Ads 468x60px

.

"පොඩි වැරදීමකට" පියයුරු දෙකම අහිමි වූ ගැහැනියගේ කතාව..!

ඇය අගලවත්ත, බෙල්ලන ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. ඇය විවාහ වී සැමියා සමඟ ජීවත් වූයේ පවුල් ජීවිතයේ සතුට සැනසුම විඳිමිනි.

මේ අතර තම දකුණු පියයුරේ කුඩා ගැටිත්තක්‌ මතු වී ඇතැයි පසුගිය දිනක ඇය සැමියා සමඟ කීවාය.

"ඕක බලාගෙන ඉන්න හොඳ දෙයක්‌ නෙවෙයි. පිළිකාවලට එන්නත් පුළුවන්. අපි නාගොඩ රෝහලට යමු" සැමියා කීවේ සිය බිරිඳ සනසවමිනි.

ඒ අනුව පසුගිය 01 වැනිදා ඇය නාගොඩ රෝහලේ වෛද්‍ය සායනයට සහභාගි වූ පසු වෛද්‍ය නිර්දේශය වූයේ ඇයගේ ගැටිත්ත සහිත දකුණු

පියයුර සැත්කමකට ලක්‌කළ යුතු බවයි.

ඇය නාගොඩ රෝහලේ 01 වාට්‌ටුවට ඇතුළත් වූයේ ඒ අනුවය. විශේෂ සැත්කමක්‌ කර අදාළ ගැටිත්ත පිළිබඳ පරීක්‍ෂණ වාර්තාවක්‌ ලබාගත යුතු බවද වෛද්‍යවරු පවසා ඇත.

ඒ අනුව සැත්කම 02 වැනිදා සිදුකිරීමට වෛද්‍ය කාර්ය මණ්‌ඩලය පියවර ගෙන තිබිණි.

සැත්කම කිරීම සඳහා සියල්ල සූදානම් කෙරිණි. ශල්‍යාගාරයට ඇයව ගත් රෝහල් කාර්ය මණ්‌ඩලය අදාළ පරීක්‍ෂණ වාර්තා බලා ඇයව සිහිසුන් කළේ ශල්‍යකර්මය සිදුකිරීමටය. සැමියාද සිටියේ නොඉවසිල්ලෙනි. වෛද්‍යවරයා, අනෙකුත් කාර්ය මණ්‌ඩලයේ ද සහාය ඇතුව සැත්කම සිදුකළහ.

සැත්කම සාර්ථකය. ක්‍රම ක්‍රමයෙන් රෝගී කාන්තාවට පියවි සිහිය ලැබිණි.

ඇයට දෙලොව රත්විය. "මේ මොකක්‌ද වෙලා තියෙන්නේ. මගේ ගැටිත්ත තිබුණේ දකුණු පියයුරේනේ." ඇයට කියවිණි.

රෝහල් කාර්ය මණ්‌ඩලයද කලබල වූයේ ඊට පසුවය.

වෛද්‍යවරයා රෝගී කාන්තාවගේ වෛද්‍ය නිර්දේශ අඩංගු කාඩ්පත අතට ගත්තේ දෙගිඩියාවෙනි.

"සමාවෙන්න. පොඩි වරදක්‌ වෙලා" ඇයට කවුදො කියනු ඇසිණි.

ඇගේ නෙතට කඳුළු ගලා ආවේ නිතැතිනි.

මගේ දකුණු පියයුරේනේ ගැටිත්ත තියෙන්නේ. මේ බලන්න. ඇයි වම් පියයුර කැපුවේ? ඈ විමසුවේ සිතට දැනුන වේදනාවෙනි.

රෝහල් වෛද්‍යවරයාත්, කාර්ය මණ්‌ඩලයත් කීවේ කලබල නොකරන ලෙසය.

ඒ අනුව වම් පියයුරද සැත්කමට භාජන කිරීමට සිදුවිය.

මැය දෙදරු මවකි. වයස අවුරුදු හතළිස්‌ දෙකක්‌ වන ඒ මවට වයස අවුරුදු දහසයක හා විසි එකක දරු දෙදෙනකු ද සිටී. සැමියා ව්‍යාපාරිකයෙකි.

සැත්කම සිදුකළ දින සැමියා දහවල් සිය බිරිඳ බැලීමට රෝහලට ආවේ ඇයට ආහාර පානද, අඩුම කුඩුමද රැගෙනය.

ඇය දුටු සැණින් ඔහුගේ සිතට මහත් අස්‌වැසිල්ලක්‌ දැනිණි.

