Ads 468x60px

.

ලියුම් 8ක් ලියා එල්ලී මියගිය මවගේ සහ දුවගේ ළඟම ඥාතියාගේ කටඋත්තරයෙන් හෙලිවූ කතාව..


මවක් සහ දියණියක් ඔවුන්ගේ නිවසේ ස්ථාන දෙකකදී ගෙල වැලලා ගෙන මියගොස් සිටියදී පන්නල ‍පොලිසිය මගින් ඊයේ (09) පෙරවරුවේ දී සොයා ගත්තා. මෙසේ මියගොස් ඇත්තේ පන්නල හාවානෙලිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි රාජපක්ෂ මුදියන්සේලාගේ හේමලතා සහ ඇගේ දියණිය වන 20 හැවිරිදි විශ්වනී සඳතාරකා යන දෙදෙනාය.

දියණියගේ පෙම් සබඳතාවක් සම්බන්ධ ආරවුලක් දුරදිග යාමෙන් මව සහ දියණිය සියදිවිනසා ගන්නට ඇතැයි සැකකරන බව පන්නල

පොලිසිය පවසනවා. 45 හැවිරිදි කාන්තාව නිවසේ මුළුතැන්ගෙයි සහ තරුණිය ඇගේ කාමරයේ මියගොස් සිට තිබෙනවා. තරුණියගේ මව මියගොස් ඇති අයුරු ඇගේ මව දැක පන්නල ‍පොලිසියට දැනුම්දී තිබෙනවා.

විශ්වනී සඳතාරකා කලක් ඇඟලුම් සේවිකාවක් ලෙස සේවය කර ඇති අතර ඇය ඇගේ ලේ ඥාතියකු වන යුද හමුදා සෙබළකු සමග පෙම් සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා. නමුත් ඊට දෙපාර්ශ්වයෙන්ම දැඩි විරෝධයක් දක්වා ඇතැයි ද පැවසේ.

මියගිය තරුණියගේ පියාද මීට කලකට ඉහතදී වස පානය කර සියදිවි නසාගෙන ඇති අතර ඇය මව සමග තනිව නිවසේ වාසය කර ඇත.

මෙම ද්විත්ව මරණ සම්බන්ධව මියගිය තරුණියගේ මිත්තණිය වන ආර්.එම්. සෝමාවතී (64) මහත්මිය කුරුණෑගල රෝහ‍ලේ දී පැවැති මරණ පරීක්ෂණයේ දී මෙසේ පැවසුවා.

“මගේ දුවයි මිනිබිරියයි ජීවත් වෙන්නේ අපේ ගෙදරට අල්ලපු වැටේ. දුව 1994 අවුරුද්දේ සෝමරත්න බණ්ඩාර නමැති අය සමග විවාහ වුණා. පසුව ඔවුන් දංකොටුව, කටුකෙන්ද ප්‍රදේශයේ පදිංචියට ගියා. එහි දී මිනිබිරිය ලැබුණා.  98 අවුරුද්දේ දී දුවගේ සැමියා නැතිවුණා.  


පසුව දුව මිනිබිරියත් සමග මා ළඟට ආවා. සැමියාගේ දේ‍පොළවල ආදායම සහ අපේ උදව්වෙන් දුව මගේ ඉඩමේ ගේ හදාගත්තා. දුව කඩයප්පන් හදලා ජීවත් වුණේ. මිනිබිරිය ගාමන්ට් එකක රස්සාවට ගියා. පසුව ‍පොල්තෙල් කර්මාන්තශාලාවක වැඩටත් ගියා.

මිනිබිරිය යාළුවෙලා හිටියේ මගේ අක්කගේ ලොකු පුතාගේ පුතාත් සමගයි. මේ දෙන්නගේ සම්බන්ධයට වසර හතරක් පමණ කාලයක් ගත වී තිබුණා. එයාගේ නම චතුරංග. මිනිබිරිය පිරිමියෙක් දිහා බලනවටවත් ඒ ළමයා කැමැති වුණේ නෑ. ඇයට හරියට වද දුන්නා. ඇතැම් වෙලාවට පහරදුන්නා. එයාව දුවට බන්දලා දෙන්න කියලා මගේ දුවට නිතරම බල කළා.

