Ads 468x60px

.

වසර දහයකට පෙර මෙරට සිදු වූ ඒ සුනාමි විපත ගැන අමතක කළ නොහැකි හේතුව


බිහිසුණු සුනාමි විපත සිදුවී අදට (26 දාට) දස වසරක්‌ ගතවේ. 2004 දී ඉන්දුනීසියානු මුහුදු කලාපයේ සිදුවූ භූකම්පාවක්‌ බිහිසුණු සුනාමියක්‌ බවට පත්වී ඉන්දීය සාගරයේ වෙරළාසන්න රටවල් රැසකට මහත් ව්‍යසනයක්‌ ඇති කළේය. සුනාමියෙන් ශ්‍රී ලංකා වාසීහු 30196 ක්‌ මියගිය බවට තහවුරු විය. 

සුනාමියක්‌ කෙරේ ශ්‍රී ලංකාවාසීන් තුළ අත්දැකීමක්‌ නොතිබීම නිසා විශාල පිරිසක්‌ ඊට ගොදුරු විය. මේ සුනාමි විපතට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොළඹ සිට මාතර බලා යමින් තිබූ දුම්රිය ද ගොදුරු විය. සුනාමි අනතුරු ඇඟවීමක්‌ වාර්තා වුවත් ඒ වනවිට දුම්රිය අම්බලන්ගොඩ දුම්රිය ස්‌ථානයෙන් පිටත්වී තිබිණි.

2004 දෙසැම්බර් 26 දා පෙරවරු 9.30 ට මීටර් 30 ක්‌ උසැති දැවැන්ත රළ මාලාවන් පැරෑලිය වෙරළට කඩාවැදුණි. මේ රළ මාලාවෙන් පසුව තවත් විශාල රළ මාලාවක්‌ද දුම්රිය මාර්ගය ගිල ගත්තේය. දුම්රියේ

ගමන් කළ මගීන්ගෙන් දිවි ගලවා ගත්තේ සුළු පිරිසකි. මගීන් 1700 කට අධික පිරිසක්‌ සුනාමි රළ මාලාවෙන් ජීවිතක්‍ෂයට පත්විය.

දුම්රියේ නියාමකවරයා පමණක්‌ දිවි ගලවා ගත් බව හෙළි විය.

මේ බිහිසුණු සුනාමිය ඉන්දියාවේ තමිල්නාඩුව, ජපානය, මාලදිවයින, මියන්මාරය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාවේ අෙච් ප්‍රාන්තය යන රටවල් රැසක්‌ ගිල ගත්තේය. ඉන්දුනීසියාවේ ඇතිවූ භූමි කම්පාවට බලපෑවේ ඉන්දීය තලය සහ බුරුම තලය එකිනෙක ගැටීමෙන් උත්පාදනය වූ විශාල සුනාමියයි.

රටවල් 14 ක්‌ විපතට පත් වූ මෙම සුනාමි විපතට සංචාරකයන් රැසක්‌ද ගොදුරු විය. තමිල්නාඩු මැරිනා මුහුදු වෙරළේ සිටි විශාල පිරිසක්‌ ද මුහුදට ගසාගෙන ගිය අතර ඔවුන්ගේ සිරුරු හමු වූයේ නැත.

ශ්‍රී ලංකාවේ මුහුදුබඩ මාර්ගයේ ධාවනය වූ වාහන රැසක්‌ ද මුහුදු පත්ලේ ගිලී ගියේය. 2004 දෙසැම්බර් 26 වැනිදා ඉරිදා දිනයක්‌ නිසා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ විශාල පිරිසක්‌ මියගියේ නැත. එහෙත් හම්බන්තොට නගරයද සුනාමියට ගොදුරු විය.

සුනාමියට ඓතිහාසික ගාලු කොටුව විනාශ කිරීමට නොහැකි විය. සුනාමියට ගොදුරු වූ සිවිල් වැසියන්ගෙන් සමහරු සුනාමිය නැරඹීමට වෙරළේ ඉදිරියට ගොස්‌ දෙවැනි සුනාමියට ගොදුරු විය.

සුනාමිය යාල වෙරළ කලාපයට පැමිණෙන අවස්‌ථාවේ අලි ඇතුන් ඇතුළු සතුන්ට ඒ ගැන කල්තියා ඉවක්‌ ලැබීම නිසා කිසිදු සතෙක්‌ ගොදුරු වූයේ නැත. එහෙත් ශ්‍රී ලාංකික සංචාරකයන් පිරිසක්‌ සුනාමි රළ මාලාවන් බැලීමට ඉදිරියට ගොස්‌ ඊට බිලිවූහ.

