Ads 468x60px

.

ඔව් මං කෙස් හිටවා ගත්තා තමයි, ඉතින්...!

විලාසිතා ඉතිහාසය යනු මානව ඉතිහාසය තරමටම දීර්ඝ එකක්. ගල්යුගයේ ජීවත් වූ අය පවා අනුගමනය කළ යම් යම් විලාසිතා පිළිබඳ සාක්ෂි දකින්නට ලැබෙනවා.

කාලයත් සමග විලාසිතා වෙනස් වනවා. අද නව විලාසිතා සේම විද්‍යාවේ සහ තාක්ෂණයේ බල මහිමයෙන් බිහිවූ නව ක්‍රමවේදද විලාසිතා ලොවට එක්ව තිබෙනවා. හිසකේ සිටුවීම ඉන් එකක්.

නවීන තාක්ෂණයේ බලමහිමයෙන් ලස්සන ස්වභාවික කෙස් කළඹක් හිමිකරගැනීමේ වරම ඒ තුළින් උදා වී තිබෙනවා. පසුගිය දිනෙක ජනප්‍රිය රංගන ශිල්පී සුරාජ් මාපාද මේ අයුරින් තම කෙස් සිටුවන ලැබුවා. 

තමන් ප්‍රියකරන ජනප්‍රිය තරුව අඳින පළඳින හිසකේ විලාසිතා ආදිය අනුගමනය කරන්නට බොහෝ දෙනෙක් පෙළඹෙනවා. මේ නිසාම සුරාජ්ගෙන් ඔහුගේ මේ නව වෙනස පිළිබඳව විමසන්නට අපි සිතුවා.

සුරාජ් කොණ්ඩේ සිටෙව්වා කියල ආරංචියි
ඔව්. ඒක ඇත්ත.

සාමාන්‍යයෙන් හුඟක් කලාකරුවන් මේවා කරගන්නේ අප්‍රසිද්ධියේ. නමුත් සුරාජ් ඒ ගැන ප්‍රසිද්ධියේම කතා කරනවා.
ඒත් ඉතින් ඒක විශේෂයෙන් හංගන්න දේකුත් ‍නෙවෙයිනේ. ඒ හින්දා

මං ඒගැන මැලිවෙන්නේ නැහැ.

‘කොණ්ඩෙ සිටුවීම’ ගැන හරිහැටි නොදන්නා අයට ඒ ගැන පුංචි විස්තරයක් කරමුද?
අපි හිතමු ගහකොළ තිබුණු පරිසරයක ගහකොළ මැරිලා ‍පොළොව වේලීි තියෙනවා කියලා. ඒ වෙලාවට ඒ පරිසරයේ ගස් වැවෙන්නේ නැතිවීමට බලපාන හේතු සාධක නැති කරලා ඒ කියන්නේ ‍පොළොව සුදුසු මට්ටමකට සකස් කරලා එහි ගහකොළ සිටුවන්නට පුළුවන්. 


අන්න ඒ වගේ දෙයක් තමයි මේකත්. කොණ්ඩෙ යන අයට හා හිසේ යම් යම් තැන්වල අඩුවෙන් කෙස් වැවෙන අයට හිස පිටුපසින් කෙස් ගලවලා කෙස් නැති ප්‍රදේශවල සිටුවීමක් තමයි මෙහිදී සිදුකරන්නේ. ඉන්පසු ඒ තැන්වල දිගටම කෙස් වැවීම සිදුවනවා. ඒක ලෝකයේ දියුණු රටවල සාර්ථක ලෙස අත්හදා බලපු ක්‍රමයක්.

ඇයි මේ කටයුත්තට හිස පිටුපසින් කෙස් ලබා ගන්නේ?
සාමාන්‍යයෙන් ඕනෑම පුද්ගලයකුගේ හිස පිටුපසට තමයි ටිකක් වැඩිපුර කෙස් වැවෙන්නේ. හිසකේ ගැලවීයාමේදීත් අන්තිමට ඉතුරු වෙන්නේ හිසේ පිටුපස කොටසේ කෙස්. ඒනිසා වැඩි තැනින් කෙස් අරගෙනයි අඩු තැන්වල සිටුවන්නේ.

සුරාජ්ට හිටිහැටියේම කෙස් සිටුවා ගන්නට හිතුණේ ඇයි?
මම නළුකමට ආවේ නිරූපණ ශිල්පය හරහා. නිරූපණ ශිල්පයට යොමු වෙලා මම මුලින්ම පෙනී සිටියේ කොණ්ඩ විලාසිතා දැක්මකට. කාලෙන් කාලෙට මම මගේ කෙස්වැටියේ විවිධ වෙනස්කම් කළා. 


