Ads 468x60px

.

සාලාව තවමත් පුපුරා යමින් තිබේ....!


කොස්‌ගම සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාව පිපිරුණේ ජුනි 05 වැනි ඉරිදා ය. මේ වන විට එම සිදුවීමට දෙමසකට වැඩි කාලයක්‌ ගත වී තිබේ. 

කොස්‌ගම සාලාවේ සිදුවීමෙන් එතරම් කාලයක්‌ ගතවීත් ආපදාවට ලක්‌වූ ප්‍රදේශවාසීන්ට සාමාන්‍ය ජීවිතයට එළැඹීමට අවශ්‍ය වටපිටාව සකස්‌ වී
නැති බව අපි කිහිපවරක්‌ ම පෙන්වාදී ඇත්තෙමු. 

අප කිහිපවතාවක්‌ ම කීවේ කැඩී බිඳී ගිය ගොඩනැඟිලි හා සුන්බුන් අතරට වී ඒ ජනතාව කල් ගෙවීම ද තරමක්‌ අවදානම් බව ය. එය සනාථ කරන අන්දමේ සිදුවීමක්‌ ඊයේ පුවත්පත්වල වාර්තා කර තිබිණි.

අදාළ ප්‍රවෘත්තියට අනුව කොස්‌ගම සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විනාශයට පත් වූ යුද හමුදා කඳවුර ඉදිරිපිට සිය වෙළෙඳසලේ සුන්බුන් ඉවත් කරමින් සිටි පුද්ගලයකුගේ හිස මතට පුපුරා ගොස්‌ තිබූ බිත්තියක්‌ ඇද වැටීමෙන් ඔහු එතැනදීම ජීවිතක්‍ෂයට පත්ව තිබේ. මියගිය පුද්ගලයා සුන්බුන් ඉවත් කිරීමේ කාර්යයේ නිරතව හිඳ ඇත්තේ තවත් පුද්ගලයන් කිහිපදෙනකු සමගය.

අපේ විශ්වාසය මේ මරණය සුළුවෙන් තැකිය හැකි කරුණක්‌ නොවන බව ය. ඒ පුද්ගලයා හදිසියේම මෙලොවින් සමුගත්තේ අලුත හදන ගෙදර තාප්ප බිත්ති කඩා වැටීමෙන් නොවේ. නොසැලකිලිමත්කම නිසා ද නොවේ. 


මාස දෙකක කාලයක්‌ ගතවීත් සුන්බුන් ගොඩක්‌ ඉවත් කර දීමට වගකිවයුත්තන්ට නො හැකි වීම නිසා තමාම ඒ වැඩේ කරන්නට යැම නිසා ය. මේ සිදුවීමෙන් පසු සිද්ධිය ගැන අදහස්‌ දැක්‌වූ බොහෝ පිරිසක්‌ කීවේ මෙවැනි අවදානම් සහිත විනාශ වූ ගොඩනැඟිලි රැසක්‌ සාලාව අවට ප්‍රදේශයේ තිබෙන බව ය. 

මේ සුන්බුන් ඉවත් කිරීම ප්‍රදේශයේ ජනතාවට තනිවම කළ හැක්‌කක්‌ නොවේ. ආණ්‌ඩුව ඒ දේ නො කරන නිසා ම තමන්ම ඒ ටික කරගත යුතු යෑයි මියගිය පුද්ගලයා ද කල්පනා කළා විය යුතු ය. ප්‍රදේශයේ තවත් අයට ද එසේ සිතී තිබුණු බවට සැක නැත. ප්‍රදේශවාසීන් මේ සුන්බුන් ඉවත් කරන්නේ තමන්ගේ නිවාසවලට නැවත පැමිණෙන්නට ය. 

තමාගේ ව්‍යාපාරික කටයුතු නැවත ආරම්භ කරන්නට තමන්ගේ ගොඩනැඟිලි තනා ගන්නට ය. මේ ගැන ආණ්‌ඩුව මීටත් වඩා අවධානය යොමු කළ යුතු ය. හිරෝෂිමා නාගසාකී නගර පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් පසු එකම සුන්බුන් ගොඩක්‌ බවට පත් විය. 

එහෙත් ඉතාම කෙටි කලකින් තිබුණාටත් වඩා හොඳින් ඒ නගර ගොඩනැඟුණේ ජනතාව සමඟ අත්වැල් බැඳගත් නායකත්වය නිසා ය. එවැනි හරි මඟ පෙන්වීමක්‌ තිබුණා නම් සාලාව ප්‍රදේශයේ මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වාර්තා වන්නේ නැත.

සාලාව තවමත් පුපුරා යමින් තිබේ යෑයි අපට කියන්නට සිදුව තිබෙන්නේ ඒ නිසාය. සාලාව ප්‍රදේශවාසී ජනතාවට තවමත් හරි හැටි තමන්ගේ සාමාන්‍ය ජීවිතයට එළැඹීමේ අවස්‌ථාවක්‌ ලැබී නැති බව කිව යුතු ය. තවමත් බොහෝ පිරිසක්‌ සිය කටයුතු හරිහැටි ආරම්භ කිරීමේ මාර්ගයක්‌ සොයමින් සිටිති. 


සාලාව පුපුරා ගියේ ප්‍රදේශයේ ජීවත්වන කවුරුන් හෝ ආයුධ ගබඩාව පුපුරා හැරිය නිසා නොවේ. වගකිවයුතු අයගේම අත්වැරැද්දකිනි. අතපසු වීමකිනි. එහෙත් ප්‍රදේශවාසීන්ට දැන් සිදුව තිබෙන්නේ වැරැද්ද තමන් කළාක්‌ මෙන්, නොවිඳිනා දුක්‌ විඳීමටය. 

එහෙයින්ම අප විශ්වාස කරන්නේ සාලාව ජනතාවට යළි ගොඩනැඟෙන්නට අවස්‌ථාව සලසා දීම බලධාරීන්ගේ වගකීම බවය.
 
Related Posts with Thumbnails