Ads 468x60px

.

ගයේෂා පෙරේරාත් එක්ක ඕනවට එපාවට කරන්න බෑලු..

(2006 වසරේ"මිස් ශ්‍රී ලංකා"කිරුළ දිනාගැනීමෙන් පසු ජාත්‍යන්තර සංචාරක රූ රුජින තරගය නියෝජනය කිරීමට ඇයට අවස්ථාව උදාකරගත් ඇය එහි එක් තරග අංශයක් වන Miss Talent තරග අංශය ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවට කීර්තියක් රැගෙන ඒමට සමත්වූවාය. එමෙන්ම රංගන ශිල්පිණියක්, මෝස්තර නිරූපණ ශිල්පිණියක්, නර්තන ශිල්පිණියක් මෙන්ම රූපවාහිනී නිවේදිකාවක් ලෙස ද ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රය වෙනුවෙන් ඇය සිට දායකත්වය ලබාදුන්නාය. ප්‍රේක්ෂක ඔබ ඇය වඩාත් හොඳින් හඳුනන්නේ රංගන ශිල්පිණියක ලෙසයි.මෙවර ආලින්දයට ගොඩවදින ඇය ගයේෂා පෙරේරාය.


*ඉතින්, ගයේෂා කොහොමද මේ දවස්වල ජීවිතේ ගෙවන්නේ?

ජීවිතේ හොඳින් ගෙවෙනවා. පසුගිය දවස්වල ටෙලි නාට්‍යයක රූගත කිරීමකට සහභාගි වුණා. ඒ ටෙලි නාට්‍යය විකාශය වීම පසුගියදා ආරම්භ වුණා. තවත් ටෙලි නාට්‍යයක රූගත කිරීම්වල‍ට මේ දිනවල සම්බන්ධ වෙනවා.

*නමුත් මේ දිනවල ඔබ රංගනය පැත්තෙන් තරමක් ඈත්වෙලා නේද..?

රංගනය පැත්තෙන් ඈත්වුණේ නෑ. මම කොහොමත් එකදෙයක් කරද්දි ගොඩක් වෙලාවට තවත් නිර්මාණ කිහිපයක්ම බාරගන්න කෙනෙක් නෙමෙයි. මම හැමවෙලේම හිතනවා බාරගත් එක්දෙයක් සාර්ථකව, සම්පූර්ණ කරන්න. දෙක, තුනක් බාරගත්තම ඒ දේවල් ඕනවට එපාවට කරන්න බෑ. ඉතින් මං එක් දෙයක් බාරගෙන කරන කෙනෙක්.

*ඔබ රංගනය, නර්තනය, මේ වගේ අංශ කිහිපයකින් කලාවට දායක වෙනවා. ඔබ හිතන්නේ ඔබේ වඩාත් දක්ෂ කුමන ක්ෂේත්‍රයටද?

ඒක ඉතින් මට වඩා ප්‍රේක්ෂකයෝ තමයි තීරණය කරන්න ඕනේ.

*කොහොමද ඔබේ කලා ජීවිතය ඇරඹෙන්නේ?

මම කලාවට පිවිසෙන්නේ අහඹු සිදුවීමක් විදියටයි. මගේ හීනයක් නෙමෙයි. මම පොඩි කාලේ ඉඳලම ඉගෙනගනිද්දි ආසා කළේ වෙනත් බලාපොරොත්තුවක් ඉෂ්ට කරගන්නයි. 2006 වසරේ මම රූ රැජිණ කිරුළ දිනාගැනීමෙන් පසුවයි මට මේ අවස්ථාව ලැබුණේ. රංගනයට පිවිසෙන්න මගේ අදහසක් තිබුණේ නෑ. නමුත් මම නර්තනය පිළිබඳව හැදෑරුවා.

*ඔබ මේ වෙද්දි වෘත්තීය වශයෙන් කලාව හැරුණුවිට වෙනත් ක්ෂේත්‍රයකත් වැඩ කටයුතු කරනවද?

ළඟදීම මම රංගන පාසලක් ආරම්භ කරන්න සූදානමින් ඉන්නවා. එම ආයතනයේ ආයතන ප්‍රධානියා විදිහට මේ දවස්වල එහි වැඩ කටයුතු කරගෙන යනවා. එහි වැඩ කටයුතු ගැන ඉදිරියේදී කියන්නම්.

