Ads 468x60px

.

මට අඩ නිරුවත් රංගනයට කතා කළොත්...? දුලානි කියන කතාව..


අඩ නිරුවත 
බටහිර ලෝකයට 
අමුතු දෙයක් ‍නෙවෙයි

ඇය කාලෙකට කලින් ගුම්බක බූතා. පස්සේ කුවේණි. දැන් ඇහැළේ‍පොළ කුමාරිහාමි. ඒ විදිහටයි ඇයව ගොඩක් දෙනා හඳුනාගත්තේ. සැබෑ ජීවිතේදී ඇය නර්තන ගුරුවරියක්. 

මේ විස්තරේට හරියට ගැළපෙන කෙනා දුලානි අනුරාධා. ඇහැළේ‍ පොළ කුමාරිහාමි වෙලා ආයෙත් කරළියට ආපු දුලානි අනුරාධා මේ දවස්වල ආයෙත් ගොඩක් ජනප‍්‍රියයි.

ඇහැළේ‍පොළ කුමාරිහාමි’ තිරගත වීම පටන් අරගත්තා. කොහොමද ප්‍රතිචාර?

රංගනය ගැන ලැබෙන ප්‍රතිචාර නම් ගොඩක් හොඳයි. රංගනය ගැන ක්ෂේත්‍රයේ අය මගේ හිතවතුන් කතා කළේ හොඳ විදිහට. චිත්‍රපටය තිරගත වෙන්න පටන් අරන් තවම ටික දවසයි. තවම ප්‍රේක්ෂක ප්‍රතිචාර
එතරම්ම ලැබෙන්නේ නැහැ. ඒත් දැනට ලැබෙන ප්‍රතිචාර ගැන සතුටුයි.

සිනමා රංගනයේදී ඓතිහාසික කතාවලට වැඩි තැනක් දෙනවාද?

ඓතිහාසික කතා සිනමාවට ගන්න එක මේ කාලයේ රැල්ලක් වෙලා. ඒ නිසා ඒ වගේ කතාවලට දායක වෙන්න වැඩිපුර ආරාධනා ලැබෙනවා. එහෙම නැතිව හිතාමතා ඒ වගේ චිත්‍රපටවලට දායක වෙනවා ‍නෙවෙයි.

දුලානිට වැඩිපුර ගැළපෙන්නේ දැඩි ගති තියෙන කාන්තා චරිත?

මම කරපු චරිත අතර තරමක් දැඩි කාන්තා චරිත තිබුණා. ඒ වගේම බොහොම ළාමක චරිතත් තිබුණා. සමහර විට මගේ පෙනුම, මුහුණේ හැඩරුව නිසා මාව දැඩි චරිතවලට ගැළපෙනවා කියලා කෙනකුට හිතෙන්න පුළුවන්. ඒත් මට නම් දැනෙන්නේ ලැබෙන චරිත ඕන එකක් මට ගැළපෙනවා කියලා.

එකිනෙකට වෙනස් චරිතවලට දායක වීම රංගනයට වැදගත්ද?

රාමුවෙලා හිරවෙලා වැඩ කරන එකෙන් අපිට වෙනසක් දැනෙන්නේ නැහැ. එක වගේ නිර්මාණවල වුණත් වෙනස් චරිත කරන එකෙන් මිනිස්සු අතරට යන්න පුළුවන්.

ඒ නිසා රංගනයට ලැබෙන හැම ආරාධනයක්ම භාර ගන්නවා?

මම වෘත්තියෙන් ගුරුවරියක්. ඒ වැඩකටයුතුත් එක්ක සමබරව කරගෙන යන්න පුළුවන් විදිහටයි මම රංගන කටයුතු භාරගන්නේ.

වෘත්තියෙන් ගුරුවරියක් විදිහට රංගනයේදී සීමාවන් දාගෙන තියෙනවාද?

මම ගුරුවරියක් වෙන්න කලින් ඉඳලම සීමාවන් දාගෙන තමයි රංගනයට දායක වුණේ.

ඇයි රංගනයට සීමාවන් දාගත්තේ?

අපේ රටේ සංස්කෘතියත් එක්ක අපේ ‍ලේවල තියෙන දේවල් අනුවයි අපි වැඩ කරන්න ඕන. බටහිර ලෝකේ තියෙන දේවල් අපේ කරගන්න අපට බැහැ. ඒ නිසා අපට ගැළපෙන දේ විතරයි කරන්නේ.

අපිට ගැළපෙනවා කියන සීමාව තියෙන්නේ කොතැනද?


අඩ නිරුවත් රංගනයක් කරන එක ගත්තොත් බටහිර ලෝකයට අමුතු දෙයක් ‍නෙවෙයි. ඒත් මට අඩ නිරුවත් රංගනයට කතා කළොත් මට ඒක කරන්න අසීරුයි. මොකද ඒ වගේ රංගනයකදී වුණත් වරදකාරී හැඟීමක් දැනෙන නිසා. ඒකයි අපේ සංස්කෘතිය ඇතුළේ අපට තියෙන සීමාව.

ඒක රංගනයක් විතරයිනේ?

