Ads 468x60px

.

මීරිගම ගම්මාන 14 ක ජනතාව උද්ඝෝෂණයේ..


කොළඹ - මහනුවර අධිවේගයට
අත්පත් කර ගන්නා දේපළවලට සාධාරණ වන්දි දෙන්න.


කොළඹ - මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා අත්පත් කර ගන්නා නිවාස, ඉඩම් හා කුඹුරු සඳහා තුට්‌ටු දෙකේ වන්දි ගෙවීම නවතා සාධාරණ වන්දියක්‌ ලබාදෙන ලෙස බල කරමින් අධිවේගී මාර්ගය නිසා
දේපළ අහිමිවන මීරිගම ප්‍රදේශයේ ගම්මාන 14 ක ජනතාව ඊයේ (31 දා) මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක යෙදීම නිසා පස්‌යාල ගිරිඋල්ල පාරේ වාහන ගමනාගමනයට පෙරවරු 11.00 සිට පස්‌වරු 12.15 දක්‌වා බාධා පැමිණියේය.

උද්ඝෝෂණයේ යෙදුණු පිරිස මීරිගම මහජන ක්‍රීඩාංගණය අසල සිට සටන් පාඨ කියමින් ලේකම් කාර්යාලය අසලට විරෝධතා පුවරු ඇතිව පැමිණි අතර ඔවුන් ප්‍රධාන මාර්ගය අවහිර වනසේ රැඳී සිටිමින් උද්ඝෝෂණයේ යෙදුණු අතර පොලිසිය වාහන ගමනාගමනයට බාධා වීම වැළැක්‌වීම පිණිස විකල්ප මාර්ග ඔස්‌සේ ගමන් කරවීමට පියවර ගනු ලැබීය.

මෙම පිරිස මේ පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරයා සමඟ සාකච්ඡා කළ යුතු බව කී අතර ඔවුනගේ ඉල්ලීම අනුව ප්‍රාදේශීය ලේකම් ඉන්දික ද සිල්වා මහතා එම ස්‌ථානයට පැමිණි අතර ජනතාව විසඳුමක්‌ ඉල්ලා සිටියහ. 


මාර්ග සංවර්ධන අධිකාරිය, තක්‌සේරු දෙපාර්තමේන්තුව මධ්‍යම පරිසර අධිකාරිය හා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ගේ හමුවක්‌ තම ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා ලබාදෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිනු ලැබීය.

ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරයා අදාළ නිලධාරීන් දැනුවත් කර අවස්‌ථාවක්‌ ලබාදීමට කටයුතු කරන බව දැන්වූ අතර එම සාකච්ඡාව දින 14 ක්‌ ඇතුළත ලැබිය යුතු බව කී උද්ඝෝෂකයෝ එසේ නොවන්නේ නම් මෙම මස 14 වැනිදා යළි විරෝධතාවයක යෙදෙන බව ප්‍රකාශ කර විසිරී ගිය අතර මේ සඳහා එක්‌ව සිටි බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා ඇතුළු නියෝජිත පිරිසක්‌ කාර්යාලයේදී ප්‍රාදේශීය ලේකම්වරයා හමුවී ඒ බව දන්වනු ලැබීය.

මීරිගම පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක පාලිත අමරතුංග මහතා ඇතුළු නිලධාරීහු ආරක්‍ෂක කටයුතුවල යෙදී සිටියහ.
 
Related Posts with Thumbnails