*ගයේෂා, ඔබ හා සමකාලීන ශිල්පිණින් සමග සසඳද්දී ක්ෂේත්‍රයේ ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගන්න ඔබට අවස්ථාව ලැබුණා කියලා ඔබ හිතනවාද?

මම ජනප්‍රියත්වය පස්සේ යන කෙනෙක් නෙමෙයි. මුලින්ම කිව්වා වගේ මම ක්ෂේත්‍රයට ආවෙත් අහඹුවක් විදිහිටයි. මේ අරමුණක් ඔස්සේ යන ගමනකුත් නෙමෙයි. නමුත් මා තුළ තිබුණු හැකියාවන් ප්‍රමාණයක් මේ ක්ෂේත්‍රය තුළදී එළිදැක්වුණා කිව්වොත් මම නිවැරදියි. ඒ හැකියාවන් එළිදක්වමින් යනවා මිසක් ජනප්‍රියත්වය හෝ කතාබහට ලක්වීම සඳහා නොවෙයි මම ක්ෂේත්‍රයේ රඳාපැවැත්මක් තබාගෙන ඉන්නේ. මගේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමක් පමණයි මම මේ ක්ෂේත්‍රය තුළ කරන්නේ.

*රංගන වෘත්තිය ගෞරවනීය වෘත්තියක් නොවේ කියන අදහසට ඔබ එකඟද?

මම දන්නේ නෑ ඒක කවුරු තීරණය කරනවාද කියලා. අපේ රට තුළ, සමාජය තුළ වෙසෙන මිනිස්සුන්ට එහෙම තීරණය කරන්න බෑ කෙනෙක්ට ගැළපෙන දේ ගැන. සමාජය තුළ කවුරුන් හෝ කෙනෙක් රංගනය හෝ වෙනත් වෘත්තියක නියැලෙනවා නම් ඒ තමාට අවශ්‍ය දෙයයි කරන්නේ. අවශ්‍ය දේ මිසක් අනවශ්‍ය දෙයක් කරනවා කියලා මම හිතන්නේ නෑ. මම හිතන්නේ රංගනය මෙන්ම සියලුම වෘත්තීන් එකිනෙකාට ගැලපෙනවා කියලා. කලා ශිල්පිණියක් වීම ගැන මම සතුටට පත්වෙනවා. මම ඉන්න වෘත්තිය මට වටිනවා. මම ඒ දේ ගැඹුරට හදාරලා ඒ සමග දිගු ගමනක් යන්න උත්සාහ කරන කෙනෙක් විදිහට මම හිතනවා මගේ වෘත්තිය මට වටිනවා කියලා.   

*රංගන වෘත්තිය තුළ ඔබ විසින් පනවාගත් සීමා, කොන්දේසි තිබෙනවාද?

රංගනය කියන්නේ හැමවෙලේම චරිතයකට සාධාරණයක් ඉෂ්ට කිරීම, චරිතයක් නිරූපණය කිරීම. එහිදී මම සීමා පැනවීමක් කරගෙන නෑ. එය අපි අතර සමාජයේ තියෙන චරිතයක් වෙන්නත් පුළුවන්. මම හැමවෙලේම උත්සාහ කරන්නේ ඒ චරිතයට සාධාරණයක් ඉෂ්ට කරන්න මිසක් මගේ සීමා යටතට ඒ චරිතය දාලා මම විදිහට ඒ චරිතය ගොඩනගාගන්න නෙමෙයි. ඒ චරිතයට අනුකූලව මම හැඩගැහෙන්නේ. මම හිතන්නේ මේ ක්ෂේත්‍රය තුළ සීමා. කොන්දේසි වැදගත් වන්නේ නෑ. මම ලැබෙන ඕනෑම චරිතයක් බාරගන්න සූදානම් නෑ. පසුගිය දවස්වල මට විවිධ මාධ්‍ය නාලිකාවල මෙගා ටෙලි නාට්‍යවල ප්‍රධාන චරිත සඳහාත් ආරාධනා ලැබුණා. මම හිතන විදිහට මෙගා නාට්‍ය රැල්ලෙන් අපි ගත යුතු දේ මෙන්ම නොගත යුතු දේත් තියෙනවා. ඒ හැමදෙයක් එක්කම මම තීරණය කළ දෙයක් තමයි මට කරන්න පුළුවන් චරිතයකට සාධාරණයක් ඉෂ්ට කිරීම හොඳයි. නමුත් එකම විදිහට එකම වෙලාවක මාධ්‍ය නාලිකාවන් ගණනාවක සිටීම අවශ්‍ය නෑ කියන දෙය.

