හික්‌කඩුව, තිරාණගම ප්‍රදේශයේදී යතුරු පැදියක යමින් සිටි තරුණයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර තිබුණු බව ඊයේ වාර්තා වී තිබිණි.
පසුගිය සති කිහිපය පුරාමත්, සමස්‌තයක් ලෙස 2015 වසර පුරාමත් විටින් විට මෙවැනි ඝාතන පිළිබඳව විවිධ තොරතුරු වාර්තා විණි. විශේෂත්වය වන්නේ ඒ බොහෝමයක් බස්‌නාහිර පළාත මෙන්ම දකුණු පළාත
කේන්ද්‍ර කර ගනිමින් ද සිදුවීම ය. පසුගිය දිනවල වාර්තා වූ සිදුවීම් බොහෝමයක් දකුණු පළාතට විශේෂ ය.
පසුගිය නොවැම්බර් මාසයේ ඇල්පිටිය ඌරගස්‌මංහන්දියේදී යතුරු පැදියකින් ගමන් කළ තරුණයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කළ පුවතක් වාර්තා විය. එය කලක් පවතින ආරවුලක් හේතුවෙන් සිදු වූවක් බව පොලිසිය ප්‍රකාශ කර තිබිණි.
පසුගිය සතියේදී එම තරුණයන් මරා දැමූ තැන කඳින් වෙන් කරන ලද මිනිස් හිසක් තිබී හමුවිය. හිසසුන් ශරීරය තිබී ඇත්තේ තවත් තැනකය. එය පෙර කී තරුණයන් මරා දැමීමේ සිදුවීමට සම්බන්ධයක් ඇතැයි සැක කෙරෙන බව ද තොරතුරු වාර්තා වී තිබිණි.
මේ ඝාතන රැල්ල නාඳුනන තුවක්‌කුකරුවකුගේ ගිණුමට බැර කිරීමෙන් ඵලක් නැත. ඊට හේතුව ඉතාම ඉක්‌මනින් අපරාධකරුවන් (සැකකරුවන්) අත්අඩංගුවට ගන්නා නිසාය. සැකකරුවන් පාතාල සාමාජිකයන් බවට ද ඉක්‌මණින් ම හඳුනාගනී.
මෑතභාගයේ සැඟවූ ආයුධ සෙවීමට ගොස් හෝ අත්අඩංගුවට ගැනීමේදී පොලිසියෙන් වෙඩි කා මියෑදීම හෝ අත්අඩංගුවට ගැනීමේදී ගගකට, වැවකට පැන සිය දිවි නසා ගැනීමේ හෝ සිදුවීම් වාර්තා වූයේ නැත.
එහෙයින් නඩු ඇසේ. මරණීය දණ්‌ඩනය හෝ කවර හෝ දඬුවමක් නියම කෙරේ. චක්‍රය එබඳු ය. එහෙත් අපරාධවල අඩුවීමක් දක්‌නට නැත. පාතාලය අවසන් යෑයි කවුරු කොහොම කීවත් තවමත් අපරාධයකදී අත්අඩංගුවට ගන්නා පුද්ගලයකු පාතාල සාමාජිකයකු බව පොලිසියෙන් ම දැන ගන්නට ලැබේ. ප්‍රශ්නය ඇත්තේ එතැන ය.
ඇහැට ඇහැක්, ලෙයට ලෙය ඉල්ලන ප්‍රචණ්‌ඩකාරී වටපිටාවක සමාජයේ යම් මානසික විකෘතිතාවක් ඇති කිරීමට සමත්ව තිබේ. එය සුළු අමනාපයකට පෙම්වතිය පමණක් නොව මුළු පවුලම මරා දැමීම දක්‌වා වර්ධනය වී තිබේ.
කොටදෙණියාවේ අහිංසක දැරිවිය දූෂණය කර මරා දැමීමේ සිදුවීම මුළු මහත් සමාජය තුළම විශාල කම්පනයක්, වරදකරුට දෙතිස් වධය දී මරා දැමිය යුතු යෑයි කියන ආන්දෝලනයක් මතුකර තිබියදීත්, මහියංගනයේ තරුණියක දූෂණය කර මරා දමා තිබිණි. එයින් පෙනෙන්නේ අපරාධයට ඇති බිය කවර හේතුවක් නිසා හෝ නැති වී නොමැති බව ය.
දහම් දීපය ලෙස හඳුන්වන සිරිලකට මේ අවාසනාවන්ත ඉරණම අත්වීමේ ඉතිහාසය දශක තුනක් තරම් පැරැණිය. කුරිරු ත්‍රස්‌තවාදය නිසාම මරණය (ඝාතනය) සාමාන්‍යකරණය වීමේ වටපිටාවක් නිර්මාණය වී තිබිණි. එහි අඩුපාඩු පිරවූයේ පාතාලයයි.
පාතාලය රට තුළ චිකාගෝ පන්නයේ පරිසරයක් නිර්මාණය කළ බව අමුතුවෙන් කිව යුතු නැත. මහ දවාලේ වෙඩි තබා, කඩු වලින් කපා කොටා ඝාතනය කිරීම රැයක් එළිවන විට පාතාල කල්ලි අතර ගැටුම් වලින් කිහිපදෙනෙකු ඝාතනය වීම, ඇළ, දොළ ගංගාවල මළකඳන් පාවීම වැනි සිදුවීම් දකින සමාජයේ ජීවත්වන කවරෙකු තුළ වුව යහපත් මානසිකත්වයක් ගොඩනැඟන්නේ නැත.
මෙවැනි සිදුවීම්වලට හරි හැටි නීතිය ක්‍රියාත්මක වන්නේ ද නැත. ඒ නිසාම අපරාධයකට තුඩු දෙන සාධක සම්පූර්ණ වූ විට කිසිසේත් අපරාධයක් සිදු නො කිරීමට සිතන පුද්ගලයකු තුළ පවා යම් මානසික වෙනසක් ඇති කිරීමට (බිය අවම කිරීමට) වැඩි ඉඩකඩක් ඇත. සමාජය අත්විඳිමින් සිටින්නේ ඒ ෙ€දවාචකයයි.
2014 වර්ෂයේදී මේ අපරාධ රැල්ල මඩින්නට ආරක්‍ෂක අංශ දැඩි වෙහෙසක් ගත් බව කිසිවෙකුටත් අමතක විය නොහැක. 'පාතාලය' මර්දනය කරන්නට ගෙන ගිය වැඩපිළිවෙළ කොතරම් සාර්ථක වූවාදැයි කිවහොත් පාතාල සාමාජිකයන් බුරුතු පිටින් විදෙස්‌ගත වූ බවට තොරතුරු වාර්තා විණි.
පාතාලය පමණක් නොව සමස්‌ත අපරාධ මර්දනය කරන්නට එවැනි වැඩපිළිවෙළක් ඉක්‌මණින් ම අවශ්‍ය බව පමණක් අපි සිහිපත් කරමු.