Ads 468x60px

.

බොලිවුඩ් තරුවක් වීමට සිහින දකින ලොව මිටිම කෙල්ල


ජෝති හැමදාම සිහින මැව්වේ තරුවක් වීමටයි. ඒ සිහින සැබෑ කරමින් අන්තිමට ඈ විශේෂිත පුද්ගලයෙක් වුණා. ජෝති අම්ගේ උපන්නේ උතුරු ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ නාග්පූර්වල. ඇය තවමත් උසස් පාසල් ශිෂ්‍යාවක්. පසුගිය දිනවල ඇය මුළු ලෝකය පුරාම ප්‍රසිද්ධ වුණා. ඒ ඇගේ උස නිසයි.

ලෝකයේ උසින් අඩුම කාන්තාව ලෙස ජෝති ගේ නම පසුගියදා ගිනස් ලෝක වාර්තා පොතට එක් වුණා. ඇගේ උස සෙන්ටි මීටර්වලින් නම් 62.8 යි. අඟල්වලින් නම් 24.7 යි. ඇයට ඇත්තේ සාමාන්‍යයෙන් වයස අවුරුදු දෙකක ළමයකුගේ උසයි.

පසුගිය දෙසැම්බර් මාසෙ 18 වැනිදා ජෝතිගේ ජීවිතයේ විශේෂ දවසක්. එංගලන්තයේ ලන්ඩන් නුවර සිට නාග්පූර් බලා ආ ගිනස් නියෝජිතයා ඇගේ උස මැන බලා ලොව උසින් අඩුම කාන්තාව ලෙස ජෝති ගේ නම ප්‍රකාශ කළේ එදිනයි. මෙදින ජෝති ට වයස අවුරුදු 18 ත් සම්පූර්ණ වුණා. මේ උත්සවයට ජෝති සමඟ ඇගේ නෑදෑයන් 30 දෙනකු පමණ සහභාගි වූවා.

එදා ජෝති සැරසී සිටියේ ඇය ආසාම කළ ලස්සන සාරියකින්. එදා ඇගේ උපන් දිනයත් සිහිපත් කරමින් නෑයෝ උපන් දින කේක් ගෙඩියකුත් කැපුවා. ජෝති මේසයක් මතට නැංවූ ගිනස් නියෝජිතයා මිනුම් පටියකින් ඇගේ උස මනිද්දි ඇය බලා සිටියේ කඳුළු පිරි දෙනෙතින්.”මං පුංචි වුණු එක ගැන මට හරිම සතුටුයි. එයින් මට අනන්‍යතාවක් සහ පිළිගැනීමක් ලැබුණා. මගේ උස නිසා මං නාග්පුරය ලෝක සිතියමේ සටහන් කළා. දැන් ලොව සැවොම නාග්පුරය ඇත්තේ කොහේද කියා දන්නවා. මෙය මට ලැබුණු උපන් දින තෑග්ගක්”, ලොව උසින් අඩු ම කාන්තාව ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීමත් සමඟම ජෝති පැවසුවා.

පාසල් අධ්‍යාපනය හමාර කර විශ්ව විද්‍යාලයට ගොස් උපාධි ලබා ඉන්පසු බොලිවුඩ් තරුවක වීම ජෝති ගේ බලාපොරොත්තුවයි.මෙය ජෝති ගේ පළමු ගිනස් වාර්තාව නොවේ. ඇය මීට පෙර ගිනස් පොතට එක්වූයේ ලොව උසින් අඩු ම යෞවනිය ලෙසයි. වයස අවුරුදු 18 ලැබුවාත් සමගම ඇයට මේ අලුත් ‘පට්ටම’ ලැබුණා.
ලොව උසින් අඩුම යෞවනිය ලෙස ඇය ජපානයේ සහ ඉතාලියේ සංචාරය කළා. ඒ ගමන්වලදී ගිනස් වාර්තා තැබූ අනෙක් අයද හමුවීමේ අවස්ථාව ඇයට ලැබුණා.

මෙවර ජෝති ගේ උස මැන බැලූ ලන්ඩන් ගිනස් නියෝජිතයා පැවසුවේ ඇය පසුගිය දෙවසර තුළ සෙන්ටි මීටර් එකකින් උසින් වැඩිවී ඇති බවයි. ඔවුන් එය නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළා.ලෝක ඉතිහාසයේ කෙටිම කාන්තාව ලෙස වාර්තා තැබුවේ නෙදර්ලන්තයේ පෝලින් ය. ඇගේ උස අඟල් 24 කි. ඒ 1876 – 1895 අතර කාලයේදීයි.
2011 වසරේ සැප්තැම්බර් වනතුරු ලොව උසින් අඩුම කාන්තාව ලෙස වාර්තාව ඉසිළුවේ ඇමෙරිකාවේ බ්‍රිජට් ය. ඉන්දියාවේ ජෝති බ්‍රිජට්ටත් වඩා සෙන්ටිමීටර් 7 ක් උසින් අඩුය.




 
Related Posts with Thumbnails