*කටකතා සම්බන්ධව ගයේෂාගේ අත්දැකීම් මොනවගේද?



කටකතාවලට මම මුහුණපාලා නෑ. ඒ කියන්නේ ලොකුවට ඒ දේවල්වලට මැදිහත් වෙලා කටයුතු කරලා නෑ. කටකතා හැමෝටම හැදෙනවා. මම හිතන්නේ දේශපාලනය හෝ වේවා ඕනෑම ක්ෂේත්‍රයක ඉන්න අයට කටකතා හැදෙනවා. අන්තර්ජාලය ඔස්සේ ගියොත් නළු නිළියන්ට පමණක් නොවෙයි වෙනත් ක්ෂේත්‍රවල ඉන්න අයටත් කටකතා හැදෙනවා. මම හිතනවා ඒක සාමාන්‍ය දෙයක් කියලා. ඒ ගොඩක් කටකතා බොරුවටයි හැදෙන්නේ. කටකතා සම්බන්ධව මම නම් එච්චර දඟලන කෙනෙක් නෙමෙයි. ඒ දේවල් හැදෙන්නත් ඕන. ඒ දේවල් එක්ක ජනප්‍රියත්වය කියන දෙය ඇතමුන්ට ගොඩනැගෙන්න පුළුවන් කියලා හිතන පිරිස් ඉන්නවා. නමුත් මම හිතන්නේ නෑ ඔය නරක නාමවලින් ලොකු ජනප්‍රියත්වයක් ඇතිවෙයි කියලා. කටකතා කියන්නේ හැමතිස්සෙම නරක දෙයක්. මම පිළිගන්නේ කටකතා කියලා දෙයකුත් රටේ තියෙන්න ඕන. එහෙම නැතිවුණොත් මිනිස්සුන්ට හොයන්න දෙයකුත් නැතිවෙනවා.

*ගයේෂා, ඔබේ පවුලේ සාමාජිකයින් ගැන කතාකළොත්?

මම පවුලේ එකම දරුවා. මමයි මගේ අම්මයි ඉන්නේ. මගේ තාත්තා වෙන්ව ජීවත්වෙන්නේ. මගේ මව්පියන් කලාවට සම්බන්ධ අය නෙමෙයි.

*තිරය ඔස්සේ පෙම්වතියක් විදිහට හඳුනාගත් ගයේෂා මේ වනවිට සැබෑ ජීවිතයේත් පෙම්වතියක්ද කියලා දැනගන්න පුළුවන්ද?

ඔව් කිව්වොත් නිවැරදියි. ඒ ගැන වැඩි විස්තර ඔය කියන කටකතා ඔස්සේම දැනගන්න ලැබෙයි.

*ඔබට ඔබේ රසික රසිකාවියන්ගෙන් විවිධ ප්‍රතිචාර ලැබෙනවා ඇති. ඒ අතරින් රසිකයින්ගේ ආදර යෝජනා ලැබුණු අවස්ථා එහෙම නැද්ද?


රසිකයින්ගෙන් ආදර යෝජනා ලැබෙනවා. ලිපි මාර්ගයෙන් ලැබෙනවා. දුරකථන පණිවිඩ, කෙටි පණිවිඩ මාර්ගයෙනුත් ලැබෙනවා. සමහර තැන්වලදී ඒ දේවල් ප්‍රතික්ෂේප කරල තියෙනවා . එකවරම රසිකයින්ගෙන් වෙන්වෙන්න අමාරුයි අපිට. එවැනි දේවල් ඕනෑම පෘථග්ජන මිනිසෙකුට ඇතිවෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් බොහොම සාමකාමී ලෙස බේරගෙන තියෙනවා.

*ඇත්තද ගයේෂාට ටිකක් වැඩිපුර තරහ යනවා කියන්නේ? විශේෂයෙන් ක්ෂේත්‍රය තුළ වැඩකරද්දී?