මේ බිහිසුණු සුනාමියට රටවල් 17 ක 2,30,000 ක පිරිසක්‌ ගොදුරු විය. ඇතැමුන්ගේ මළ සිරුරු පවා මෙතෙක්‌ හමුවූයේ නැත. වසර දහයකට පෙර මෙරට සිදු වූ ඒ සුනාමි විපත ගැන අමතක කළ නොහැක්‌කේ මඟීන්ගෙන් පිරි අංක 591 දරණ දුම්රිය පැරෑලියේදී ඊට ගොදුරු වීමය.

හමුදා ජීවිතාරක්‍ෂක කණ්‌ඩායම් පැරෑලියට යද්දී සිදු වූ විශාල විපත දැක ගත හැකි විය. මළ සිරුරු 200 ක්‌ හඳුනා ගැනීමට නොහැකි තත්ත්වයේ පැවතිනි.

පසුව පැවැති විමර්ශනයේදී හෙළි වූයේ සුනාමි විපත ගැන අනතුරු ඇඟවීමට දුම්රිය පාලක මැදිරිය අම්බලන්ගොඩ දුම්රිය ස්‌ථානය ඇමතුවත් දුම්රිය ස්‌ථානාධිපතිවරයා කිරිහට්‌ටි ගණන් කිරීම නිසා දුරකථනය ගැනීමට කිසිවකු නොසිටි බවය.

පැරෑලියේදී සුනාමියට ගොදුරු වූ මාතර බලා යන දුම්රියේ නියාමක වනිගරත්න කරුණාතිලක පැවසුවේ මුල්ම රළ ප්‍රහාරය තුළින් එක්‌ මැදිරියකට හානි සිදු වූ බවත්, දෙවැනි රළ මාලාවෙන් මුළු දුම්රියම විපතට ලක්‌ වූ බවයි.

මුල්ම රළ මාලාව දුම්රියට කඩා වැදීමත් සමගම මම දුම්රියෙන් බැස මඟීන් ගැන සොයා බැලුවා. ඒ සමගම 2 වැනි රළ මාලාව එනවා මා දුටුවා. මම විගස දුම්රියට ගොඩ වුණා. ඒ සමගම මැදිරිය පෙරළුනා. මම කවුළුවකින් එළියට ආවා. ඒ වන විටත් මඟීන් සියලු දෙනා දුම්රිය තුළ කොටු වී සිටියා යෑයි ඔහු පළකළේය.

මෙකී සුනාමිය උතුර - නැගෙනහිරට ද බලපෑවේය. සුනාමියෙන් කොටි නායක ප්‍රභාකරන් ද මරුමුවට පත් වී ඇති බවත් ඔහුගේ සිරුර මිහිදන් කිරීමට කොළඹ සිට විශේෂ මිනී පෙට්‌ටියක්‌ උතුරට ගෙන ගිය බවටත් සාවද්‍ය ප්‍රචාර ද දියත් විය.

එහෙත් සිදුවූයේ සුනාමියට මුවා වී ප්‍රභාකරන් උතුර - නැඟෙනහිර නගාසිටුවීමට යෑයි දක්‌වමින් විශාල ලෙස අරමුදල් ලබා ගැනීමයි.

එසේම සුනාමි සහන මුවාවෙන් මුලතිව් වෙත අවි ආයුධ ගෙන්වා ගැනීමට ද ඔහු ක්‍රියා කළේය. සුනාමි ඛේදවාචකයේ දෝංකාරය මෙතෙක්‌ අවසන් වී නැත. මව්වරුන්ට දරුවන්ද, දරුවන්ට මව්වරුන් ද අහිමි විය.

මේ පසුබිම මැද වසරකට පසු ප්‍රචාරය වූ තවත් පුවතක්‌ වූයේ සුනාමිය බටහිර රටවල් කීපයක්‌ එකතු වී සිදු කළ ව්‍යාපෘතියක්‌ බවය. නවසීලන්ත මාධ්‍ය විසින් ඒ බව හෙළි කරනු ලැබීය. සුනාමි විපතින් 35322 ක්‌ ශ්‍රී ලාංකිකයන් මුරුමුවට පත් වූ අතර 21141 ක්‌ තුවාල ලැබීය.

