Ads 468x60px

.

සොළොස්‌ මහ සිහින දැක බලා කෙනකුට හෝ පිරිසකට ආවේගයක්‌ ඇති නොවිය යුතුය


බුදුරජාණන් වහන්සේ දේශනා කළ පන්සිය පනස්‌ ජාතක පොත් වහන්සේගේ 77 වැනි ජාතක කතාව මහා සුපින ජාතකයයි. කොසොල් මහ රජතුමා එක්‌ දිනක්‌ නින්දේදී දුටු සිහින හා ඒවාට පිළිතුරු වශයෙන් දේශනා කළ කරුණු මෙම සූත්‍රය තුළ අන්තර්ගතය. 

කොසොල් මහ රජතුමා දුටු සිහින 16 පළමුව මතක්‌ කර සිටින්නේ ශාන්ති බ්‍රාහ්මණයාට හා පුරෝහිත බ්‍රාහ්මණයා වෙතය. ඔවුන් පිළිතුරු වශයෙන් සඳහන් කර සිටින්නේ රජතුමාට එයින් සිදු වන අනතුරු පිළිබඳවය.

එනම් රාජ්‍යත්වයට, භෝග සම්පත්වලට හා ජීවිතයට අනතුරක්‌ වන බවයි. කොසොල් රජතුමා මෙතුළින් තැති ගැන්මකට ලක්‌ වූ අතර එයට

විසඳුමක්‌ වශයෙන් බමුණන් සඳහන් කරන්නේ සත්ත්වයන් ගින්නට දමා දෙවියන් සතුටු කරන සර්ව චතුස්‌ක නම් වූ යාගය සිදු කළ යුතු බවයි.

මෙහිදී ශ්‍රද්ධාවෙන් හා බුද්ධියෙන් අනූන කොසොල් රජතුමාගේ බිසව වූ මල්ලිකා දේවියගේ උපදෙස්‌ මත එම යාගය කිරීමට පෙරාතුව මේ පිළිබඳ වැඩි විස්‌තර දැන ගැනීමේ අදහසින් බුදු රදුන් හමු වීමද සිදු කරනු ඇත. එහි දී බුදුහිමි යථාර්ථවාදී දේශනාවක්‌ කොසොල් රජතුමාට දේශනා කළහ. 

එනම්,

උසහා රුක්‌ඛාගාවියො ගවාච අස්‌සො කංසා
සිගාලිවි කුම්භො පොක්‌ඛරණී ච අපාක චන්දනං
ලාපූනි සීදන්ත සිලාප්ලවන්ති මණ්‌ඩුකියො කණ්‌හා සප්පො ගිලන්ති
කාකා සුවණ්‌ණා පරිවාරයන්ති තසාවකා එලකානං භයාතීති."

මෙහිදී කොසොල් රජතුමා සිහින 16 ක්‌ දුටුව බවත් ඒවායෙ තේරුම පැහැදිලි කර දෙන ලෙසත් බුදු හිමිගෙන් ඉල්ලූ පුවතක්‌ වැඩි දුරටත් විස්‌තර වේ. එම ජාතක කතාවෙහි ඇතුළත් සිහින දාසය පිළිබඳ මදක්‌ විමසා බැලීම වැදගත් වනු ඇත.

එම සිහින 16 පිළිවෙළින් ගත් කල

1 කළු ගොනුන් 4 දෙනෙක්‌ රජ මිදුලට පැන තරගෙට වගේ ඇන ගන්නා විධියට ඉඳ පිරිස එකතු වූ කල ආපසු පැන දිවීම.

2 ගස්‌ ලොකු වෙන්නට පෙර ගෙඩි හට ගැනීම.

3 වැදූ විගසම එම වසු පැටියන්ගෙන් එළදෙනුන් කිරි බීම

4 පුරුදු ගොන් බාන පුරුදු කරත්තය නොඇද නුපුරුදු කරත්තය ඇදගෙන යැම

5 දෙපැත්තෙන්ම කටවල් දෙකක්‌ තිබූ සතෙක්‌ දෙපැත්තෙන්ම භක්‍ෂණය කිරීම

6 කහවනු ලක්‍ෂයක්‌ වටිනා රන් තැටියකට හුනෙකු මූත්‍රා කිරීම

7. මිනිසෙකු ලණුවක්‌ අඹරන අතර සිවල් දෙනෙක්‌ එහි කෙළවර කෑම

8. හිස්‌ කළ ගෙඩි තිබියදී එය නොබලා පිරුණු කළවලටම තව තවත් ජලය පිරවීම

9 පොකුණක සිව්පාවුන් බැස දිය බීවත් දිය බොර නොවී දියට බැස කළඹන තැනම පිරිසිදු වීම.

10. එක හැලියේ බත් තුන් විදියකට ඉදීම

11. සඳුන් අරටුවක්‌ ගින්නෙන් දැවී අලු වීම

12.වියළුණු ලබු ගෙඩියක්‌ වතුරට දැමූ කල දිය යට යැම

13 පර්වතයක්‌ දිය මතුපිට පා වී තිබීම

14 රන් හංසයන්ට කපුටන් රජෙක්‌ වීම

15 කුඩා මැඩියෝ සර්පයන්ව එළවීමත් සර්පයො මැඩියන්ට බියේ දිව යැමත්

16 දිවියෙක්‌ පසු පස හරකෙක්‌ එලවා ගොස්‌ ඌව මරාගෙන කෑම ආදී වශයෙනි.

