Ads 468x60px

.

විවිධ බළකායන් හිස ඔසවද්දී කුමක්‌ කළ යුතුද...?


කුමන විවේචන අපවාද එල්ල වුවත් ජාතික ආරක්‍ෂාව පිළිබඳ තමා අනුගමනය කරන ප්‍රතිපත්තිය කිසිවිටකත් වෙනස්‌ නොකරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා රණවිරුවන්ට වීර පදක්‌කම් ප්‍රදානය කිරීමේ උත්සවයේදී අවධාරණය කර තිබිණි. 

රටේ විධායක ජනපතිවරයා ලෙස ඔහු ජාතික ආරක්‍ෂාව ගැන වඩාත් උනන්දු විය යුතු බවට කිසිදු සැකයක්‌ නැත. ජාතික ආරක්‍ෂාව පිළිබඳ සියලු වගකීම් පැවරෙන්නේද ඔහු මතය.

ජාතික ආරක්‍ෂාව ගැන මේ දිනවල නිරන්තරව කතාබහට ලක්‌වේ. විශේෂයෙන්ම උතුරේ ඇතිවූ සමහර සිද්ධීන් නිසා දකුණේ ජනතාවට ද යම් යම් සැක සංකා මතුව තිබේ. යහපාලන ආණ්‌ඩුවේ ප්‍රමුඛ අභිලාෂය

වන සංහිඳියාවට ද උතුරේ ඇතිවූ සිද්ධීන් නිසා බරපතළ ප්‍රතිවිරෝධයක්‌ මතුවන බව නොකියාම බැරිය. 

සංහිඳියාව පවත්වාගෙන යා හැකි වන්නේ උතුරේ සාමය පවතින විටය. සියලු ජාතීන්ට එක්‌ව වාසය කළ හැකි වටපිටාවක්‌ නිර්මාණය වූ විටදීය. හර්තාල් පවත්වද්දී සංහිඳියාව සුරැකෙන්නේ නැත. සංහිඳියාවට ප්‍රමුඛ බාධක එල්ල වන්නේ දකුණෙන් නොව උතුරෙන් බව ප්‍රකට කරුණකි.

ප්‍රභාකරන් බළකාය නම් සංවිධානයක්‌ උතුරේ සියලු දෙමළ පොලිස්‌ නිලධාරීන්ට සිය ධුරවලින් ඉවත් වන ලෙසට යෑවූ තර්ජනාත්මක ලිපියක්‌ පිළිබඳව ඊයේ මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක්‌ ලබාදී තිබිණි. ප්‍රභාකරන් බළකාය මේ අරඅඳින්නේ කුමකටද? තර්ජනාත්මක ලිපියක්‌ ලැබුණු පමණින් ඕනෑවට වඩා කලබලවීම සුදුසු නැත. 


නමුත් මේ ගැන විමසිලිමත් වීම වඩා නුවණට හුරුය. මීට පෙර "ආවා" කල්ලිය විසින් චුන්නාකම්හි පොලිස්‌ නිලධාරීන්ට කඩු පහර එල්ල කිරීම ගැන යාපනය පුරා පත්‍රිකා බෙදාහැර තිබිණි. දැන් තවත් කල්ලියක්‌ කලඑළි බැස ඇත. මොවුන් සිය තර්ජනාත්මක ලිපියෙන් ප්‍රකාශ කර ඇත්තේ දින 21 ක්‌ ඇතුළත දෙමළ පොලිස්‌ නිලධාරීන් සේවයෙන් ඉවත්වීම හෝ වෙනත් ප්‍රදේශවලට මාරුවී යැම සිදු කළ යුතු බවයි. 

මේ බළකාය කොටි අවතාරයක්‌ද? නැත්නම් උතුර අස්‌ථාවර කිරීමට උත්සාහ කරන වෙනත් බලවේගයක්‌ද? ජාතික ආරක්‍ෂාව ගැන වඩාත් උනන්දු වන ජනපතිවරයා මේ ගැන අවධානය යොමු කළ යුතුය.

උතුරේ අනාරක්‍ෂිතභාවය මැඬපැවැත්වීම සඳහා තමන්ට ද මැදිහත්වීමට ඉඩ ලබාදෙන ලෙස යුද හමුදාව මගින් නිල නොවන මට්‌ටමින් රජයෙන් ඉල්ලීමක්‌ කර තිබිණි. හදිසි නීතිය ක්‍රියාත්මක නොවීම නිසා හමුදාවට සිවිල් කටයුතුවලට මැදිහත්වීමට බාධාවක්‌ වී ඇත. 


කෙසේ නමුත් උතුර අනාරක්‍ෂිත වෙද්දී හමුදාව කඳවුරු තුළට ගාල්කර තැබීම සුදුසු ක්‍රියාවක්‌ නම් නොවේ. හමුදාව සක්‍රීය සේවයට කැඳවිය හැක්‌කේ ජනපතිවරයාටය. උතුරේ පොලිස්‌ නිලධාරීන්ටත් තර්ජනාත්මක ලිපි ලැබෙද්දී විවිධ බළකායන් හිස ඔසවද්දී කුමක්‌ කළ යුතුද? සිදු කළ යුත්තේ යුද හමුදාවට ද මේ අනාරක්‍ෂිතභාවය මැඬලීම සඳහා අණකිරීම නොවේද?
 
Related Posts with Thumbnails