මම හැමවෙලේම මම කරන දෙය හරියට කරන කෙනෙක්. සමහර තැන් වලදී සමහරු අසාමාන්‍ය ලෙස හැසිරෙද්දී මම කැමති නෑ. මගේ වෘත්තිය මට විහිළුවක් නෙමෙයි. අද වෙද්දි මට ප්‍රතිරූපයක් ගොඩනැගිලා තියෙනවා මම වැඩකරන විදිහ අනුව. ඒ ප්‍රතිරූපයත් එක්ක ගොඩනැගුණු දෙයක් ගැන වෙන්න ඇති ඔය කියන්නේ. නමුත් මම බොහෝදෙනෙකු සමග සුහදශීලිව වැඩ කරනවා. නමුත් එය බොහෝදෙනෙක්ට පේනවා අඩුයි.  ඒක මගේ ප්‍රතිරූපයත් එක්ක ගොඩනැගුණු දෙයක් වෙන්න ඇති. නමුත් මම නපුරු කෙනෙක් නෙමෙයි. මම කෙලින් වැඩ කරන කෙනෙක් නිසා වෙන්න ඇති ඒ දේවල් කතාවෙනවා ඇත්තේ.

*සාමාන්‍ය ජීවිතයේ ගයේෂා පෙරේරාව හඳුන්වාදෙන්න පුළුවන් කොහොමද?

සාමාන්‍ය ජීවිතයේදී මගේ පාඩුවේ මගේ කලා කටයුතු කරගෙන, මට යන්න පුළුවන් දුර හිතාගෙන සහ මට ජීවිතයේ යම්කිසි කෙනෙකුගෙන් ලැබෙන දෙයක් වෙනුවෙන් ඔවුන්ට පන්නරයක් වෙමින් සෑම මනුස්සයෙකු සමගම සුහදව කටයුතු කරන කෙනෙක් මම. ඒ ගැන ඇතැමුන් විවිධ විදිහට හිතන්න පුළුවන්. නමුත් මම මිනිස්සුන්ට මනුෂ්‍යත්වයෙන් සලකන කෙනෙක්.

*කලා ක්ෂේත්‍රෙයන් සම්පූර්ණයෙන්ම ඈත්වෙන්න සිද්ධවුනොත් ඔබ මොනවගේ ක්ෂේත්‍රයකට යොමුවෙයිද?

කාලයක් යද්දි කොහොමත් කලා ක්ෂේත්‍රයෙන් සමුගන්න සිද්ධවෙනවා. ක්ෂේත්‍රය තුළ අලුත් අයට ඉඩදෙන්න ඕන. හැමෝටම එකම තැන රඳාපැවැත්මක් අඩුයි. එසේ ඉවත්වුණොත් ඒ තැනදි මම ගොඩක් වෙලාවට ගෘහණියක් විදිහට කටයුතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් මම මුලින් කිව්ව විදිහට මගේ ආයතනය වැඩිදියුණු කරගනිමින් ඒ ඔස්සේ ක්ෂේත්‍රයට තවත් නවකයින් බිහිකරන්න උපරිම දායකත්වයක් ලබාදෙන්නත් පුළුවන්.


HARD TALK

*ඔබ ජ්‍යොතිෂය විශ්වාස කරනවාද?

ඔව්.

*ඔබේ ප්‍රථම ආදර සම්බන්ධතාව කොපමණ කල් පැවතුණාද?

මතක නෑ.

*කලා ක්‍ෂේත්‍රයේ ශිල්පියෙකු පිළිබඳව ඔබ තුළ කවදා හෝ ආදර හැඟීමක් ඇතිවෙලා තිබෙනවාද?

නැහැ.

*ඔබ වඩාත් ආදරය කරන කෙනෙකුගෙන් ඔබට ලැබුණු පළමු තෑග්ග?

බල්ලෙක්.

*ඔබේ බාහිර රූපයේ කිසියම් වෙනසක් සිදුකර ගැනීමට ඔබට අවස්ථාවක් ලැබුණොත් ඔබ කැමති මොනවගේ වෙනසක් සිදුකරගන්නද?

මේ වෙද්දි නම් එහෙම ලොකු වෙනසක් කරගන්න අවශ්‍ය නෑ.


*සම්පූර්ණ නම-

වික්‍රමආරච්චිගේ ගයේෂා ලක්මාලි පෙරේරා

*උපන්දිනය

1987. 10. 24

*ලග්නය

ධනු

*ප්‍රියතම විලාසිතාව

ගවුම

*සිහිනය

හීන නෑ

 



 
Related Posts with Thumbnails