Ads 468x60px

.

ඔබේ භාර්යාව කුමනාකාරයේ භාර්යාවක්‌ද - සාරංග අසයි

එළැඹෙන, 2012 නව වසරේ ජනවාරි මස 2 වැනි දා සඳුදා සිට සිරස රූපවාහිනී නාලිකාවේ විකාශයට නියමිත 'භාර්යාවෝ' අප කථානායකයාගේ නවතම ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණයයි. ඔහු ජනප්‍රිය ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂක, සාරංග මෙන්ඩිස්‌ ය.


කොටස්‌ සියයක්‌ පුරා දිවයන දීර්ඝ මාලා නාටකයක්‌ වන, 'භාර්යාවෝ' හි කතා සංකල්පය සහ නිෂ්පාදනය සුධර්මා නොත්තිකුමාරය. ශෂී වීරවංශ ලියූ, මනරම් තේමා ගීතයෙන් වර්ණවත් වූ මෙහි ප්‍රවීන සහ නවක රංගන ශිල්ප, ශිල්පිනියෝ රැසක්‌ රංගන දායකත්වය සපයති.

සාරංග ඔබේ නිර්මාණ දිවියෙහි ඇරඹුම පිළිබඳ පැවසිය හැක්‌කේ කුමක්‌ද?
ඇත්තටම මගේ නිර්මාණ දිවියට මූලික අඩිතාලම සැකසුණේ පාසල තුළින් බව සිහිපත් කළ යුතුයි. මගේ ගම රාගම. හපුගොඩ ශාන්ත මරියා සහ රාගම බැසිලිකා යන විදුහල් හි මා අධ්‍යාපනය ලබන අවධියේ පාසල් වේදිකාවේ නාට්‍ය අධ්‍යක්‍ෂණය කරමින් රංගනයටත් පිවිසුණා. නිර්මාණකරුවකු ලෙස ඉස්‌මතුවීමේ ආශාව මගේ සිතේ පැලපැදියම්ව තිබුණා. ප්‍රවීණ කලා ශිල්පිනී සුනේත්‍රා බණ්‌ඩාරනායකගේ 'සුනෙර පදනම' හා එක්‌ව වසර 2 ක්‌ හැදැරීම් සිදු කළා. කලාව සහ නර්තනය පිළිබඳ මා උගත් දෙය පසුකාලීනව මගේ නිර්මාණ දිවියට අත්වැලක්‌ වුණා.

මුල්ම නිර්මාණ දායකත්වය පිළිබඳ මතකයත් මෙතෙක්‌ ඔබේ අධ්‍යක්‍ෂණය යටතේ සිදුවූ නිර්මාණ පිළිබඳවත් යමක්‌ පැවසුවොත්....
සුනිල් කොස්‌තා මහතා හා එක්‌ව 'සිහින වසන්තයක්‌' ටෙලි නිර්මාණය රැගෙන ආ මා අනතුරුව 'ෂර්ලොක්‌ හෝම්' 3 වැනි කොටසත් 'ආදරේ අහස තරම්', 'සකල එµa.එම්.', 'ගඟ අද්දර' සහ මේ දිනවල අධ්‍යක්‍ෂණය සිදුකරනු ලබන 'භාර්යාවෝ' දක්‌වා ටෙලි නාට්‍ය නිර්මාණ 6 ක්‌ අධ්‍යක්‍ෂණය සිදු කළා.

ටෙලිවිෂන් නිර්මාණකරුවකු ලෙස ඔබ තිරපිටපත ගැන අලුත් විදිහට සිතන්නෙක්‌. ඒ... පිළිබඳ යමක්‌ පැහැදිලි කළ හැකිද...?
ටෙලි විෂන් නිර්මාණ කරුවා ප්‍රේක්‍ෂකයාට සැමවිටම අලුත් යමක්‌ ලබාදීමේ සූදානමින් පසුවන්නෙක්‌ විය යුතුයි. පවතින ඒකාකාරී රැල්ලට හසුව ගසානොයන්නෙක්‌ විය යුතුයි. හොඳ නිර්මාණයක්‌ කළොත්, එය හොඳ විදිහට විකුණනවා සේම, යහපත් ප්‍රේක්‍ෂක ආකර්ෂණයට නතුවන්නක්‌ද වෙනවා. මේ කරුණු මත පදනම්ව ප්‍රේක්‍ෂකයාගේ පැත්තේ සිට නිර්මාණකරණයට මා යොමුවන්නේ පැවැත්ම ආරක්‍ෂාකර ගැනීමට මුල්තැන ලබාදීමටයි.

දීර්ඝ මාලා නාටක (මෙගා) ප්‍රේක්‍ෂකයන් හෙම්බත් කරන්නක්‌ නොවේද?
ඇත්තටම දැන් මිනිසුන් වැඩිපුර නරඹන්නේ රූපවාහිනිය. ඒ තුළ, ටෙලිවිෂන් කර්මාන්තයක්‌ ඇතිවෙලා. 'මෙගා' අපට එපා යෑයි මා කියන්නේ නැහැ. හැබැයි ඒ හරහා ගුණාත්මක හා වින්දනීය නිර්මාණ බිහිවිය යුතුයි.

