Ads 468x60px

.

මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතා ඝාතනය කිරීමට නියෝග දුන්නන් තවමත් නිරුපද්‍රිතව

මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර 1978–1988 අතර කාලයේ කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති ලෙස කටයුතු කල විශිෂ්ඨ බුද්ධිමතෙකි. එතුමා ඝාතනය කිරීම සඳහා නියෝග දුන් කිහිප දෙනෙකු අද ශාස්ත්‍රඥයන් ලෙස බැටළු සම් පොරවාගෙන සමාජය ඉදිරියේ පෙනී සිටින බව මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ ඥාතීන් පෙන්වා දෙති.

1988 - 1989 භීෂණ සමයේ ජවිපෙ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය සමග එක්ව ක්‍රියා කල මොවුන් ඝාතන කටයුතු වලදී ඝාතකයන්ගේ උපදේශකයන් ලෙස ක්‍රියා කොට තිබෙන බවට දැන් හෙළිවෙමින් පවතී.  මොවුන් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ බුද්ධි මණ්ඩලය ලෙස ක්‍රියා කොට ඇති අතර ස්ටැන්ලි විජේසුන්දර වැනි විශ්ව විද්‍යාල මහාචාර්යවරු ඝාතනය කිරීම සඳහා උපදෙස් දී ඇත.

මේ ඝාතක උපදේශක පිරිස අතර වෛද්‍යවරු සහ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් කිහිප දෙනෙකු සිටිති. මින් එක් පුද්ගලයෙන් සුප්‍රකට වෛද්‍යවරයෙකු වන අතර ඔහුව භීෂණ සමයේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතත් තමාගේ පාසල් මිත්‍රයෙකු වූ හමුදා  නිලධාරියෙකුගේ ආධාරයෙන් අත්අඩංගුවෙන් මිදී දේශපාලන රැකවරණ පතා එංගලන්තයට පලා ගොස් තිබේ. 


භීෂණ සමය අවසන් වීමෙන් පසු මොහු ලංකාවට පැමිණ සෞඛ්‍ය අමාත්‍යංශයේ මානසික සෞඛ්‍ය වියාපෘති සඳහා උපදේශකයෙකු ලෙසටද කටයුතු කොට ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආරංචි මාර්ග පවසයි. එසේම ආණ්ඩුව ජවිපෙ සමග පරිවාසය පැවති සමයේ මොවුන් දේශපාලන බලය උපයෝගී කොට ගෙන විශ්ව විද්‍යාල වල අධ්‍යන මණ්ඩල වලටද ඇතුළු වී තිබේ.

බුද්ධිතුන් ලෙස බැටළු සම් පොරවාගෙන සමාජය ඉදිරියේ පෙනී සිටින මේ කුරිරු පුද්ගලයන්  විසින් 1988 - 1989 වකවානුවේ ජවිපෙ කැන්ගරු උසාවි වල බිම් මට්ටමේ සාමාජිකයන්ට ඝාතන නියෝග දීම නිසා සැබෑ බුද්ධිමතුන් විශාල ප්‍රමාණයක් රටට අහිමි විය. එසේම ජවිපෙ දෙකඩ වීමත් සමගම මොවුන් විමල් වීරවංස අමාත්‍යවරයාට සහය ලබා දී ඇති අතර එමගින්  විශාල වරප්‍රසාද ගෙන තිබේ.  


ඝාතකයන්ගේ උපදේශකයන් ලෙස ක්‍රියා කල මේ පුද්ගලයන් වර්තමානයේ වගකිවයුතු තනතුරු දරමින් සිටින අතර මොවුන්ට විරුද්ධව චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි තිබුනද මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දරගේ ඥාතීන්ට යුක්තිය ඉටු වන බවක් පෙනෙන්නට නැත.

ඝාතනය කරන ලද කොළඹ සරසවියේ උප කුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ පුතකු වන පුතා වන ගම්පහ පළාත් සභා මන්ත්‍රී ශාලිත විජේසුන්දර මහතා පැවසුවේ තම පියා මරා දැමුවේ උගත් පරපුරක් හැදීමේ මෙහෙයක යෙදී සිටියදී බවය. තම පියා ගැන ශාලිත විජේසුන්දර  මහතා පවසන්නේ මෙසේය.

