Ads 468x60px

.

‘මම කැමතී නෑනට නෑනා කැමැති නෑ මට’ සහන් නෑනා ගැන හෙළිකරයි

‘ඔබෙන් ලැබෙන තොත්තුවේ රසයට හද පත්තු වේ කිරියි පැණියි වගේ ඉන්න එනවද මගෙ වස්තුවේ මං කැමතී නෑනට නෑනා කැමැති නෑ මට…’

හැඟුම්බර මේ පද, මේ හඬ නොඇසූ කෙනෙක් නැතිව ඇති. ආදරය වෙනුවෙන් දන්න සෙල්ලම් ඔක්කොම දාන ඔහුට නෑනාගේ හිත ගන්න බැරි වුණාට රටක ආදරය දිනාගන්න ඒ තරම් අපහසු වුණේ නැහැ. 


සහන් ජයශාන්තව හමුවුණේ නෑනා ගැන විතරක් නෙවෙයි අපි නොදන්න ඔහු ගැනත් විමසන්න…

සහන් ජයශාන්තට වඩා කවුරුත් දන්නෙ නෑනාව?

ඇත්ත. මට සහන් කියලා කතා කරන්නේ දන්න අඳුනන අය විතරයි. අනෙක් හැමෝම කතා කරන්නේ නෑනා කියලා.

එහෙනම් අපි ‘නෑනා’ගෙන්ම කතාව පටන්ගමු. ඔය තරම් හැඟුම්බර වුණේ ඇත්තටම නෑනා අකමැති වුණ නිසාද?


නෑනාගේ සැබෑ අයිතිය මගේ නෙවෙයි. ඒ නිර්මාණයේ මුල්ම හිමිකරු වුණේ මගේ තාත්තා… මීට අවුරුදු ගාණකට කලින් තාත්තා ඔය විරිඳුව නිර්මාණය කරලා තිබුණත් ඒක වැඩිය කියලා තිබුණෙ නෑ… තාත්තා පැත්තකට දාලා තිබුණු නෑනාව මම හොයාගෙන මට ඕනෑ විදියට හදාගත්තා. වචන වෙනස් කළේ නෑ… රබන් වාදන රටාව වෙනස් කළා… වාදනයෙන්, ගායනයෙන් මගේ අනන්‍යතාවක් ගොඩනඟා ගත්තා. ඒක සිද්ධ වුණෙත් මීට අවුරුදු 15කට විතර කලින්.

අවුරුදු 15ක් පරණ නෑනා හිටිහැටියේම කරළියට ආවේ කොහොමද?

මම ඔය විරිඳුව විරිඳු ප්‍රසංගවල කිව්වා. රූපවාහිනි නාළිකාවල වැඩසටහන්වලට කිව්වා. ඒත් ස්වාධීන රූපවාහිනියේ ‘වෙනස’ වැඩසටහනට සහභාගි වුණාට පස්සෙයි, මගේ ජීවිතයේ ලොකු වෙනසක් වුණේ. ඊට පස්සේ මහේෂ් දෙණිපිටිය අයියාගේ ආරාධනයෙන් දෙරණ ඩෙල් ස්ටූඩියෝ වැඩසටහනට සහභාගි වීමත් එක්ක තවත් ප්‍රතිචාර වැඩි වුණා.. ප්‍රතිචාර විතරක් නෙවෙයි සුනිල් පෙරේරා, පියල් වගේ සංගීත ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයොත් එක්ක නිර්මාණයක් කිරීම මගේ හීනයක්. ඒ හීනේ මගේ කිසිම දැනහැඳුනුම්කමක් නැතිව මහේෂ් අයියාගේ මැදිහත්වීමෙන් හැබෑ වුණා…

ඒ කියන්නේ සහන් හුඟාක් හීන දැකපු කෙනෙක්?

මගේ අම්මේ ඔව්… දන්න දවසෙ ඉඳන් හීන තමයි දැක්කේ… දැන් තමයි ඒ හීන හැබෑ වෙන්නේ.

කුණු දූවිලිවලින් වැහිලා තිබුණු ‘නෑනා’ හොයාගෙන අලුත් පණක් දුන්නේ හීන හැබෑකර ගන්න මාවත හොයාගන්නද?

නෑනා… නිර්මාණය කළේ ඒ අදහසින් නම් නෙවෙයි. ඒත් ඒක ඒ විදියටම සිද්ධ වුණා…

‘නෑනා’ නැතිනම් තාමත් සහන් කැලේ පිපුණ මලක්?

ඔව්… මාව මතුකරන්න, මට උදවු කරපු හැම මාධ්‍ය ආයතනයක්ම හිත හොඳින් උදවු කරපු හැම කෙනෙක්ටම ස්තුති කරන්න ඕනෑ… ඒ වගේම තමයි මගේ හැකියාව අඳුනාගත්තට පස්සෙත් මට අත හිත දෙන්න හුඟාක් අය ඉදිරිපත් වුණා. ඒ අතර සංගීත ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයොත් ඉන්නවා. ඒ හැම දෙනාටම ස්තුතියි.

සහන් ජයශාන්ත කියන්නේ පාරම්පරික විරිඳු ගායන ශිල්පියෙක්?

ඔව්. මගේ සීයා ඇම්. වී. අමරදාස. සීයා දක්‍ෂ විරිඳු ශිල්පියෙක්. සීයා ගැන ලොකු මතකයක් නම් නෑ… මට අවුරුදු තුනේදී විතර සීයා අපි අතරින් වියෝ වුණා… ඊට පස්සේ අපේ තාත්තා ඇම්. වී. ගුණදාස නම්බුනාම රැසක් හිමිකරගත් ලංකාවේ ජනප්‍රිය දක්‍ෂ විරිඳු ගායන ශිල්පියෙක්. මම ලොකු මහත් වුණේ රබන් එක්ක. විරිඳු ගීත එක්ක. කාලයත් එක්ක තාත්තා වගේ මමත් ඒ පැත්තට නැඹුරු වුණා.