මේ හැර ළමුන් 979 කට තම මවුපියන් දෙදෙනා අහිමි වුණි. නිවාස 98000 ක්‌ මුළුමනින් ම විනාශ විය.

රිච්ටර් මාපකයේ 9.4 ක්‌ ලෙසින් සටහන් වූ භූමිකම්පාව ඇති කළ සුනාමි ව්‍යසනයට අම්පාර ප්‍රදේශයේ 10436 ක්‌ද, ගාලු ප්‍රදේශයේ 4214 ක්‌ද, හම්බන්තොට ප්‍රදේශයේ 4500 ක්‌ ද කළුතර ප්‍රදේශයේ 256 ක්‌ද, ගොදුරු විය. එසේම මුලතිව් හි 3000ක්‌ ද, මඩකලපුවේ 2840 ක්‌ ද, ත්‍රිකුණාමලයේ 1076 ක්‌ ද එකී විපතින් ජීවිතක්‍ෂයට පත්වූහ.

සුනාමි විපතින් පසු සිදුකළ විමර්ශනයෙන් හෙළි වූයේ ළමුන් 3954 කට තම මව හෝ පියා අහිමි වූ බවකි.

මෙයට අමතරව කොළඹ ප්‍රදේශයේ 79 ක්‌ද, පුත්තලමේ 4 ක්‌ද, ගම්පහ 6 ක්‌ද යාපනයේ 2640 ක්‌ද මරුමුවට පත්විය. දස වසරකට පෙර සිදු වූ මෙම සුනාමි ඛේදවාචකය නිසා මුළු දිවයින පුරා දුක හා ශෝකය පැතිර ගියේය.

වසර 40 කට පසු ලොව සිදු වූ විශාලතම සුනාමි විපත මෙය විය. ශ්‍රී ලංකාවේ උතුර - දකුණ හා නැඟෙනහිර ප්‍රදේශවලට කඩා වැදුණු සුනාමිය නිසා 21441 ක්‌ තුවාල ලැබූ අතර, රුපියල් මිලියන ගණනක දේපළ විනාශ විය.

මිලියනයකට අධික සංඛ්‍යාවක්‌ අවතැන් වූ බව ද අනාවරණය විය. සුනාමි විපත සිදු වී දස වසරක්‌ ගෙවෙන මේ අවස්‌ථාවේ ඊට ගොදුරු වී දිවි ගලවාගත් පිරිස තවදුරටත් අතුරුදන් තම දූ පුතුන් හා මවුපියන් සෙවීමේ යෙදී සිටී.

මේ දරුණු විපත මැද අමනුස්‌සකම් ද දක්‌නට ලැබිණි. ගාලු බස්‌ නැවතුම්පළ අසලදී තරුණියක්‌ සතු මාලය කඩාගෙන ඇයව සුනාමි ජලයට තල්ලුකර දැමීම ඊට නිදසුන්ය. 2004 නත්තල් දිනට පසුදින සුනාමිය සිදු කළ මෙම විනාශකාරී විපතේ දොන්කාරය තවමත් පහ වී නැත. අහිංසකයන් විශාල ලෙස ඊට ගොදුරු විය.


ඒ පිලිබඳ තවත් පුවත් 


සුනාමි ව්‍යසනය සිදු වී මෙම මස 26 වැනි දිනට වසර 10 ක්‌ ගතවේ. එදා සිදු වූ සුනාමි සිදුවීම මේ වන විට බොහෝ දෙනකුට අමතක වී ගොස්‌ තිබේ. එදා සිය ඥතීන් දරුවන් සැමියන් බිරින්දැවරුන් වෙනුවෙන් හඬා වැළපුනු අය අද මිය ගිය අය සිහිකර පිං අනුමෝදන් කිරීමේ පිංකමද අමතක කර දමා ඇත. ජීවිත දහස්‌ ගණනක්‌ රටට අහිමි කළ උදම් රළ පහරට මිනිස්‌ ජීවිත හා සමානව වටිනා දේපළ ඇතුළු සම්පත් රැසක්‌ අහිමි කළේය.