"මගේ පියා මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මිනිස්කම උතුරා ගිය පුද්ගලයෙක්. එතුමා හැමෝටම පුළුවන් තරමින් උදව් කළා. ඒ නිසා මගේ පියා ඉතාම කුරිරු ලෙස ඝාතනය කිරීම ජේවීපිය වෙනුවෙන් පෙනී හිටි අයත් හෙළා දැක්කා. 


අපේ තාත්ත දේශපාලනයට ගෑවිලාවත් හිටියේ නැහැ. අපේ තාත්තා මේ විදියට මරා දැමීම අපට අදහාගන්න බැරිවුණා. තාත්තා නැති අඩුපාඩුව අපේ ගෙදර කවදාවත් මකන්න බැරිවුණා. තාත්තා නැතිවුණාම පවුලක් අනාථ වෙනවා. මොනව තිබුණත් මොන සම්පත් තිබුණත් ඒ අඩුපාඩුව මකන්න කවදාවත් බැහැ. 

අපේ තාත්තා මේ රට පිළිගත්ත බුද්ධිමතෙක්. විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙක් විදියට මේ රටේ උගත් පරපුරක් හදන්න කැපවුණ පුද්ගලයෙක්. එතුමා කළ මෙහෙය අදටත් කොළඹ විශ්ව විද්‍යාලයේ කැපී පෙනෙනවා. 

අපට ගොඩනැඟිලි, ආයතන ඇති කරන්න පුළුවනි. නමුත් පුද්ගලයෙක් නැවත ඇති කරන්න බැහැ. මෙහෙම මරා දාන්න තරම් අපේ තාත්ත කරපු වැරැද්ද මොකක්ද? අපේ පියා මනුෂ්‍යයන්ට ආදරය කළ මනුෂ්‍යයන් පෙරළා ආදරය කළ පුද්ගලයෙක්. 

මානුෂික ගතිගුණ උතුරා ගිය පුද්ගලයෙක්. තමන්ගේ පවුලට විතරක් නෙවෙයි රටටම යුතුකම් ඉටුකළ පුද්ගලයෙක්. අපි අදහන බෞද්ධ ධර්මය අනුවත් මනුෂ්‍ය ඝාතනය මිනිහකුට කරන්න පුළුවන් ලොකු පාපයක්. ඊට එහා පාපයක් නැහැ. 

මොන වැරැද්ද කළත් කිසිම කෙනකුගේ ජීවිතය ගන්න තව කෙනෙකුට අයිතියක් නැහැ. අපේ රටේ ව්‍යවස්ථාව අනුවත් ඒ අයිතිය එහෙමයි. ලෝකෙත් එහෙමයි. මනුෂ්‍ය ජීවිතය ඉතාම උතුම් එකක් විදියටයි බෞද්ධ ධර්මය අනුවත් අපි පිළිගන්නේ. 

ගවයෙකුගේ වුණත් ජීවිතය විනාශ කිරීම අපි විශාල පාපයක් ලෙස සලකන නිසාම අපි මරණයට කැපවූ ගවයන් නිදහස් කරනවා. ඝාතන කරන අයට ස්වභාවධර්මයෙන් වත් ගැලවෙන්න ඉඩක් නැහැ. ඒක මේ ජීවිතයේම පඩිසන් දෙනවා.

පසුගිය සමයේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල නායකයකු වන කේ. ඩී. ලාල්කාන්ත මහතා විසින් සිදු කර තිබෙන ප්‍රකාශයක් අනුව භීෂණ සමයේ ඝාතන පිළිබඳව වගකීම ඔවුන් විසින් බාරගෙන තිබේ. මේ අනුව ජවිපෙ අණින් ඝාතනයට ලක්වූ මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර උප කුලපති තුමා ඇතුළු දහස් සංඛ්‍යාත පුද්ගලයන් වෙනුවෙන් යුක්තිය ඉටු කල යුතුය.

- දර්ශනී විමලසුරිය
 
Related Posts with Thumbnails