Ads 468x60px

.

ජෝන් පාර්ලිමේන්තුවට යවා ජෝන්ට ම හූ කියන වත්තල ජනතාව...


සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට හූ කීවා යෑයි කියන නසරාණියන් පිරිසක්‌ අත්අඩංගුවට ගන්නට "වත්තල පොලිසිය" සමත් වී තිබේ යෑයි කියන ප්‍රවෘත්තියක්‌ ඊයේ පෙරේදා පුවත්පත්වල පළ වී තිබිණි. 

එක්‌කෝ මෙය වැරදීමකි. එහෙමත් නැතිනම් පසුගිය ආණ්‌ඩුවෙන් ණයට ගත් "ආශ්චර්යකි". මේ "වත්තල පොලිසියටම" පසුගිය කාලයේ වත්තල, මාබෝල මංතීරුව ගලවා දමා (ඩෝසර් කර) රජයේ දේපළවලට අලාභ
හානි කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම බරපතල ප්‍රශ්නයක්‌ වී තිබිණි. 

"හූ කියූ" අය අත්අඩංගුවට ගැනීම ගැන අපට බරපතල සැක මතු වන්නේ එබැවිනි. හූ කියන ලද සැකකරුවන් කලහකාරී ලෙස හැසිරෙමින් ඇමැතිවරයාට ජීවිත අවදානමක්‌ ඇතිවන අයුරින් හැසිරී ඇතැයි පොලිසිය කියති. එහෙම නම් ඒ මදාවියන් අත්අඩංගුවට ගත යුතුම ය. 

අප විශ්වාස කරන්නේ මේ "අවදානම්" මොහොතේ ඇමැතිවරයා සමඟ බොඩිගාඩ්ලා කිසිවෙක්‌ හිඳින්නට නැත. එසේ සිටියා නම් හූ කියාපු මදාවියන්ට නැවත හූ කියන්නට කටක්‌ ඉතිරි නො වන බව සහතික ය.

ඒ ගැන ද අපට වගක්‌ නැත්තේ "ඉතිරි හරිය" පොලිසිය වුව බලාගන්නට ඇති ඉඩකඩ වැඩි නිසා ය. හූ කියන ලද මදාවියන්ට අපි වැදගත් කාරණයක්‌ද මතක්‌ කර සිටිමු. ඒ, එම අවදානම් මොහොතේ ගරු ඇමැතිවරයා "තිරිහන්" වී සිටියේ නම් මොකකින් මොකක්‌ වේ දැයි කිසිවෙකුටත් කියන්නට බැරි බව ය.

කෙසේ හෝ මේ සිදු වීම ගැන ස්‌වාධීන පරීක්‍ෂණයක්‌ පැවැත්වීම සඳහා බස්‌නාහිර උතුර ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ උපදෙස්‌ මත විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ ද යොදවා ඇත. 


මංතීරු කැඩීමේ කතාව බොහෝ සෙයින් පරණ නිසා ඒ ගැන කතා කර වැඩක්‌ නැතිමුත්, මේ "ඉක්‌මන්" ස්‌වාධීන පරීක්‍ෂණ, අත්අඩංගුවට ගැනීම් එකල සිදු වූයේ නැත්තේ ඇයි දැයි රටේ ජනතාවට ප්‍රශ්නයකි.

දැන් මේ කතාවේ අගමුල පාඨකයාට කෙටියෙන් පැහැදිලි කරදිය යුතු ය. ක්‍රීඩා පිටියක්‌ සඳහා වෙන්කර ඇති ඉඩමක පාසලක්‌ ඉදිකිරීමට මුල්ගල තැබීමට පැමිණියේ ජෝන් අමරතුංග ඇමැතිවරයා ය. මේ ක්‍රියාවට මහා සංඝරත්නය ප්‍රමුඛ වත්තල ජනතාව විරෝධය පළකර සිටියාහ. 


ජෝන් අමරතුංග යනු මෙවැනි දෙක පනහේ විරෝධතා තුට්‌ටුවකට සලකන්නේ නැති "මහා පෞරුෂයක්‌" ඇති කෙනෙක්‌ බව ඒ කිසිවෙකුත් තේරුම් ගත්තේ නැත. ජෝන් ඇමැතිවරයා එකහෙළාම කීවේ "කවුරු විරුද්ධ වුණත් පාසලක්‌ හදන" බව ය. පාසලක්‌ හදන එක හොඳය. 

එක්‌ පාසලක්‌ ඇරෙන විට හිරගෙවල් දහසක්‌ වැසෙන බවට කතාවක්‌ තිබේ. හිරගෙවල් වසා දමා හෝ මදාවියන්, පාතාලයන් එළියට ගැනීමට දක්‍ෂ දේශපාලනඥයන් සිටින රටක මේ පාසල හදන්නට හැදුණු කඩිකුලප්පුව කවරක්‌ද යන්න ප්‍රශ්නයකි.

"තග" දැමීමත් කටට එන ඕනෑම දෙයක්‌ කියන්නට පුරුදුව සිටීමත් මේ රටේ දේශපාලනඥයන්ට උරුම ලක්‍ෂණයකි. දීර්ඝ කාලයක්‌ දේශපාලනයේ යෙදී සිටින තවමත් "තරුණ" ගති පෙන්වන ජෝන් අමරතුංග ඇමැතිවරයා සම්බන්ධයෙන් ද එය ප්‍රායෝගික ඇත්තකි. 


වත්තල මංතීරුව කැඩීම ගැන අද එකකුත් හෙට තව එකකුත් ප්‍රවෘත්ති සාකච්ඡාවලට වෙනම ම කතාවකුත් දින කිහිපයකට පසුව ඒ සියලු කතාවලට සම්බන්ධ නො වන වෙනම ම කතාවකුත් "චණ්‌ඩි පාට්‌" එකෙන්ම කියන්නට පුරුදුව සිටින ජෝන් ඇමැතිවරයා ක්‍රීඩා පිට්‌ටනියේ හදන පාසල ගැන හෙට අනිද්දා වන විට මොන කතා කීවත් පුදුම විය යුතු නැත. 

ඒ මේ රටේ අලුත් ආණ්‌ඩුවේ සමහර ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ගේ උපන් ගතිය. අප පුදුම විය යුත්තේ ජෝන් පාර්ලිමේන්තුවට යවා ජෝන්ට ම හූ කියන වත්තල ජනතාව ගැන ය.
 
Related Posts with Thumbnails