මඩේ ලැග පුරුදු තාරාවන් නාවා පිරිසුදු කර පලක් නැත.


දූෂිත රාජ්‍ය ආයතන අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට හිමිවන්නේ මුල් තැනකි. එහි මුල් පුටුව හොබවන්නන්ටද බොහෝ විට හිමිවන්නේ නරක නාමයකි. වර්තමානයේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ධුරය දරන්නාටද බරපතළ දූෂණ චෝදනා එල්ල වී ඇතැයි ඊයේ අනාවරණය කර තිබිණි.

දෙපාර්තමේන්තුවේ සෑම අංශයකින්ම සතිපතා මුදල් එකතු කරමින් ජනරාල්වරයා මසකට ලක්ෂ 50ක් පමණ පෞද්ගලිකව උපයාගන්නා බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ලැබී ඇත. 


ඒ අනුව පොදු දේපොළ පනත ප්‍රකාරව හා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව යම් වරදක් කර ඇද්ද යන්න පිළිබඳව
විමර්ශනය කර අධිකරණයට වාර්තා කරන බව පොලිසිය ඉකුත් 9 වැනිදා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයාට දැනුම් දී ඇත.

වර්තමාන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා රාජකාරි භාරගැනීමෙන් පසුව දෙපාර්තමේන්තුවේ වංචා-දූෂණ හා අක්‍රමිකතා ඉහළ ගොස් ඇතැයි චෝදනා නැඟේ. 


වෙබ් අඩවියක පළ කර තිබූ වාර්තාවකට අනුව අදාල පරීක්ෂණය පවත්වන ලෙස 2015 දෙසැම්බර් 14 වැනිදා පොලිස්පතිවරයා එෆ්.සී. අයි.ඩී.යට මේ පිළිබඳව දැනුම්දී කර ඇත. මේ කියන ආකාරයට ජනරාල් වරයා සාක්කුවේ දමාගෙන තිබෙන්නේ රජයට අයවිය යුතු මුදල්ය.

1977 සිට ධර්මිෂ්ඨ සමාජය, ජනසම්මතවාදය, නිදහස් යුගය, රට පෙරට, සුබ අනාගතයක්, ආසියාවේ ආශ්චර්යය, යහපාලනය ආදී විවිධ බෝඩ් ලෑලි ගසාගෙන රට පාලනය කළද දශක ගණනක සිට මෙරට සිදුව ඇත්තේ දූෂණය, වංචාව, අක්‍රමිකතාව අනාරක්ෂිතතාව හා නාස්තිය දෝරේ ගලා යෑමය. 


යහපාලනයක් ඇති කරන බවට පරසක්වළ ගසමින් බලය ඉල්ලාගත් ජනාධිපතිවරයකු හා අගමැතිවරයකු යටතේ රාජ්‍ය ආයතන ප්‍රධානියකු පොදු දේපොළ බියක් සැකක් නැතිව සාක්කුවේ දමා ගැනීම සුළුකොට තැකිය නොහැකිය.

මඩේ ලැග පුරුදු තාරාවන් නාවා පිරිසුදු කර පලක් නැත. හේතුව උන් හැමදාම මඩේ ලැගීමට කැමැති හෙයිනි. යහපාලනය ගැන විචිත්‍ර කතා කළ පමණින් යහපාලනය ඇති කළ නොහැකිය. 


දේශපාලනඥයන් හා නිලධාරීන් සැලකිය යුතු පිරිසක් දශක කිහිපයක් තිස්සේ පුරුදුව සිටින්නේ මඩේ ලැගීමටය. පල් වල ඉහගෙන කෑමටය. දූෂණ, වංචා කරන දේශපාලනඥයන් මෙන්ම නිලධාරීහුද සිටිති. පාසල් පෙළ පොතේ සිට මේ නිලධාරීන් වංචා කරන බව විගණන වාර්තාවලින් හෙළි වූයේ අද ඊයේක නොවේ. 

එහෙත් අදාළ නිලධාරීන්ට දඬුවම් දුන්නා නම් ඒ කළේද ඕනෑවට එපාවටය. නොකර බැරිකමටය. දූෂණ, වංචා ගැන දේශපාලනඥයන්ට එක් ඇඟිල්ලක් දිගු කරන විට තවත් ඇඟිල්ලක් නිලධාරීන්ට දිගු කළ යුතු තරමට තත්ත්වය බරපතළ වී ඇත.

දේශපාලනඥයා ජනතා නියෝජිතයෙකි. ඡන්දය ලබාදී ඒ ඒ ආයතනවලට ජනතාව ඔවුන් තෝරා යවන්නේ තමන් වෙනුවෙන් පෙනී සිටීමටය. රාජ්‍ය නිලධාරියා යනු මහජන දේපොළවල භාරකරුවාය.

ඊනියා මහජන නියෝජිතයන් මහජන දේපොළ අවභාවිත කරනවා නම් ඊට සපුරා එරෙහිවීමේ වගකීම නිලධාරීන්ට ඇත. ඒ වගකීම උදෙසා වැටුප් හා වරප්‍රසාද රැසක් ලබාදී තිබෙන්නේ මහජන මුදලිනි. 


එහෙත් සිදුව තිබෙන්නේ මේ දෙපාර්ශ්වය වෙන වෙනමත් හවුලේත් මහජන දේපොළ කොල්ලකෑමය. ඉකුත් ජනාධිපතිවරණයේ 'සිල්රෙදි' සිද්ධිය ඒ බව රටටම පැහැදිලි වූ කදිම අවස්ථාවකි.

දූෂිත රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මුල් පුටුව හොබවන්නේද දූෂිතයකු නම් තවත් කුමන කතාද? චීනයේ මෙන් දූෂිත නිලධාරීන් නඩු අසා මරා දැමිය යුතු නැත. එහෙත් මේ නිලධාරීන්ට උපරිම දඬුවම් දිය යුතුය. 


දේශපාලනඥයන්ගේ දූෂණ, වංචාවලට අපරාධවලට උල්පන්දම් දෙන ඔවුනට ආරක්ෂාව සලසන නිලධාරීන්ට කිසිදු සමාවක් නොදිය යුතුය. දූෂිතයන්, වංචාකාරයන් හා අපරාධකාරයන් හුරතල් නොකර නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්නේ නම් වසරක් දෙකක් ඇතුළත දූෂණය, වංචාව සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීමට හැකිවනු නිසැකය.