2004-12-26 වැනි දින ඇති වූ සුනාමියෙන් හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ තිස්‌සමහාරාම කිරින්ද ප්‍රදේශයේ තිබූ නාවික හමුදා කඳවුර බිමට සමතලා කර මුහුද මැද තිබූ වැලි ගොව්වා නැව ඇතුළු නැව් කීපයක්‌ ගොඩබිමට කඩදාසි නැව් පරිදි ගොඩට ගෙනත් දමා තිබිණි. 


කිරින්ද ප්‍රදේශයේ ධීවර පවුල් රැසකට සිය ජීවිත අහිමි වූ අතර එදින නත්තල් නිවාඩුවත් පෝය දිනයක්‌ වීමත් නිසා වන්දනා කරුවන්ද කිරින්ද විහාරස්‌ථානය වැඳපුදා ගැනීමට පැමිණ තිබූ අතර මෙසේ පැමිණි පිරිස්‌ද වෙරළේ සිටිය දී මුහුදට ගසා ගෙන ගොස්‌ තිබිණි. 

කොළඹ බොරැල්ලේ සිට පැමිණි මවක්‌ හා සිය පියාත් සමඟ වැල්ල පැගීමට ගිය දරුවා තම අතින් අල්ලා ගෙන සිටිය දී මුහුදුරළට හසු ව අතුරුදන් වූ බව පවසමින් එක්‌ පියකු බිම පෙරළී දෙවියන් ගෙන් ඉල්ලා සිටියේ තම බිරිඳත් එකම දියණියත් ලබා දෙන ලෙසටය.

මේ අතර වසර අවසානයත් නත්තලත් සැමරීම සඳහා දෙස්‌ විදෙස්‌ සංචාරකයන් රැසක්‌ යාල ආසන්නයේ පිහිටා තිබූ යාල සෆාරි හෝටලයේ නතරවී සිටියහ. මෙයට අමතරව යාල නැරඹීමට පැමිණි දෙස්‌ විදෙස්‌ සංචාරකයන් රැසක්‌ද සුන්දර පට්‌ටනංගල වෙරළේ සිරි නරඹමින් සිටිය දී කුරිරු සුනාමි රළට හසු වී ජීවිතක්‍ෂයට පත් විය. මෙහි දී විදේශිකයන් 144 දෙනකු ජීවිතක්‍ෂයට පත් වූ අතර තවත් පිරිසක්‌ අතුරුදන් වූයේ අදටත් සාක්‍ෂිවත් නැතිවයි.

සුනාමිය පැමිණෙන්නට පෙර යාල නැරඹීමට පැමිණි ජපන් සංචාරකයන් පිරිසක්‌ද මෙම සුනාමියට හසුවී මිය ගිය අතර ඔවුන් සමඟ පැමිණි මග පෙන්වන්නෙකු පැවසුවේ සිය දරුවාගේ උපන් දිනය වූ 26 වැනි දින පට්‌ටනංගල වෙරළේ ගල් තලාවක්‌ මත සිට කේක්‌ ගෙඩියක්‌ කපන මොහොතේ මෙම සුනාමි රළ පැමිණි බවයි. 


එහි දී උපන් දිනය සැමරූ දරුවාත් පියාත් සුනාමියට හසු වී මිය ගිය අතර පසුව සිය දරුවාගේ මරණය සොයා ගනු ලැබුවත් සිය සැමියාගේ මරණය සොයා ගැනීමට නොහැකි වූ දරුවාගේ මව අදටත් කඳුළු සලමින් සෑම වසරකදීම ලංකාවට පැමිණ සිය දරුවාත් සැමියාත් අනුස්‌මරණය කරනු ලබයි.

පට්‌ටනංගල වෙරළ ආසන්නයේ තිබූ සංචාරක බංගලාව තිබූ තැනවත් දැක ගන්නට නොහැකි වී තිබිණි. සංචාරක බංගලාවේ තිබූ ඇඳක්‌ අඩි 35 ක්‌ තරම් උසින් යුතු පලු ගසක්‌ උඩ රැඳී තිබිණි. සංචාරකයන් රැගෙන පැමිණි ජීප් රථ සුනු විසුනු වී ඇටසැකිළි බවට පත්ව තිබුණු අතර හිටපු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය අනුරුද්ධ රත්වත්තේ මහතා පැමිණි ජීප් රථයද මුහුදට ගසාගෙන ගොස්‌ සැකිල්ලක්‌ බවට පත් වී තිබිණි.

