Ads 468x60px

.

පළමු සහභාගිත්වයෙන්ම සම්මානයට පාත්‍ර වුනු චාන්දනී


චාන්දනී සෙනෙවිරත්න’ ලංකාවේ රංගන ශිල්පිනියන් අතර රංග ප්‍රතිභාව මනාව සිය චරිතය ඔස්සේ පිළිඹිබු කරන්නට හැකි චරිතාංග රංගන ශිල්පිනියක්. විවිධ භූමිකා ඔස්සේ ප්‍රේක්ෂකයාට සමීප වන ඇය වේදිකාවත්, ටෙලිනාට්‍යයත්, සිනමාවත් තුළ සිය රංග පරාසය විහිදාලමින් සම්මානනීය රංගන ශිල්පිනියක් බවට පත්ව අවසන්. පසුගියදා ඇය ඩුබායි ජාත්‍යන්තර සිනමා උලෙළේ ලංකා නියෝජනය වූ ‘නිකිනි වැස්ස’ සිනමා පටය හරහා ජූරියේ විශේෂ සම්මානයෙන් පුද ලද එකම රංගන ශිල්පිනිය බවට පත්වුණේ ජාත්‍යන්තරය නියෝජනය කළ සිනමාපට රැසක් අභිබවමින්.



මේ විශේෂ කාරණයෙන් ම අපි කතාබහ පටන් ගත්තොත් හොඳයි?
ඇත්තටම ඩුබායිවල පැවැත්වුණේ අටවැනි ජාත්‍යන්තර සිනමා උලෙළ. මෙය ඛාණ්ඩ දෙකක් යටතේ පැවැත්වුණා. යුරෝපා හා ආසියා අප්‍රිකා කියන කොටස් දෙක යටතෙයි පැවැත්වුණේ. ඒ අනුවයි අරුණ ජයවර්ධනගේ ‘නිකිනි වැස්ස’ සිනමාපටය මේ සඳහා නියෝජනය සිදුවුණේ. සිනමා ශාලා 12 ක පමණ මෙම සිනමාපට සියල්ල ප්‍රදර්ශනය වුණා. අපේ සිනමාපටයත් දින දෙකක් ප්‍රදර්ශනය වුණා. ඇත්තටම ලැබුණු ප්‍රතිචාර නම් ඉතාම ඉහළයි. සිංහල අය වගේ ම විදේශීය අයත් අගය කළා. අනෙක් දේ මා සහභාගි වුණ පළමු ජාත්‍යන්තර සිනමා උලෙළත් මෙයයි.

ඒ පළමු සහභාගිත්වයෙන් ම ඔබ සම්මානයට පාත්‍ර වුණා.
ඔව් ඇත්තටම එතැනදී අප්‍රිකා - ආසියා ඛාණ්ඩයේ ජූරියේ විශේෂ සම්මානයක් මා වෙනුවෙන් ප්‍රදානය කළා. ඒ ජූරිය ලබාදුන් එකම විශේෂ සම්මානය වීමත් විශේෂත්වයක්. 

ඩුබායි සිනමා උලෙළ පිළිබඳ මොකක්ද ඔබේ තක්සේරුව.
ඔවුන් එය අඛණ්ඩව කරන සිනමා උලෙළක්. ඇත්තටම ඉතාම ඉහළින් ලස්සනට ඔවුන් ඒ කටයුත්ත කරනවා. මා කලාකාරිනියක් විදිහට එය අගය කරනවා. මෙතැනදී මම සිනමා නිර්මාණවල දැකපු විශේෂත්වය තමයි හැම රටක් ම කතා කරලා තිබුණේ ඒ ඒ රටවල වර්තමානයෙත් පවතින සමාජ දේශපාලන වටාපිටාව පසුබිම පිළිබඳව. නමුත් අපේ සිනමා නිර්මාණය අද පවතින සත්‍ය චරිතයක් වටා ගොඩනැඟුණු කතාවක්. යුදමය කාල සීමාවන් සමඟ ඒ පරිසරය හා මුසුව ගොඩනැඟී තිබුණේ. මා මුලින් කියූ විදිහට මෙය මගේ පළමු ජාත්‍යන්තර සිනමා උලෙළ නියෝජනය විදිහට ලැබූ අත්දැකීම් නම් ඉහළයි.

‘නිකිනි වැස්ස’ මෙහි ඔබේ චරිතය අනෙක් ඔබ කළ චරිතවලට වඩා වෙනස්ම කියලා හිතෙනවා.
ඔව් ඒක ඇත්ත. නමුත් රංගන ශිල්පියකුට ඕනෑම අභියෝගයක් භාරගන්න පුළුවන් විය යුතුයි කියන මතයේ මම ඉන්නේ. පිටපත කියවීමෙන් පසු මා කළ අනෙක් චරිත වලට වඩා කුමන රසයක් චරිතය තුළ ගොඩනගන්න ඕන ද කියලා මම හිතුවා. මෙතැනදී සුවිශේෂ වුණේ මේ චරිතය දැනටත් ජීවත්වන චරිතයක් නිසා එය ගොඩනගන්න මට සිදුවුණ එකයි.