නමුත් බිරිඳ සිටින්නේ අසතුටිනි. "ඇයි අමාරුද? සැමියා ඇසුවේ ඇයගේ දුක්‌බර මුහුණ දෙස බලමිනි.

"නෑ අනේ. මගේ දකුණු පියයුර වෙනුවට වම් පියයුර සැත්කමට ලක්‌ කරලා. ඊට පස්‌සෙ දකුණු එකත් සැත්කමට ලක්‌ කළා" ඇය කීවේ දුකෙනි.

සැමියාගේ සිත කීරි ගැසී ගියේ සැණෙකෙනි.

"මේ මිනිස්‌සු වැඩ කරන්නෙ මෙහෙමද? සැමියා කලබලව ඇසුවේ රෝහල් කාර්ය මණ්‌ඩලය දෙසද බලමිනි.

"කොහොමද එහෙම වුණේ සැමියා ඒ මොහොතේ වාට්‌ටුවේ සිටි හෙදියකගෙන්ද ඇසුවේ දුකෙනි. කලබලයෙනි.

මේ වැඩේට නම් කට වහගෙන ඉඳලා හරියන් නෑ. අපි පොලිසි යමු. සැමියා බිරිඳට කීවේ තව කෙනකුට මෙවැනි දේවල් සිදුවන්නට ඉඩ නොතැබිය යුතු බවද කියමිනි.

ඒ අනුව අදාළ සැත්කම සිදුකළ වෛද්‍යවරයාගෙන්ද ඒ පිළිබඳ විමසීය.

සැමියා වහාම රෝහල් පොලිසියටත්, පසුව කළුතර දකුණ පොලිසියටත් මේ සිද්ධිය පිළිබඳ පැමිණිලි කළේය.

එම පැමිණිල්ලට අනුව කළුතර දකුණ පොලිසියේ මූලස්‌ථාන පොලිස්‌ ස්‌ථානාධිපති සම්පත් බණ්‌ඩාර මහතා, ළමා හා කාන්තා කාර්යාංශ ස්‌ථානාධිපතිනිs සංජීවනී පතිරණ සහ කොස්‌තාපල් ආනන්ද (28188) සහ කොස්‌තාපල් සංජුලා (4868) යන නිලධාරීන්ට ඒ පිළිබඳ සොයා බලන ලෙසට උපදෙස්‌ දුන්නේය.

සිද්ධිය පිළිබඳව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රන්මල් කොඩිතුවක්‌කු මහතාගේ උපදෙස්‌ මත කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂිකා මල්ලිකා කුමාරි ඇතුළු කණ්‌ඩායමක්‌ද පත්කර ඇත.

නාගොඩ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්‌ඩලයේ වරදකින් හෝ අදාළ සැත්කම සිදුකළ වෛද්‍යවරයාගේ අතපසුවීමකින් මේ රෝගී කාන්තාවට මේ ඉරණම අත්වූයේ නම් එය බරපතළ කාරණයකි.

මීට පෙරාතුව කොළඹ ජාතික රෝහලේ වියපත් කාන්තාවකගේ ද දකුණු අත වෙනුවට නිරෝගී වම් අත කපා දැමූ සිද්ධියක්‌ වාර්තා විය.

නර්ස්‌ නෝනා කෙනකුගේ නොසැලකිල්ලකින් අලුත උපන් කිරිකැටි සිඟිත්තකුගේ සුළඟිල්ල කපා දැමූ සිද්ධියක්‌ද කොළඹ රෝහලකින් වාර්තා විය.

මෙම සිද්ධියෙන් පසුව සැත්කම සිදුකළ වෛද්‍යවරයා සමාව ඉල්ලූ බවද මෙම සිද්ධියට මුහුණ පෑ කාන්තාව හා ඇගේ සැමියා පොලිසියට කට උත්තර දී තිබේ.

එපමණක්‌ ද නොව මෙවැනි අත්වැරදීම් යළි නොවන තැනට වැඩ කටයුතු ද සැකසිය යුතුය.

වෛද්‍යවරයකුට, වෛද්‍ය කාර්ය මණ්‌ඩලයට යම් වරදක්‌, අතපසුවීමක්‌ සිදුවනවා යනු රෝහල්වලට ප්‍රතිකාරවලට යන රෝගී ජනයා, මෝචරිය වෙත යෑවීමක්‌ වීමට ඉඩදිය හැකි නොවේ.


ශිරාන් රණසිංහ
පසුබිම් වාර්තා කළුතර - විජයසිරි විද්‍යාසේකර
 
Related Posts with Thumbnails