08 වැනි දා රෑ මේ කොල්ලා බයික් එකෙන් දුවලගෙ ගෙදරට ආවා. රෑ 11.00ට විතර තමා චතුරංග ඒ ගෙදරින් පිටත් වුණේ. චතුරංග නිවාඩු ආපු දවස්වලට මිනිබිරීලගෙ ගෙදර ඇවිත් රෑ වෙලා යනවා. ඊයේ (09) උදේ මම නැගිටලා කුස්සියට යද්දී දුවගේ ගෙදර බෑග් එකක් තිබුණා. ඒකේ ලිපියක් තිබුණා අම්මේ මට සමාවෙන්න කියලා.  


මම හිතුවා මිනිබිරී පැනලා ගිහිල්ලාවත්ද කියලා. මම දුවලගේ ගෙදර පිටිපස්සට යද්දී දුව මඩුවේ උණ බම්බුවක එල්ලිලා හිටියා. කෑගහගෙන ගිහින් මේ ගැන පුතාට කිව්වා. අපේ ගෙවල් වටේම ඉන්නේ ඥාතීන්. ගේ ඇතුළට ගිහින් බලද්දී මිනිබිරීත් එල්ලිලා හිටියා.

ගෙදර බලද්දී ලියුම් අටක් තිබි හමුවුණා. මට ලියපුවා, දුවගේ ඥාතීන්ට ලියපුවා, ග්‍රාමසේවක මහත්තයාට සහ මිනිබිරීගේ පෙම්වතාට ලියපු ලියුම් ඒ අතර වෙනවා. ඒ ලියුම්වල දුව සහ මිනිබිරී දෙන්නම අත්සන් කරලා තිබුණා.

ග්‍රාම නිලධාරී මහත්තයාට ලියපු ලියුමේ තිබුණේ පහුගිය කා‍ලේ මටයි මගේ දුවටයි දෙන්නම කරදර ගොඩක් තිබුණා. මේවා දැක දැක ජීවත් වෙන්න බැහැ. දුව දුක්විඳිනවා බලන් ඉන්නත් බෑ. මම මැරුණොත් දුවත් දුක් විඳිනවා. දුව තනිකරන්න බෑ. මේ මරණ අප විසින්ම කරගත්ත ඒවා. ඒවාට කවුරුවත් වගකියන්න ඕනේ නෑ. යැයි එම ලිපියේ සඳහන් වේ.

මිනිබිරිය ලියපු තවත් ලියුමක සඳහන් වෙලා තිබුණා චතුරංග මම ඔයාට ආදරේ කළා. ඔයා මගේ හිත රිද්දුවා. ඔයා ඔයාගේ දෙමව්පියන්ගේ කීම් අහලා මගේ අම්මට ගොඩක් දොස් කීවා. ඔයා මට දුන්නු රත්තරන් බඩු කබඩ් එක උඩ තියෙනවා. ඒවා ටික ගන්න. මගේ බයික් එක ඥාති අක්කා කෙනකුට දෙන්න යැයි ඒ ලිපිවල තිබුණා.” යැයිද සෝමාවතී මහත්මිය මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දී තිබෙනවා.

මෙම මරණ පරීක්ෂණය පිටිගල්කෝර‍ලේ හදිසි මරණ පරීක්ෂක ෂර්ලි අබේරත්න මහතා විසින් සිදු කළ අතර පශ්චාත් මරණ පරීක්ෂණ කුලියාපිටිය මූලික රෝහ‍ලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ලසන්ත ද සිල්වා මහතා විසින් සිදු කරන ලදී. මෙම මරණ දෙකම ගෙල වැලලාගෙන සිදු වූ හදිසි මරණ බවට ඔහු විසින් තීරණය කරන ලදී.  සිද්ධිය පිළිබඳව පන්නල ‍පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
 
Related Posts with Thumbnails