Ads 468x60px

.

සැබෑ නත්තල යනු කුමක්‌ද?


ඇසට පෙනෙන අලංකාර සැරසිලි, නත්තල් ගස්‌, නත්තල් සීයලා, ගවමඩු ආදී නොයෙක්‌ දේවල් ව්‍යාපාරික ආයතනවල දේවස්‌ථානවල, නිවෙස්‌වල සහ මහමගද අපට මේ දිනවල දකින්නට ලැබේ. තවද දේශීය හා විදේශීය ආහාර වර්ගද නොයෙක්‌ ඇඳුම් විලාසිතාවන්ද දැකිය හැක. මේ කිතුබැතියන් ඇතුළු සමාජය නත්තල් චාරිත්‍ර පවත්වන ක්‍රම කීපයකි.

සැබෑ නත්තල යනු කුමක්‌ද? මෙවැනි චාරිත්‍ර නොවේ. නත්තල යනු කිතු උපතයි. මිනිසා පාපයෙන් මුදාගන්නා පිණිස ස්‌වර්ගයේ දිව්‍ය සම්පත්

අත්හැර දිව්‍ය පුත්‍රයාණන් පොළොවට වැඩි කථාව නත්තලයි. අද දවසේ බොහෝ දෙනෙක්‌ මෙම සැබෑ නත්තලේ අදහස අත්හැර විකෘති වූ නත්තලක්‌ සමරමින් සිටී.

එදා බෙත්ලෙහෙම් පුර නත්තලේදී සැබෑ නත්තල් ප්‍රීතිය භුක්‌ති විඳි අය සහ එම නත්තලේ ප්‍රීතිය අහිමිකරගත් අය පිළිබඳව බයිබලයේ පැහැදිලිව සඳහන් වේ. "ඈ කුලුඳුල් පුත්‍රයාවද රෙදිවලින් ඔතා, නවාතැන් ගෙයි ඔවුන්ට ඉඩ නොතිබුණු බැවින් ගවයන් කන ඔරුවක බෑවුවාය." (ලූක්‌ 2(7)

ඡේසු බිලිඳුන් බිහිවන්නට කාලය ඉතාම ආසන්න හෙයින් නවාතැත් පොළක්‌ සොයා ගන්නට මරියතුමී සහ යෝෂෙප් කොතෙක්‌ උත්සාහ කළත් ඔවුන් ඉතා දිළින්දන් නිසා ඔවුන් හට කිසිම ඉඩක්‌ ලැබුණේ නැත. මුදල් නොලැබේය, තානායම අපවිත්‍රවේය. තානායම්පති සිතන්නට ඇත.


ඔහුට විමුක්‌තිය හෝ නත්තලක්‌ අවශ්‍ය නැත. වස්‌තුව හා තත්ත්වය ගැන පමණක්‌ සිතූ හෙයින් තානායම්පතිට මුල්ම නත්තල අහිමි විය. පංති අරගලය එදත් අදත් ඇත. මෙම නත්තලේදී අසරණයන්ට පිහිට වෙමු. නත්තල බදා නොගෙන බෙදාගමු. ඔබ තුළ ඡේසුස්‌ වහන්සේට ඉඩක්‌ තිබේද?

වර්තමානයේදී බලයෙන් මත් වී මහත් විනාශයක්‌ කරන දේශපාලන හා ආගමික කල්ලිවලට සැබෑ විමුක්‌තිය අවශ්‍යයි. එදා හෙරෝද් රජු "මමයි රජා" කියමින් ඡේසු තුමාගේ උත්පත්තිය ප්‍රතික්‍ෂේප කරමින් රාජ්‍ය ත්‍රස්‌තවාදයක්‌ බිහි කරමින් මුළු යුදා දේශයම ලේ විලක්‌ බවට පත් කරමින් මුල්ම නත්තල හෙරෝද් විසින් අහිමි කර ගත්තේය. (ශු. මතෙව් 2(1-18)

එදා පිට්‌ටනිවල බැටළුවන් රකින දුප්පත් එඬේරුන් හට පළමුව ඡේසු උපත දැනගන්නට ලැබී එවෙලේම ගොස්‌ එතුමාට නමස්‌කාර කළේය. එම එඬේරුන් තුළ මහා පරිවර්තනයක්‌ සිදුවිය. එම කුලී එඬේරුන් ක්‍රිස්‌තියානි එඬේරුන් බවට පත් වී එදා නත්තල පිළිබඳව සාක්‍ෂි දැරුවෝය. (ශු. ලුක්‌ 2(8-21) එඬේරා යන වචනය කිතුනු ශාසනයට ඉතා සමීප වචනයකි.


ශුද්ධ වූ කිතුනු සභාව රැකබලා පෝෂණය කිරීමේ මහත් වගකීම භාරදී ඇත්තේ මෙම එඬේරුන්ටය. අද දවසේදී සභාව නැමති රැල ප්‍රේමයෙන් නිසියාකාරව රකින පිණිස අද එඬේරුන්ට ස්‌වර්ගයෙන් පණිවුඩයක්‌ හා එළිදරව්වීමක්‌ අවශ්‍යම වේ. එකමුතුකම නොමැති එඬේරුන් එක්‌සත්විය යුතුය.

එදා බෙත්ලෙහෙමේ මුල්ම නත්තල් ප්‍රීතිය භුක්‌තිවිඳි අය අතර පඬිවරුද සිටි බව දේව වචනය පවසයි. (ශු. මතෙව් 2(12) එම පඬිවරුද තම විද්‍යා දැනුමෙන් ලැබූ අවබෝධය අනුව හෙරෝද්ගේ රජමැඳුරටද පසුව තාරකාව අනුව බෙත්ලෙහෙමේ ගවහල වෙතද පැමිණ ඡේසු බිලිඳුන්ට නමස්‌කාර කළෝය. 


මෙම කිතු උපත හා එතුමා තුළ විමුක්‌තිය රජ මැඳුරටත්, දුගී පැල්පතටත්, උගතා සහ නූගතාටත්, දුප්පතාට සහ පොහොසතාටත්, සියලු ජාතීන්ටත් අවශ්‍ය වේ. මෙම ශුභාරංචිය මෙම නත්තලේදී බෙදා හරිමු.

ප්‍රීතිමත් නත්තලක්‌ වේවා !
 
Related Posts with Thumbnails