රංගනයක් කියන්නේ නිදහසේ කළ යුතු දෙයක්. ඒත් ඒ වගේ රංගනයක් නිදහසේ කරන්න හිත නිදහස් කරගන්න අමාරුයි.

ඒ රංගනය ඔබේ රංගන ජීවිතය ලෝක මට්ටමට ගෙන යනවා කිව්වොත්?

මොන හේතුවක් නිසාවත් ඒ වගේ දර්ශනවලට පෙනී ඉන්නේ නැහැ.

දුලානි රංගනයට ආපු පාර හරිද?

මට රංගනයට එන්න අවස්ථාව ලැබුණේ සිරස කුමරිය තරගයේදී ලැබුණු තැන නිසා. ඒ ආපු විදිහ ගැන ඕන කෙනකුට ඕන තරම් දේවල් කියන්න පුළුවන්. ඒත් මම ආවේ හරි පාරේ.

රංගනයට ආපු විදිය ගැන කවුරුත් මුකුත් කතාවක් හදලාම නැද්ද?

අපට අපිව ඉදිරිපත් කරන විදිහට තමයි ප්‍රශංසා, නින්දා ලැබෙන්නේ. තමන්ගේ පැවැත්ම හරියට තිබුණොත් කාටවත් මුකුත් කියන්න බැහැ, කිව්වත් වැඩක් නැහැ.

ඒ කියන්නේ හිත රිදෙන කතා හැදිලාම නැහැ?

මේ සමාජයේ හැදෙන තරම් කතා හැදෙන්නේ ගැහැනු අයටනේ. තමන් කවුද කියලා තේරුම් අරගෙන හරි විදිහට හිටියාම හැදෙන කතාවලින් හිත රිද්දවා ගන්න වුවමනාවක් නැහැනේ.

රංගන ශිල්පිනියක්, ගුරුවරියක් වුණාම තියෙන ප්‍රතිචාරය කොයි වගේද?

මම පාසලට ඇතුළු වෙන්නේ රංගන ශිල්පිනියක් කියන එක අමතක කරලා. ඒත් රංගන ශිල්පිනියක් තමන්ගේ පාස‍ලේ සිටීම ගොඩක් අයට ලොකු සතුටක්. ඒත් මම මගේ හැකියාවෙන් මිස ජනප්‍රියත්වයෙන් පාස‍ලේදී වැඩ ගන්නේ නැහැ.

වැඩිපුර කැමැති ගුරුවරියක් විදිහට ඉන්න?

ගුරුවරියක් වීම පුංචි කා‍ලේ ඉඳලා මට තිබුණු බලා‍පොරොත්තුව. වැඩි අමාරුවක් කලබලයක් නැතුව ඒ බලා‍පොරොත්තුවට යන්න මට පුළුවන් වුණා. රංගනය කියන්නේ මට ලැබුණු අවස්ථාවක්. මම මේ දේවල්
දෙකටම කැමැතියි.

ජීවිතේ වැඩ වැඩිකමක් දැනෙනවාද?

මම මගේ රැකියාව සහ රංගනය සමබරව කරගෙන යන නිසා වැඩ වැඩිකමක් දැනෙන්නේ නැහැ. ඒත් නිදහසක් ඕන. ඒ නිසා නිවාඩු කාලෙට ‍පොඩ්ඩක් නිදහසේ විනෝදවෙලා එන්න යන්න ඕන. නැත්නම් පිස්සු හැදෙනවා. ජීවිතේ ඒකාකාරී වෙනවා.

දුලානි වටිනාකමක් ඇති රංගන ශිල්පිනියක්ද?

මගේ හැකියාවෙන් මම යමක් කළා කියන විශ්වාසය මට තියෙනවා. මට සම්මාන පවා ලැබුනේ ඒ නිසා කියලයි මම හිතන්නේ. මම හදාගත්තු වටිනාකමක් මට තියෙනවා කියලා මම හිතන්නේ ඒ නිසා.

වෘත්තිය සහ හැකියාව පැත්තෙන් දියුණු වෙද්දී විවාහය අමතක වෙලාද?

විවාහ වෙන්න බලා‍පොරොත්තුවක් තියෙනවා. ඒත් තාම කවුරුත් නැහැ.

මතෛක් කාලෙකට කාගෙන්වත් යෝජනාවක් ඇවිත් නැද්ද?

යෝජනා නම් ඇවිත් තියෙනවා. ඒත් ඒවා කතා කරලා විසඳගන්න පුළුවන් වුණා. විවාහ වෙන්න හිත යන කෙනෙක් ඕනනේ.

ගෙදරින් කෙනෙක් හොයලා දෙනකල්ද බලාගෙන ඉන්නේ?

ගෙදරිනුත් හොයනවා. ඒත් හිතට හරියන කෙනෙක් තාම ලැබුණේ නැහැ.

මොනවද අනාගත සැලසුම්?

දැනට නම් හිතාගෙන ඉන්නේ රඟපෑමයි, ගුරු වෘත්තියයි දෙකම කරමින් ඉදිරියට යන්න. ඉස්සරහදී මොන වගේ තීරණ ගනීවිද කියන්න බැහැ.
 
Related Posts with Thumbnails