යාල වනයේ මුහුදු තීරය මුළුමනින් ගස්‌ වැල් ඇඹරී පැවති අතර කිසිදු හෝ ස්‌ථානයක වන සත්තු මැරී නොසිටියහ. මිය ගිය බෙල්ජියම් ජාතිකයෙකු ගේ කැමරා දත්ත කාඩ්පතක සටහන් වූයේ සුනාමිය පැමිණීමට පෙර මුහුද හසු වූ අවස්‌ථාවේදී කකුළුවන් ගොඩට එන අයුරුත් බිම සිටි තලගොයින් විශාල ගස්‌ වලට නැග සිටින අයුරුත් අලින් දිව යනු ලැබූ අයුරුත්ය.

හම්බන්තොට නගරය එකම සුන්බුන් ගොඩක්‌ බවට පත්කර තිබිණි. හම්බන්තොට නගරයේ මැද තිබූ දුරකථන කුලුන කුඩයක්‌ මෙන් යකඩ බට තැලී බිමට වැටී තිබිණි. කැඩී ගිය සුන්බුන් අතරින් මිය ගිය අයගේ මළමිනී සොයන හමුදා සෙබළුන් හැර වෙනත් කිසිදු අයකු හම්බන්තොට නගරයේ දක්‌නට නොලැබිණි.

හම්බන්තොට කතරගම මාර්ගයන්ද විනාශවීම නිසා ගමනාගමන කටයුතු ඇනහිට තිබුණු අතර බුදුන්ගේ දවස විශාලා මහනුවර තුන්බිය සිදුවූවා මෙන් මුහුදු අසබඩ දුගඳ හමන මළ සිරුරු වලින් පිරී පැවැති අතර මිය ගිය පුද්ගලයන් මුස්‌ලිම් ද දමිළ ද සිංහල ද යනුවෙන් සොයා ගැනීමට නොහැකි වූ අතර සියලුම දෙනා එකම සමූහ මිනී වළක දැමීමට රජය කටයුතු සිදු කරනු ලැබීය.

බෞද්ධ, මුස්‌ලිම්, දෙමළ යන සියලුම ජන කොටස්‌ එකා මෙන් විපතට පත් අය වෙනුවෙන් ආධාර උපකාර සිදු කරගනු ලැබුවේ කිසිදු දිනක මේ වැනි සාමයක්‌ දක්‌නට නොලැබූ පරිදිය. එදා හලාල් නොතිබුණු අතර මුස්‌ලිම් ප්‍රජාවට බෞද්ධ හිමිවරුන් පැමිණ ආහාර ටික ලබා දුන්නහ. මුස්‌ලිම් දෙමළ පූජකවරුන් පැමිණ ජාති, කුල, මල බේදයකින් තොරව සැමට එක හා උපකාර කරනු ලැබීය.

කවුරුත් කවදා හෝ මිය යන බව රටේ සෑම දෙනාම තේරුම් ගත්තෝය. සියලු දෙනාගේ සහජීවනයක්‌ ඇති වූයේ සුනාමියෙන් අපූරු පාඩමක්‌ කියා දීමක්‌ පරිදිය. සුනාමිය නිධානයක්‌ කරගත් අමනයෝද සිටි අතර ජීවිත රැසක්‌ රටට අහිමි වෙද්දී තවත් පිරිසක්‌ ජීවිතය සරු කර ගැනීමද සිදු වූයේ මනුස්‌සකම තඹ දොයිතුවකටවත් තැකීමක්‌ නොකරමිනි.

සුනාමියෙන් අවතැන් වූ දරුවන් මුල් කරගෙන අනාථ නිවාස ඉදිකර ගෙන සිය ජීවනෝපාය කර ගත් අයද කිසිදු අයුරකින් මුහුදු වැලි ඇටයක්‌ වත් පයට නොපෑගුණු අයටද සුනාමි ආධාර යටතේ නිවාස ආධාර මුදල් ලැබුණු අතර සැබෑ විපතට පත් බොහෝ දෙනකු තවමත් ඒ අමිහිරි මතකයෙන් සුසුම් හෙළනු ලබයි. 


සුනාමිය දා තිබුණු සෙනෙහයන් හා බැඳීම් දැන් කා ළඟවත් නැත. අපිට අපූරු පාඩමක්‌ කියා දුන් සුනාමිය දැන් කාටත් අමතක වී ඇත. එය සිහිවීම පිණිස මෙම ලිපිය ඉදිරිපත් කරමි.
 
Related Posts with Thumbnails