිවරණයේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක රැලියක්‌ වෙනුවෙන් ඉදිකර තිබූ වේදිකාවක්‌ කඩා බිඳ දමා තිබිණි. 

එම රැලිය සඳහා ගෙනැවිත් තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර සවි කර තිබූ රථයක්‌ ගිනිතබා විනාශ කර තිබිණි. මේ විදියට බැලුවාම නම් එය මැතිවරණ කාලවලදී සිදුවන සාමාන්‍ය සිදුවීමකි. එහෙත් එහි අසාමාන්‍ය පැත්තක්‌ ඇත. එම පැත්ත ද කෙටියෙන් මතක්‌ කර දිය යුතු යෑයි සිතමි.

ඉහත කී සිද්ධිය සිදුවූ වහාම එය ඉමහත් ආන්දොලනාත්මක පුවතක්‌ විය. ජනමාධ්‍ය ඔස්‌සේ එම සිද්ධියට ලැබුණේ අති විශාල ප්‍රසිද්ධියකි. මේ නිසා එම සිද්ධිය කාටවත් යට ගැසිය හැකි එකක්‌ නොවීය. සුළු සිද්ධියක්‌ සේ

සලකා "ෆයිල් එක" වසා තැබිය නොහැකි විය. මේ නිසා වහා ක්‍රියාත්මක වූ අපේ පිටකොන්දක්‌ ඇති පොලිසිය විසින් සැකකරුවන් කීපදෙනකු අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සාමාන්‍ය සිරිත අනුව පොලිස්‌ කූඩුවේ තබා ගත නොහැකිය. වහාම ප්‍රදේශයට අදාළ අධිකරණය වෙත ඔවුන් ඉදිරිපත් කළ යුතුය. පොලිසිය ඒ යුතුකම ද ඉටු කළේය. එහෙත් එහි අන්තිම ජවනිකාවට යැමට පෙර මුළු කතාන්දරයම කණපිට පෙරළුණේය. ඒ සිද්ධියත් කෙටියෙන් කියනවා නම් මෙසේය.

එනම් දකුණු පළාතේ මුතු ඇටයක්‌ මෙන් බැබළෙමින් සිටින සුළු අපනයන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්‌ටිගමගේ ආධාරකරුවන් යෑයි කියනු ලබන පිරිසක්‌ විසින් ඉහත කී සැකකරුවන් පැහැරගෙන යැමය. 


ඔවුන් පැහැරගෙන යනු ලැබුවේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට, පොලිසිය විසින් රැගෙන යද්දීය. ඒත් පොලිසිය ඔවුන්ට දෙවැනි වූයේ නැත. වහා ක්‍රියාත්මක වූ, අප කලිනුත් සඳහන් කළ හොඳ පිට කොන්දක්‌ ඇති පොලිසිය විසින් සැකකරුවන් පිරිස යළිත් අත්අඩංගුවට ගන්නා ලදී.

මේ කතාව මෙතැනදී තවත් පැත්තකට හැරිණි. එනම් මේ සිද්ධිය සම්බන්ධයෙන් මුතුහෙට්‌ටිගම නම් නියෝජ්‍ය ඇමැතිවරයා අත්අඩංගුවට ගත යුතු යෑයි අධිකරණයෙන් නියෝගයක්‌ නිකුත් කිරීමය. එහෙත් එය සිදු වූයේද? එය සිදු වූයේ නැත. 


කෙසේ හෝ ඊට දින කිහිපයකට පසුව මුතුහෙට්‌ටිගම නම් මෙම නියෝජ්‍ය ඇමැතිවරයා සංගීත ප්‍රසංගයක වේදිකාවට නැගී ගීතයක්‌ ද ගායනා කළේය. නියෝජ්‍ය ඇමැතිවරයා වේදිකාවට නැගීමට යද්දී සමහරුන් විසින් ඔහුට "සැලියුට්‌ කරන ලද" බවද පුවත්පත්වල පළවිය. එහෙත් අත්අඩංගුවට ගැනීමක්‌ සිදු නොවීය.

