Ads 468x60px

.

මැදපෙරදිග මරු කතරේ ලේ, කඳුළු, දහදිය තව තවත් හෙළන මවුවරුන්...


කිසිදු පවක් නොකළ තැනැත්තකු පළමුවැනි ගල ගසන්නැයි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පැවැසුවේ මරියා මග්දෙලේනා පව්කාර ස්ත්‍රියකැයි චෝදනා කරමින් ඇයට ගල් ගැසූ පිරිමින් පිරිසකටය. 

මරියා මරණයෙන් බේරාගෙන වර්ෂ 2000 ගණනක් ගතවී තිබුණද පව්කාරියන් යැයි ලේබල් ගසා දඬුවම ලෙස ගල් ගසා මරා දැමීම තවමත් මැද පෙරදිගින් තුරන්වී ගොස් නැත. 

ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ සාමාජිකත්වය දරන රටවල් 57ක් අතුරින් ස්ත්‍රීන්ට දඬුවම් ලෙස ගල්ගසා මරා දැමීමේ මේ 'ෂරියා' නීතිය
ක්‍රියාත්මක කරන්නේ රටවල් අතළොස්සක් පමණි.

'පව්කාර' ලේබලය අලවා ස්ත්‍රීන්ට ගල් ගසා මරා දැමීම මෙරට ආන්දෝලනාත්මක මාතෘකාවක් වී ඇත්තේ අන්කිසිවක් නිසා නොව සවුදි අරාබියේ ගෘහසේවය සඳහා ගිය මරදානේ ජීවත්වූ තිදරු මවක් පුරුෂයකු සමඟ 'පාපයේ ගැලීමේ වරදට' වහබ්වාදී ආගමික පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ගල් ගසා මරා දැමීමට තීන්දු කිරීම නිසාය. 


ඇගේ ලිංගික සහායකයාට කස පහර සියයක දඬුවමක් නියම කර ඇත්තේ පාපයේ ගැලුණද පිරිමින්ට ගල් ගසා මරා නොදමන නිසාය.

මීට පෙර 'රිසානා නෆීක්' නම් යෞවනිය සවුදි අරාබියේදී ගෙල සිඳ මරා දැමීමේ නීතියට යටත් වූ අතර ඇයගේ දිවි බේරා ගැනීමට දැරූ සියලු උත්සාහයන් ව්‍යර්ථ විය. 


කුරිරුම දඬුවමක් ලෙස සැලැකිය හැකි ගල් ගසා මරා දැමීමට නියමවී සිටින 'මරදානේ මව' ගේ දිවි බේරා ගැනීමට රජය සියලු උත්සාහ දරන බව පෙනේ. දඬුවමේ වෙනසක් කරගත හැක්කේ සවුදි බලධාරීන්ට දිගින් දිගටම බලපෑම් කරමින් උද්ඝෝෂණ කිරීමෙන් පමණි. මෙරට සියල්ලන්ගේ ප්‍රාර්ථනය ඇගේ දිවි ගැලවේවා යන්නය.

මැදපෙරදිග රටවල් අතළොස්සක ක්‍රියාත්මක වන වහබ්වාදී සුචරිත 'ෂරියා' නීතිය වෙනස් කිරීමට හෝ ඊට බලපෑම් කිරීමට ශක්තියක් ලංකාවට තබා ලෝක බලවතා වන ඇමෙරිකාවට හෝ නැත. බලපෑම් කළද සවුදි අරාබිය වැනි ධනවත් මැදපෙරදිග රටවල් 'ආගමික' නීති රීති වෙනස් කිරීම ගැන කිසිදු තැකීමක් නොකරයි.

ගල් ගසා, බෙලි කපා මරා දැමීම පසෙක තිබේවා, මැද පෙරදිග වහල් සේවයට යන කාන්තාවන් නොවිඳිනා දුක් විඳින බව රහසක් නොවේ. 


ශ්‍රමය පමණක් නොව ඔවුහු බොහෝ විට ලිංගික සූරාකෑමටද ගොදුරු වෙති. සදාකාලික රෝගීන් බවටත් සදාකාලික ආබාධිතයන් බවටත් පත්වන්නියන් බහුලය. ඇතැම් කාන්තාවන්ට පෙරළා සිය රට පැමිණීමට සිදුවන්නේ මිනී පෙට්ටියෙනි. 

'රිසානා සොයුරිය'ට යළි පැමිණීමට නොහැකි වූ අතර 'මරදානේ මව' මුහුණදී සිටින්නේද එවැනි අවාසනාවන්ත ඉරණමකටය.

