Ads 468x60px

.

කරුණාගේ නව පක්‍ෂය....


පසුගිය 10 වැනිදා මඩකලපු නගරයේදී උතුරු පළාත් ප්‍රධාන ඇමැති සී. වී. විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් 'එළුග තමිල්' හෙවත් 'දෙමළ ජනතාවනි නැගිටිව්' මැයෙන් මහජන රැලියක්‌ පැවැත්විණි. මෙහිදී උතුරු මහ ඇමැතිවරයා විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතාට චෝදනා
කරමින් දෙමළ ජනතාව නොමඟ යවා ඇති බව ප්‍රකාශ කර තිබිණි. එහෙත් සැබවින් ම දෙමළ ජනතාව නොමඟ යවන්නේ කවරකු විසින්ද? දෙමළුනි නැගිටිව් කියමින් ජාතිවාදය පතුරවමින් මියගිය කොටින්ට ප්‍රාණ වායුව පිඹින්නේ මේ මහ ඇමැතිවරයාම නොවේද?

මඩකලපුවේදී එළුග තමිල් මහජන රැලිය පැවැත්වූ දිනට පසුදින හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරුණා අම්මාන් හෙවත්aa විනයාගමූර්ති මුරලිදරන්ගේ ප්‍රධානත්වයෙන් නව දේශපාලන පක්‍ෂයක්‌ පිහිටුවා ගෙන ඇත. දෙමළ එක්‌සත් නිදහස්‌ පෙරමුණ නමින් මෙම නව පක්‍ෂය ක්‍රියාත්මක වනු ඇත. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නියෝජ්‍ය සභාපති ලෙස 2009 අප්‍රේල් 24 වැනිදා පත් වූ හෙතෙම දැන් වෙනම පක්‍ෂයක්‌ පිහිටුවාගෙන ඇත්තේ කවර හේතුව නිසාද? වෙනදා මෙන් ශ්‍රීලනිපයෙන් තමා සැලකිල්ලට භාජන නොවන නිසාද? පුරා වසර 20 ක්‌ කොටි සංවිධානය සමඟ එක්‌ව සිටි කරුණා අම්මාන් 2004 මාර්තුවේදී එම සංවිධානයෙන් වෙන් වී තමිල් මක්‌කල් විදුතලයි පුලිකල් සංවිධානය පිහිටුවිය. ප්‍රභාකරන්ගේ මරණ තර්ජනවලින් ගැලවී දේශපාලනයට පිවිසි හෙතෙම 2008 දී ජාතික ඒකාබද්ධතා ඇමැතිවරයා ලෙස ද පත්විය.

ශ්‍රීලනිපයේ උප සභාපති පදවියට පත්ව වසර අටකට පසුව දෙමළ එක්‌සත් නිදහස්‌ පෙරමුණ පිහිටුවා කරුණා අම්මාන් මෙරට ජනතාවට ලබා දෙන පණිවුඩය කුමක්‌ද? කරුණා ප්‍රභාකරන්ගෙන් වෙන් වූවේද නැගෙනහිර පළාතේ තරුණයන්ට කොටි සංවිධානයෙන් නිසි සැලකිල්ල ගෞරවය නොලැබෙන බව පවසමිනි. මෙයට දෙමළ සමාජයේ කුල භේදය ද, ප්‍රාදේශීය භේදය ද තදින්ම බලපා තිබිණි. කොළඹ සිට නොව මඩකලපුවට ගොස්‌ යළි දේශපාලනය ඇරඹීමට කරුණා තීරණය කර ඇත්තේ නැගෙනහිර පළාතේ ජනතාව වෙනුවෙන් හඬක්‌ නැඟිය යුතු නිසා විය යුතුය. උතුරු මහ ඇමැති මඩකලපුවට පැමිණ ජාතිවාදය පැතිරීමට උත්සාහ කරන අතර වාරයේ කරුණා ද නව දේශපාලන පක්‍ෂයක්‌ පිහිටුවීම වැදගත් පියවරකි. කොටි හිතවාදීන් සමඟ එක්‌ව 'එළුග තමිල්' ව්‍යාපාර කිරීමට කරුණා කැමැති වන්නේ නැත. මීට පෙර බොහෝ අවස්‌ථාවලදී කරුණා අම්මාන් උතුර නැගෙනහිරට ෆෙඩරල් විසඳුම් අවශ්‍ය නොවන බවත් ප්‍රකාශ කර තිබේ. එවන් තත්ත්වයක්‌ තුළ විග්නේෂ්වරන්ගේ ජාතිවාදී වියරුවට එරෙහිව කරුණාගේ නව දේශපාලන පක්‍ෂය පිළිතුරු දෙන්නේ කවර අන්දමින් ද යන්න ගැන අපි බලා සිටිමු.

යහපාලනය බලයට පත්වීමත් සමඟ කොටි සංවිධානයෙන් බෙදී වෙන් වී දකුණේ ආණ්‌ඩුවට සහාය දුන් බලවේග කොන් කෙරිණි. හිටපු නැගෙනහිර මහ ඇමැති පිල්ලෙයාන් ද දැන් වසරකට ආසන්න කාලයක්‌ තිස්‌සේ බන්ධනාගාරගත කර ඇත. කරුණා අම්මාන් ද වාහන අවභාවිතාවක්‌ සම්බන්ධව බන්ධනාගාරගත කෙරිණි. මෙවන් කොන් කිරීම් හමුවේ තම දේශපාලන බලය යළි ගොඩනංවා ගැනීම වෙනුවෙන් විනයාගමූර්ති මුරලිදරන් මහතා නව පක්‍ෂය පිහිටුවීමට කටයුතු කිරීම අරුමයක්‌ නම් නොවේ.
 
Related Posts with Thumbnails