එහෙනම් ඇගේ දායකත්වයත් ඔබේ රංගනය ගොඩනැඟෙන්න හේතුවෙන්නේ ඇයි.
කොහෙත්ම නැහැ. මා ඇය අදටත් දැක නැහැ. මා එහෙම කරන්න හිතුවෙත් නැහැ. මොකද මේ චරිතය මිනී පෙට්ටි සාප්පුවක ඉන්න සේවය කරන චරිතයක්. මම ඇයව අනුගමනය කරන්න උත්සාහ කළා නම් පිටපතට වඩා මා වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ ම මා පෞද්ගලික ඒ සැබෑ චරිතය හා බැඳෙන්න පුළුවන්. එය මේ කතාවේ පිටපතට විශාල බාධාවක් වෙන්න තිබුණා. එහෙම නොවෙන්නයි මට ඕන වුණේ. පිටපත වගේ ම එහි යටිපෙළ තෝරාගෙන චරිතය නිරූපණය කරන්නයි මට ඕන වුණේ.

ඔබ දායක වී තියෙන්නේ සිනමාපට අතළොස්සකටයි. ඇයි ඒ?
යම් තෝරා බේරා ගැනීමක් මා තුළ තරමක් තියෙනවා. අනෙක් දේ අපිට කරන්න දෙයක් තිබිය යුතුයි කියලා මා විශ්වාස කරනවා. නමුත් අපේ දායකත්වය සිනමාව තුළ අඩුයි. ඒ වගේ ම රංගන ශිල්පිනියක් විදිහට අද හැදෙන සිනමාපට වලට මාව අවශ්‍ය නොවෙන්න පුළුවන්. අවශ්‍ය කියලා හිතෙන නිර්මාණවලට මට ආරාධනා ලැබෙනවා. මේ ‘නිකිනි වැස්ස’ වුණත් මාව ඒ චරිතයට අවශ්‍ය නිසයි ගත්තේ. අද තරුණ පරම්පරාවේ හැදෙන නිර්මාණ විවිධයි. ඔවුන් හිතන පතන විදිහ වෙනස්. ඒ නිසා අපි වගේ අයට ඔවුන්ගේ නිර්මාණවලට අවශ්‍යතාවක් ඇති නොවෙන්න පුළුවන්.

මෙම සිනමා උලෙළේ හොඳම නිළියට ඔබ හා කරට කර තරගයක් තිබුණා කියලත් ආරංචියි.
මෙහෙමයි අප්‍රිකා - ආසියා ඛාණ්ඩයේ ඔය පිළිබඳ යම් කතිකාවක් තිබුණා. එහිදී වයස අවුරුදු 12 ක ගැහැනු ළමයකුටයි හොඳම නිළිය සඳහා සම්මානය ලැබුණේ. එය ජූරිය වුණත් හැඟීමක් එක්ක කරන ගනුදෙනුවක්. මට ඔවුන් පෞද්ගලිකව කිව්වේ මේ තීරණය අසාධාරණයි කියලා ඔවුන් දන්නවා. නමුත් ලෝකයේ දරුවන් හා සතුන්ට ආකර්ෂණය වැඩියි කියලා ඔවුන් හිතනවා කියලා. ඒ නිසාම ඔවුන් ජූරියේ විශේෂ සම්මානයක් මා වෙනුවෙන් ප්‍රදානය කළා. කොහොම වුණත් ලෝකයේ කොතැනකදීවත් මෙවැනි තේමාවක් සිනමාවට නැගිලා නැතුව ඇති.

මා නිකිනි වැස්ස දැක්කෙත් මෙම සිනමා උලෙළෙදීයි. බොහො දෙනෙක්ගේ පැසසුම් මට ලැබුණා. අගය කළා. ඉතිං තරුණ පරම්පරාවේ අධ්‍යක්ෂවරයකු විදිහට අරුණටත් නිෂ්පාදක කුසුම්සිරිටත් ස්තුතිවන්ත වෙන්න ඕන. මොකද මෙවැනි සිනමා උලෙළක් මා දැකපු පළමු අවස්ථාව. ඒ වගේ ම වඩා යහපත් නිර්මාණයක් කරන්න ලැබුණා කියන ආත්ම තෘප්තිය අද මට මේ සම්මානයත් සමඟ දැනෙනවා.
 
Related Posts with Thumbnails