ඔබේ නවතම ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණය 'භාර්යාවෝ' ය. ඔබ කියන ගුණාත්මක සහ වින්දනීය අත්දැකීම මේ තුළින් ප්‍රේක්‍ෂකයාට ලැබේවිද...?
සත්තකින්ම මෙහි විකාශය ඇරඹුමත් සමඟම ඔබේ පැනයට පිළිතුරු ලැබේවී. මෙහිදී අපේ නිෂ්පාදිකාව සුධර්මා නෙත්තිකුමාර මහත්මිය ලබා දුන් දායකත්වය පිළිබඳවත් කෘතවේදීව සිහිපත් කළ යුතුයි. කලාවට හිතැතිව, එයට ආදරය කරන්නියක ලෙස 'ගඟ අද්දරදී' දැක්‌වූ දායකත්වයට නොවෙනස්‌ වූ පිරිවැයක්‌ 'භාර්යාවෝ' සඳහා නිර්භයව යෙදවූයේ මගේ යෝජනාවට සහ ඇති වූ විශ්වාසයත් පෙරදැරිවයි.




'භාර්යාවෝ' ටෙලි නිර්මාණය හරහා ඔබ පෙන්වන 'සප්ත භාර්යාවන්' වර්තමාන සමාජයෙහි දැකිය හැකිද...?
නිසැකයෙන්ම, මේ භාර්යාවෝ සත්දෙනාම අපේ සමාජයේ දිවි ගෙවන්නන්. එකිනෙකාට වෙනස්‌ව ගලායන ඔවුන්ගේ ජීවිතයන් හි සැබෑ පැතිකඩ මේ චරිත හරහා ගෙනහැර දැක්‌වීමට අධ්‍යක්‍ෂවරයා ලෙස මා උත්සුක වූවා.

'මාතු භාර්යා (සබීතා පෙරේරා), භගිණි භාර්යා (නෙහාරා පීරිස්‌), වදක භාර්යා (දමිතා අබේරත්න), දාසි භාර්යා (නිමන්ති පෝරගේ), ස්‌වාමි භාර්යා (මාධනි මල්වත්ත), සකී භාර්යා (දිල්හානි ඒකනායක), චෝර භාර්යා (සන්ධ්‍යා මෙන්ඩිස්‌) යන රංගන ශිල්පිනීන් ඔවුන්ගේ ඇත්දැකීම් බහුල පරිපූර්ණ වූ රංගනයන් හරහා මේ චරිතයන්ට උපරිම සාධාරණය ඉටුකළා යෑයි මා සිතනවා.





'භාර්යාවෝ' ටෙලි නිර්මාණය හැඩකරන අපේ ශිල්පීන් පිළිබඳවත් යමක්‌ පැවසුවොත්....
අපේ රටේ කරනු ලබන නිර්මාණයක්‌ වෙනුවෙන් විශාල රංගන ශිල්ප ශිල්පීන් පිරිසක්‌ දායකත්වය ලබාදෙන මුල්ම අවස්‌ථාව මෙය විය යුතුයි. වසර 17 කට පසු ප්‍රවීණ රංගන ශිල්පිනී සබීතා පෙරේරා රංගනයට එක්‌වූයේ 'භාර්යාවෝ' සඳහායි. ඊට අමතරව, ලකී ඩයස්‌, දිල්හානි ඒකනායක, කාංචනා මෙන්ඩිස්‌, චන්න පෙරේරා, බුද්ධදාස විතානාරච්චි, මාධනී මල්වත්ත, පියුමි බොතේජු, නිමන්ති පෝරගේ, සහන් රන්වල, නිරෝෂන් විඡේසිංහ, පියුමි පුරසිංහ, මේනකා, නෙහාරා පීරිස්‌ ඇතුළු තවත් විශාල පිරිසක්‌ මෙහි රංගනයෙහි නියෑළෙනවා.


සිනමාවට පිවිසීමේ ඔබේ සූදානම මොන විදිහද..?
සැබැවින්ම එය ඉටුකරගත යුතු සිහිනයක්‌. අතීතයේ විසූ සටන් ශිල්පීන් පිළිබඳ මා අතින් ලියෑවුණු තිර පිටපත අනුසාරයෙන් ඉදිරියේදී චිත්‍රපටියක්‌ අධ්‍යක්‍ෂණය කරන්නට සැලසුම්කොට තිබෙනවා.

මෙතෙක්‌ කලාව වෙනුවෙන් දැක්‌වූ දායකත්වයට ඔබ තෘප්තිමත්ද...?
කලාව කියන්නේ මගේ වෘත්තිය සහ ජීවිතය. එහි සදාචාරය ආරක්‍ෂා කරමින් යහපත් වූ නිර්මාණකරණයක නියෑළීම මගේ ඒකායන බලාපොරොත්තුවයි. මෙතෙක්‌ පැමිණි ගමනේ දී ඒ සඳහා මා දිරිමත් කරමින් මගේ දයාබර දෙමාපිය යුවළ ලබාදුන් දිරි දීමට හිස නමා ගෞරව පුදකර සිටින අතර මගේ බිරිඳ චාමිකා සිරිවර්ධන ලබාදෙන සහායත් ආදරණීයව සිහිපත් කරන්නට කැමතියි.


තරුණ නිර්මාණශීලී අධ්‍යක්‍ෂකරුවකු ලෙස ඔහුගේ සලකුණ සිය නිර්මාණ මතින් විද්‍යමාන කරන සාරංග මෙන්ඩිස්‌ නම් වූ ඔහුට සුබ පතන අප එළැඹෙන නව වසරේ විකාශය අරඹන 'භාර්යාවෝ' ටෙලි නිර්මාණය අතරතුරදී ඔහු ගැන තවත් කතා කරමු. එතෙක්‌... සිතන්න... 'ඔබේ භාර්යාව...' කුමනාකාරයේ භාර්යාවක්‌ද....?
 
Related Posts with Thumbnails