සැබෑ කම්කරුවන් ලෙස සැලකිය හැකි වැඩ කරන පන්තිය නියෝජනය කරන්නන් අතර මැද පෙරදිග රටවල වහල් සේවයේ නියැළෙන්නෝ ඉහළින්ම සිටිති. ඊට හේතුව මෙරටට විදේශ විනිමය සංචිතය තර කිරීමට වැඩිම දායකත්වය ලබාදෙන්නේ ඔවුන් වන නිසාය. 


කෙතරම් විදේශ මුදල් ප්‍රමාණයක් මැදපෙරදිග සේවය කරන ගෘහ සේවිකාවන් හරහා මෙරටට ලැබුණද කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස මැද පෙරදිග රටවලට යැවීම ගැන ගැඹුරින් සිතා බැලිය යුතු කාලය එළැඹ ඇත. 

අවම වශයෙන් ෂරියා නීතිය ක්‍රියාත්මක කරන රටවල්වලට ශ්‍රමිකයන් යැවීම නතර කළ යුතුය. ඒ අනුව ෂරියා නීතිය ක්‍රියාත්මක කරන මැද පෙරදිග රටවල් අතරින් සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා කටාරය ලංකාවට වැදගත් වන්නේ වැඩි වශයෙන් ශ්‍රමිකයන් යෑම සිදුවන්නේ ඒ රටවලට බැවිනි. 

රජය කළ යුත්තේ පළමු පියවර ලෙස මේ රටවල් තුනට ශ්‍රමිකයන් යැවීම වහාම තහනම් කිරීමය. වයස අවුරුදු අටට අඩු බාල වයස්කාර දරුවන් සිටින මවුවරුන්ට විදේශ රැකියාවලට යෑම නීතියෙන් තහනම් වුවද 'නීතිය' කඩකරන රැකියා ඒජන්සිකරුවන් ඕනෑතරම් ඇත. 

රැකියාවකට මැදපෙරදිග ගිය කැබිතිගොල්ලෑවේ පස්දරු මවකගේ 16 හැවිරිදි වැඩිමහල් පුත්‍රයකු පොලිසියට කළ පැමිණිල්ලකින් එවැනි හොරමගඩියක් අනාවරණය වී තිබේ. අවුරුදු 16, 13, 9, 7 හා 4 වයසැති දරුවන් පස් දෙනකුගේ මවක වන එකී කාන්තාව ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර මැදපෙරදිග රැකියාවකට යවා ඇති බව පැහැදිලිය.

මැද පෙරදිග රටවල වහල් සේවයට කාන්තාවන් යන්නේ දුක් විඳිමින් හෝ මුදල් හරිහම්බකරගෙන පෙරළා පැමිණ වඩා හොඳ ජීවිතයක් ගත කිරීමේ අරමුණිනි. එහෙත් 'මැද පෙරදිග රැකියා' මේ වන විට ඛේදවාචකයක් බවට පත්වී තිබේ. මවුබිමට අසීමිත ලෙස ප්‍රේම කරන බව කියන්නත් මැදපෙරදිග වහල් මෙහෙයට සහෝදර මවුවරුන් යවා 'ඩොලර්' උපයා ගැනීම ගැන ලැජ්ජා විය යුතුය. 


වහ වහා කළ යුත්තේ මැදපෙරදිග රටවල වහල් මෙහෙයට කාන්තාවන් යෑම නතර කිරීමේ මාර්ගයක් ගැන විනා මැදපෙරදින ෂරියා නීතියට එරෙහිව අවි අමෝරා ගැනීම නොවේ. ඒ ඒ රටවල නීතියට ‍ෙදාස් පවරමින් 'මුස්ලිම්' ප්‍රජාව කෙරෙහි වෛරී සිතුවිලි ඇති කරලීමෙන් කිසිදු පලක් නැත. 

ම්ලේච්ඡත්වයට ජාති ආගම් භේදයක් නැත. ඒ බව උතුරේදීත් දකුණේදීත් සියලුදෙනා අත්විඳ ඇත. එනිසා අනෙකාට ‍ෙදාස් පැවැරීම නොව කළ යුත්තේ 'හේතුව' සොයා ඊට පිළියම් යෙදීමය. 

එහෙත් ඒ සඳහා අවශ්‍ය 'විචාර බුද්ධිය' මේ සමාජයට අහිමි වී තිබේ. කෙසේ වුවද ප්‍රශ්නවලට සාමූහිකව පිළිතුරු සොයන තුරු අපේ සහෝදරියන් මවුවරුන් පමණක් නොව සහෝදරවරුන් පියවරුන් මැදපෙරදිග මරු කතරේ ලේ, කඳුළු, දහදිය තව තවත් හෙළනු ඇත.
 
Related Posts with Thumbnails