ඒ කියන්නේ ඔබේ පියා තමයි ඔබේ ගුරුවරයා?

නෑ… පිය උරුමයෙන් මේ දායාදය ලැබුණට මට ගුරුවරයෙක් නෑ. අහන දකින දේවලින් මමයි තනියම ඉගෙන ගත්තේ. රබන් වාදනය කියන්නේ වටිනා ශාස්ත්‍රයක්. ප්‍රගුණ කරන්න ඕනෑ දෙයක්. රබන් වාදනයේ විවිධ උපක්‍රම තියෙනවා. ප්‍රයෝග තියෙනවා. මගේ වාදනයේ තියෙන්නේ මටම අනන්‍ය වූ වාදන රටාවක්.

ගම් පළාත කොහෙද සහන්…?

පිළියන්දල මඩපාත.

‘හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ’ කියනවනේ. පාසල් කාලෙත් ගායනයේ දක්‍ෂයෙක්ද?

මඩපාත පිලිප් ආටිගල විද්‍යාලයේ මම ඉගෙන ගත්තේ… ඉස්කෝලේ උදෑසන රැස්වීමට, සමිති සමාගම්වලට මගේ ගායනයක් අවශ්‍යමයි. මට මතක විදියට මම මුලින්ම කිව්වේ ‘පාන තියා බුදු සාදුට’ ගීතය. ඒ කාලේ මම පාසලෙත් ජනප්‍රිය චරිතයක්.

විරිඳු ගායකයා අභිභවා ගිහින් ගායකයෙක් වෙන්න කැමැති නැද්ද?

ඇයි නැත්තේ… ඒක තමයි මගේ හීනය. පුංචි කාලේ සංගීත නිපුන් සනත් නන්දසිරි මහත්මයා ළඟටත් විශාරද මාලනී බුලත්සිංහල මහත්මිය ළඟටත් සංගීතය හදාරන්න යන්නෙ ඒ නිසානෙ. මාලනී මිස් තමයි මාව ගුවන්විදුලියේ ළමා පිටියට එක්කන් යන්නෙත්. මාලනී මිස් වගේ එච්. එම්. ජයවර්ධන මහත්මයාවත් ආදරයෙන් සිහිපත් කරන්න ඕනෑ. ඒ අය තමයි පුංචි කාලේ මට මේ ගමන එන්න අඩිතාලම දැම්මේ…

තාම ගායකයෙක් වීමේ හීනයට දුර වැඩිද?

නෑ… මේ දවස්වල මම ඒ හීනෙ හැබෑ කරගන්නයි උත්සාහ කරන්නේ. පන්සිළු ස්ටුඩියෝහි ජනක දළදාවත්තයි, දර්ශන රුවන් අයියයි මට ඒ හීනෙට උදවු කරනවා… ඒ ගීතයේ තනු දර්ශන අයියාගේ. පද රචනාව කළේ මම. අමිල තේනුවර අඩුපාඩු හදලා දීලා හුඟාක් උදවු කළා… ‘මටත් හොරා නුඹෙ හිත මගෙ ළඟින් තියා’ ගීතය වැඩි දවසක් යන්න කලින් එළිදක්වනවා.

ඔබේ විරිඳුවලට වගේම ගීතයටත් රසික ප්‍රතිචාර නොඅඩුව ලැබෙයි කියලා හිතෙනවද?

ඔව්… මම හිතනවා ඒ ගීතයේ ගායනයට, තනුවට විතරක් නෙවෙයි පදවලටත් රසිකයො ආදරය කරාවි.

අද ඔබ විරිඳු ගායන රබන් වාදන උගන්වන ගුරුවරයෙක්?

හත්පෝරුවේ චන්ද්‍රරතන හාමුදුරුවෝ (කැටයම් හාමුදුරුවෝ) මගේ මේ ගමනට හුඟාක් උදවු උපකාර කරනවා. පන්නිපිටියේ ශ්‍රී චන්ද්‍රසේකරාරාමයේ උන්වහන්සේ මම වෙනුවෙන් ‘සිහිල් සෙවණ’ නමින් කලාගාරයකුත් හදනවා. මම දරුවන්ට ඉගැන්වීම් කරන්නේ එහෙ. අද මට පුංචි ගෝලයෝ හුඟාක් ඉන්නවා.

ගායනයට විතරක් නෙවෙයි රංගනයටත් සහන්ට හැකියාව තියෙනවා කියලා හිතෙන්නෙ නැද්ද?

ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයාටත් ඔය දේම හිතිලා සාරංග මෙන්ඩිස් අයියාට කියලා, මාව දෙරණ රූපවාහිනියේ විකාශණය වන ‘ගිනි අවි සහ ගිනි කෙළි’ ටෙලි නාට්‍යයේ චරිතයකට සම්බන්ධ කරගත්තා. මටත් හිතාගන්න බැරිතරම් ප්‍රතිචාර ලැබුණා.

නෑන නිසා සහන්ට හරි ගියා… සහන්ගේ ජීවිතේ වෙනස් කරපු නෑනා කෙනෙකුත් ඇතිනේ…?

නෑනලා ඉන්නවා. ඒත් නෑනා කෙනෙක්ට මගේ ජීවිතේ වෙනස් කරන්න බැරි වුණා.
 
Related Posts with Thumbnails