Ads 468x60px

.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද දහවල් වන විට රටම පුදුමයට පත්කරන විසඳුමක්‌ ලබා දේවි...?


2016 අයවැයට එරෙහිව රාජ්‍ය පෞද්ගලික සියලුම වෘත්තීන් එක්‌වෙමින් රටේ ඓතිහාසික එක්‌දින වැඩවර්ජනය අද (14 වැනිදා) මධ්‍යම රාත්‍රියේ
සිට ආරම්භ කරන බව රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා ඊයේ (13 වැනිදා) පැවසීය. 

1980 ජූලි වර්ජනයට රාජ්‍ය ආයතන පමණක්‌ එක්‌වුවත් අද මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ කරන වැඩවර්ජනයට රාජ්‍ය, පෞද්ගලික සේවකයන් පමණක්‌ නොව රාජ්‍ය සහ පෞද්ගලික බැංකු පවා එක්‌වෙමින් රටේ ඓතිහාසික වැඩවර්ජනය දියත් කරන බව ද රත්නප්‍රිය මහතා කීය.

අද මධ්‍යම රාත්‍රියෙන් පෞද්ගලික බස්‌රථ සහ දුම්රිය දෙපාර්තමේන්තුව වැඩවර්ජනයට එකතු වන අතර අනිකුත් රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන් හෙට (15 වැනිදා) පෙරවරුවේ සිට වැඩවර්ජනයට එක්‌වන බව ද ඔහු කීය.

2016 වසරේ සිට විශ්‍රාම වැටුප් කප්පාදුව නතර කිරීම, රාජ්‍ය සේවකයන්ට ලබාදෙන රුපියල් දස දහසේ දීමනාව වැටුපට එකතු කර ගැනීම, අග්‍රහාර රක්‍ෂණ ක්‍රමය විශ්‍රාමිකයන් සඳහා ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්‌ මුල්කරගනිමින් මෙම වැඩවර්ජනය කරන බවත් මින් මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට යම් අපහසුතාවක්‌ සිදුවුවහොත් ඊට රජය වගකීම බාරගත යුතු බවත් හෙතෙම කීය.

වැඩවර්ජනය දියත් කිරීමට පෙර දින 18 ක්‌ ඇතුළත රජය නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කිරීම නිසා මෙම වැඩවර්ජනය කර ඉන් විසඳුමක්‌ නොලැබෙන්නේ නම් ඉන් පසු ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව සියලුම වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද රත්නප්‍රිය මහතා කීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී 12 වැනිදා සවස සිය වෘත්තීය ඉල්ලීම් සම්බන්ධව වෘත්තීය සමිති රැසක්‌ පැවැත්වූ විශේෂ සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වූ බැවින් අදාළ වැඩවර්ජනයට යැමට තීරණය කළ බව වෘත්තීය සමිති නායකයෝ පැවසූහ.

මෙවර අයවැය යෝජනාවලියෙන් රාජ්‍ය සේවකයන්ගේ අයිතිවාසිකම් කප්පාදු වී ඇති බවත් ඒ පිළිබඳව ආණ්‌ඩුවෙන් කරන ලද ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාර නොලැබීම නිසා අද මධ්‍යම රාත්‍රි සිට දුම්රිය ධාවනයෙන් ඉවත් වන බව දුම්රිය ශ්‍රේණිගත එකමුතුවේ කැඳවුම්කරු ඩබ්ලිව්. එම්. ජානක ප්‍රනාන්දු මහතා පැවසීය.

මෙම වැඩවර්ජනයට සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල්, බැංකු, රක්‍ෂණ, තාක්‍ෂණ සේවා ඇතුළු වෘත්තීය සමිති පනහකට අධික ප්‍රමාණයක්‌ මේ වන විටත් සහයෝගය පළකර ඇති බව ද හෙතෙම කීය.

පෙරේදා (12 වැනිදා) පැවැති සාකච්ඡාවේදී අගමැතිවරයාගේ ස්‌ථාවරය වූයේ අයවැය විවාදයෙන් පසුව වෘත්තීය සමිති ඉල්ලීම් පිළිබඳව ආණ්‌ඩුවේ අවධානය යොමුකරන බවයි.

එහෙත් තවදුරටත් බලා සිටිය නොහැකි බැවින් අද මධ්‍යම රාත්‍රි සිට වැඩවර්ජනය කිරීමට තීරණය කර ඇත.

මේ අතර පෞද්ගලික බස්‌ කර්මාන්තයට මෙවර අයවැය යෝජනාවලිය අහිතකර ලෙස බලපා ඇති බැවින් පෞද්ගලික බස්‌ සංගම් රැසක්‌ අද මධ්‍යම රාත්‍රි සිට වැඩවර්ජනයක නිරත වන බව සමස්‌ත ලංකා පෞද්ගලික බස්‌රථ හිමියන්ගේ සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසීය.

ලංකා පෞද්ගලික බස්‌ රථ හිමියන්ගේ සභාපති ගැමුණු විඡේරත්න මහතා කියා සිටියේ තම සංගමය ද වර්ජනයට පක්‍ෂපාතීව කටයුතු කරන බවය. එහෙත් අපොස සාමාන්‍ය පෙළ සිසුන්ගේ ප්‍රවාහන සේවා පිළිබඳ තම සංගමය දැඩි අවධානය දක්‌වන බව ද ඔහු කියා සිටියේය. 


කෙසේ වුවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද දහවල් වන විට රටම පුදුමයට පත්කරන විසඳුමක්‌ ලබාදෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ද ඒ මහතා පැවසීය.
 
Related Posts with Thumbnails