ඉතින් මට හිතුණා ආයෙම කෙස්වැටියේ වෙනසක් කරන්න. අනෙක මගේ කොණ්ඩෙ යන්නත් පටන් ගත්තා. මම හිතුවා ඒකෙන් මගේ කලා ජීවිතයටත් යම් බලපෑමක් වෙයි කියලා. ඒ හින්දා තමයි කෙස් සිටුවීම කරන්න හිතුවේ.

කෙස්වැටියට කරන විවිධ සත්කාර හා විලාසිතා ලංකාවට නුහුරු දෙයක් නේද?
අපේ රටේ බොහෝ අය කෙස් සිටුවීම සිදුකර තිබෙනවා. නමුත් ඒ සඳහා යන්නේ විදේශයට. මමත් මුලදී හිතුවේ පිටරටකට ගිහින් මේ වැඩේ කරගෙන එන්න. ඒත්, දැන් ලංකාවේත් මෙය සිදුකරන්නට අවශ්‍ය පහසුකම් හා ස්ථාන තියෙනවා. ඒ හින්දා මට පිටරට නොයා මෙය සිදුකරගන්නට හැකිවුණා.

මෙය ටිකක් අසීරු ඒ වගේම විශාල මුදලක් වැය වන කටයුත්තක් විය යුතුයි.
වියදම නම් ටිකක් වැඩියි තමයි. ඒත් මෙය ලොකු අසීරු දෙයක් නමෛයි. මේ කටයුත්තට අවශ්‍ය තාක්ෂණික පහසුකම් තියෙනවා. මෙය පැය හයක කටයුත්තක්. ඒ පැය හයක් තුළ එකම ඉරියව්වකින් ඉන්න වෙන එක නම් ටිකක් අසීරු වැඩක්.

මෙයින් යම් යම් අතුරු ආබාධ ඇතිවිය හැකිද?
ඒ ගැන මාධ්‍යයකට ප්‍රකාශයන් කරන්න මට අයිතියක් නැහැ. මොකද මම ඒ පිළිබඳ විශේෂඥයෙක් නොවෙයිනේ. මගේ පැත්තෙන් මම නම් කොණ්ඩේ සිටුවීම හින්දා කිසිම අතුරු ආබාධයකට ලක්වුණේ නැහැ. 


ඒ කොහොම වුණත් කොණ්ඩෙ සිටුවීමට හිතන අය ඒ ගැන අලුත් අත්දැකීමකට මුහුණ දෙන්න කලින් ඒ ගැන හොඳින් දැනුවත් වෙලා තමන්ටම මෙයින් යම් අතුරු ආබාධයක් ඇතිවිය හැකි දැයි සොයලා බලලම මේ වගෙ අලුත් අත්දැකීමක් ලබනවා නම් හොඳයි කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ.

සුරාජ්ගෙ කලා ජීවිතයේ තොරතුරු ගැනත් ටිකක් කතා කරමු.
මේ දවස්වල ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහත්තයා අධ්‍යක්ෂණය කරන ‘කළු අරලිය’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා. ‘රිදී රැයක්’ ප්‍රසංගයටත් සූදානම් වෙනවා. ඒ වගේම ලාල් වීරසිංහ මහත්තයාගේ අලුත්ම චිත්‍රපටයේ කටයුතු ළඟදී පටන් ගන්නවා. එයටත් මම එකතු වෙනවා.

පසුගිය කාලෙම සුරාජ් වැඩි අවධානය යොමු කළේ රංගනයට වඩා නර්තනයට.
මම දැන් ලතින් ඇමෙරිකානු නර්තන පන්ති පවත්වනවා. දැනට මහරගම හා මහනුවර ප්‍රදේශයේ තමයි පන්ති තියෙන්නේ. පන්ති දෙකටම සිසු සිසුවියන් අසූවකට අධික ප්‍රමාණයක් සහභාගි වෙනවා. ඉදිරියේදී මගේම කලායතනයක් ආරම්භ කිරීම තමයි මගේ තියෙන ලොකුම හීනය.

සුරාජ් තමන්ගේ සියලුම හීන ඉටු කරගන්නවා. ඒත් තවම ආදර හීනය ඉටුකරගත්තේ නැහැ.
ආදරය හරි සුන්දරයි. සමහරු එය විඳිනවා. තවත් අය විඳවනවා. මම ඔය අත්දැකීම් දෙකම සම සමව ලබලා තියෙනවා. මම දැන් ඉන්නෙ නැවත නැවතත් ඔය අත්දැකීම් විඳින වයසක නමෛයි. 


ඒ හින්දා දැන් ආදරයක් පටන් ගන්නවා නම් පටන් ගන්නේ විවාහ වීමේ අරමුණ ඇතුවයි. ඒ හින්දා සුදුසුම කෙනෙකු තෝරාගෙන තමයි ආයිමත් ආදරයක් පටන් ගන්නවා නම් පටන් ගන්නේ.
 
Related Posts with Thumbnails