මේ වන විට කාගේත්, විශේෂයෙන් දකුණේ ජනතාවගේ නෙත් සිත් යොමු වී තිබුණේ මේ සිද්ධිය වෙතය. කවුරුත් බලා සිටියේ තම ආධාරකරුවන්ට බොහෝ සෙයින් ආදරය කළ නියෝජ්‍ය ඇමැතිවරයා අත්අඩංගුවට ගනු ඇතැයි කියාය. එහෙත් සිදු වූයේ ඊට හාත්පසින්ම වෙනස්‌ කතාන්දරයකි.

එනම් මෙම අති දක්‍ෂ නියෝජ්‍ය ඇමැතිවරයා කාගේත් ඇස්‌වලට වැලි ගසා රටින් පැන ගැනීමය. එසේ ගියේ ආරක්‍ෂක අංශවලට අවශ්‍ය සැකකරුවන් නිතරම පැන ගන්නා සිංගප්පූරුවටය. සමහර ජනප්‍රිය තරගවලදී ද පළමු වන තෑග්ග ලෙස ලැබෙන්නේ ද සිංගප්පූරුවට නොමිලේ ගුවන් ගමන් බලපත්‍රයකි. ඒ, සිංගප්පූරුව එතරම් සුන්දර නිසා විය යුතුය.

මේ සිද්ධියේදී දිගටම මනා පිට කොන්දක්‌ සහිතව ක්‍රියා කළ පොලිසිය, නියෝජ්‍ය ඇමැතිතුමා රටින් ගිය පසුව කීවේ ගුවන්තොටුපළේදී ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝගයක්‌ නිකුත් කර නොතිබූ නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකිවූවා යෑයි කියාය. 


ඒසේම ඔහු රටින් පිටව ගියේ ගුවන්තොටුපළේ අති විශේෂ (වී.වී.අයි.පී.) පර්යන්තයකින් නිසාත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී යෑයි ද කීය. කෙසේ වෙතත් ඔහු ආපසු මෙරටට එද්දී අත්අඩංගුවට ගන්නා බවට ද ප්‍රකාශයක්‌ කර ඇත. ඔහු රට ගිය පර්යන්තයෙන්ම ආපසු මෙරටට ආවොත් ඒකත් කිරීමට බැරිවෙනු ඇත. එසේ නම් මේ සිද්ධියට කුමක්‌ වේදැයි මහජනයා බලා සිටිති.

එහෙත් මේ පිළිබඳව මුළු රටම බලා සිටිද්දී ඊයේ දහවල් නියෝජ්‍ය ඇමැතිතුමා කටුනායකින් මෙරටට ආපසු එද්දී ඔහු අත්අඩංගුවට ගෙන ඇත. මේ බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා ඊයේ පැවසීය.

සිංගප්පූරු ගමනට වියදම් කළ මුදල අපරාදේ යෑයි දැන් නියෝජ්‍ය ඇමැතිවරයා සිතනු ඇත. මෙහිදී එදා නියෝජ්‍ය ඇමැතිවරයා සංගීත සංදර්ශනයේදී ගායනා කළ ගීතය ද සඳහන් කළ යුතු යෑයි සිතමි. ඔහු එදා ගායනා කළේ ජනප්‍රිය 'ජිප්සීස්‌' කණ්‌ඩායමේ නායක අපේ හිත මිත්‍ර සුනිල් පෙරේරා ගායනා කළ

"ඒ රටේ මිනිස්‌සු නිතරම කෙළින්නෙ පිස්‌සූ..." නම් ගීතයයි. මෙම ගීතය ඉහත කතාන්දරය සමග කෙසේ ගැලපෙන්නේ දැයි පාඨකයා විමසා බලත්වා.!!
 
Related Posts with Thumbnails