මෙම සිහින 16 තුළ අන්තර් ගත වන්නේ ගැඹුරු අර්ථයන්ය. රටක සමාජයක පිරිහීම මෙහි ප්‍රධාන වශයෙන් අන්තර්ගතය. මිනිස්‌ ප්‍රජාව ක්‍රමක්‍රමයෙන් පිරිහීගෙන යන කාලය වර්තමානය තුළ සිදු වෙමින් පවතී. එදා කොසොල් රජතුමා දුටු සිහින එදාට බලපාන ඒවා නොව අදට බලපාන ඒවා බව බුදුහිමි බුදු ඇසින් එදා අනාගතය දෙස බලා වදාළහ.

මෙම සිහින 16 ම එකට සම්පිණ්‌ඩනය කොට බැලීමෙන් ප්‍රධාන කරුණු කීපයක්‌ ඔස්‌සේ එය විකාශනය වී ඇති බව පැහැදිලි වේ. අද කාලීන වශයෙන් සිදුවන සියලු ප්‍රශ්න ගැටලු මෙම සිහින 16 තුළ අන්තර්ගතය. ඒවා සිදු වන අයුරු දෑසින් බලාගෙන ඉන්න කෙනකු සේ බුදු හිමි බුද්ධ ඥානයෙන් අද සිදුවන සියලු දේවල් එදා මනාව දේශනා කළහ.

යුක්‌තිය දහම නොපිටට පෙරළීම

ආයුෂ අඩු වීම

කටේ වරද නිසා නැති ප්‍රශ්න ඇතිවීම

මවුපියන්ට වැඩිහිටියන්ට නොසැළකීම

දූවා දරුවන් හිතුමතේට ක්‍රියා කිරීම හා ගුරු දෙගුරුන්ට ද අවනත නොවීම

සුදුසු අයට සුදුසු තැන අහිමි වී නුසුදුසු අයට එම ස්‌ථාන ලැබීම

බොරුව, වංචාව තුළින් තවකෙකු අසරණ වීම සඳහා ක්‍රියා කිරීම

පිරිමින්ට ආවේණික ක්‍රියා ගැහැනුන් ද කිරීම හා කිරීමට උත්සාහ කිරීම

දෙපැත්තෙන්ම පගා ගැනීම හා වාසි අතට නඩුහබ සිදු වීම

සිල්වතුන්ට, ගුණවතුන්ට පූජා සත්කාර නොකිරීමත්, වද හිංසා දීමත්, දුසීලයන්ට තැන දීමත්, ආදිය සිදුවීම

නිවෙස්‌ තුළ ස්‌වාමි භක්‌තිය නොකොට පරදාර සේවනය සිදු වීම

අයබදු ගැනීම ආදිය වැඩි වී ජනතාව කෑකෝ ගැසීම

අපරාධ දූෂණ වැඩිවීම හේතුවෙන් දෙවියන් කෝප වී අව්ව වැස්‌ස නිසි කලට නොදී අනිසි කලට ඒවා ලැබී ජනතාවට වද පැමිණීම

දුසිරිත්කම් ඇති ගිහි පැවිදි අය බිහි වී බුදු සසුන කෙළෙසීම

මිල මුදල්වලට යට වී කළගුණ සැලකීම හා ගුණධර්ම නොදත් පිරිසක්‌ සේ කටයුතු කිරීම.

ජාතිය ක්‍රමක්‍රමයෙන් වැනසීමත්, ඇත්ත බොරුව වී බොරුව ඇත්ත වීම මිසදිටුවන් ජය පැන්බීම

ආගම ධර්මයට තැන නොදීම හා පහත් මිනිසුන් වැදගත් අයට ගැරහීම

අඩු වයසින් විවාහ වීමත්, ගැහැනුන්ට මිනිසුන් යටත් වීමත්, රාගයෙන් ජීවිත පවා විනාශ කිරීම

ගිහියන් විසින් කළ යුතු දේවල් පැවිද්දන් කිරීමත්, පැවිද්දන් විසින් කළ යුතු දේවල් ගිහියන් කිරීමත් ආදී වශයෙනි.

මේ ආදී වශයෙන් මුළු සමාජ සංස්‌ථාවම පිරිහීමට බලපාන සියලු ප්‍රශ්න, ගැටලු එම සිහින තුළ අන්තර්ගතය. එය අද සිදුවන අයුරු ඇස්‌ කන් තිබෙන කාට වුවද අවබෝධ කර ගත හැකිය. එදා බුදු රජාණන් වහන්සේ පහදා දුන් මෙම සිහින 16 අද සිදු වන අයුරු අමුතුවෙන් කිවයුතු නැත,


රටත්, සමාජයත්, ජනතාවත්, පිරිහීගෙන යන ප්‍රවණතාව අද සීග්‍රයෙන් උත්සන්න වී ඇත. ජාති, ආගම්, කුල, මල සේම දේශපාලනික වශයෙන්ද මිනිසුන් විරසක වී බේද භින්නතා ගොඩනඟාගෙන තිරිසන් සත්ත්වයන්ටත් අන්ත විධියට පිරිහී ඇත.

මෙම කරුණු දැක බලා කෙනකුට හෝ පිරිසකට ආවේගයක්‌ ඇති නොවිය යුතුය. එයට හේතුව මෙම කරුණු තුන් කාලයටම කැඩපතකින් මුහුණ බලන්නා සේ දැකිය හැකි උත්තමයෙක්‌ දේශනා කර තිබීම හේතුවෙනි.

මාස්‌පොත ශ්‍රී ගංගාරාම විහාරවාසී කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද
පිරිවනේ ආචාර්ය
ගලගෙදර රතනවංශ හිමි
 
Related Posts with Thumbnails