Ads 468x60px

.

07 දෙනකුට මරු කැඳවූ තිස්‌සමහාරාම බෝට්‌ටු අනතුරට හේතුව

10 ක්‌ ගමන් කළ හැකි බෝට්‌ටුවේ 22 ක්‌ ගිහින්...

ජීවිතාරක්‍ෂක කබා 9 ක්‌ තිබුණත් කිසිවකු ඒවා පැළැඳ නෑ...

වැව් කණ්‌ඩියේ හිටපු අය කළේ වීඩියෝකර පින්තූර ගහපු එකයි...

අපේ ජීවිත බේරාගන්න ඔවුන් කිසිවක්‌ කළේ නැහැ
අනතුරින් දිවි බේරාගත් රොමේෂ් කියයි...


වගකීම මම භාරගන්නම් කට්‌ටිය එක පාර නැගලා යමු බෝට්‌ටු හිමිකරු කියලා... 

07 දෙනකුට මරු කැඳවූ තිස්‌සමහාරාම බෝට්‌ටු අනතුරට හේතු වී ඇත්තේ දස දෙනකුට පමණක්‌ ගමන් කළ හැකි බෝට්‌ටුවේ ඉතාම අනාරක්‍ෂිත ආකාරයට අධික බීමතින් පුද්ගලයන් 22 දෙනකු ගමන් කිරීම බව පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබෙනවා.


මෙම බෝට්‌ටුවේ ජීවිත ආරක්‍ෂක කබා 09 ක්‌ තිබූ නමුත් එහි ගමන් කළ කිසිවකු ඒවා පැළඳ නොසිටි බවද හෙළිවී තිබෙනවා. මේ අතර බෝට්‌ටුව පැදවූ පුද්ගලයාද අධික ලෙස බීමත්ව ඉතාම නොසැලකිලිමත් ආකාරයට බෝට්‌ටුව පදවා ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළිවී තිබෙනවා.

ඒ අනුව ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන
තිබෙනවා.පෙරේදා (22 වැනිදා) සවස 3.00 ට පමණ සිදුවූ මෙම අනතුරෙන් පුද්ගලයන් 07 දෙනකු ජීවිතක්‍ෂයට පත් වූ අතර ප්‍රදේශවාසීන් හා පොලිසිය එක්‌ව දැඩි වෙහෙසක්‌ දරා සෙසු පිරිස බේරාගෙන තිබෙනවා.

බෝට්‌ටු චාරිකාවේ යෙදුණු පුද්ගලයන් අධික ලෙස බීමත්ව ඉතාම අනාරක්‍ෂිත ආකාරයට බෝට්‌ටුව තුළ හැසිරෙන්නට පටන් ගෙන ඇති අතර ඒ අවස්‌ථාවේ බෝට්‌ටුවේ

සමබරතාව පාලනය කර ගැනීමට නොහැකිව එකවර එය පෙරළී ගිය බව දිවි ගලවාගත් පුද්ගලයකු පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.
මෙම අනතුරින් මියගොස්‌ ඇත්තේ මුනිසාමි මාටින් රසික චන්දිමාල් (26), කළුතර පටබැඳිගේ අසේල නිරෝෂන (20), නම්මුනිගේ ශ්‍රියන්ත පීරිස්‌, මුත්තු කුමාර් ශ්‍රීධරන් (18) නමැති ඉංගිරිය ශාන්ත පීතර ජනපදයේ පදිංචිකරුවන් සහ පැලවත්ත, ගලහිටියාව, ගොඩකවෙල පදිංචි බෝපැත්ත ලියනගේ රොෂාන් තිලකරත්න, අඟුණුකොළපැලැස්‌ස පදිංචි සිරිගල දෙකන රාළලාගේ රනිල් චමින්ද කුමාර, පාදුක්‌ක අංගම්පිටියේ පදිංචි ඩී. මනෝඡ් යන 7 දෙනායි.

මෙම පිරිස කතරගම වන්දනාවේ ගොස්‌ අනතුරුව තිස්‌ස වැවේ බෝට්‌ටු සංචාරයකට පැමිණ බෝට්‌ටුවේ නැගී වැව වටා ගොස්‌ නැවත පැමිණෙමින් සිටියදී අනතුරට ලක්‌ වී තිබෙනවා.
අනතුර සිදුවී පැය කිහිපයක්‌ යන විට අතුරුදන් වූ පස්‌ දෙනකුගේ සිරුරු නාවික හමුදාව, පොලිසිය සහ ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන තිබූ අතර දෙදෙනකුගේ සිරුරු ඊයේ (23 වැනිදා) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා. මියගිය පිරිස හෝමාගම ප්‍රදේශයේ කම්බිදැල් නිෂ්පාදනය කරන ආයතනයකට අනුයුක්‌තව සේවය කරන පිරිසක්‌ බව හඳුනාගෙන තිබෙනවා.

තිස්‌ස වැවේ බෝට්‌ටු සවාරිය ජීවිත හතක්‌ බිලිගත් හැටි

සිද්ධිය වුණු අවස්‌ථාවෙහි වැව් කණ්‌ඩියට වෙලා විශාල පිරිසක්‌ බලා හිටියත් පෙරළුණු බෝට්‌ටුවෙන් ජීවිත බේරාගෙන ගොඩ බිමට පිහිනාගෙන එන අපට උදව් කරන්න කිසිවකු ඉදිරිපත් වුණේ නැහැ.

නමුත් ගොඩබිම හිටිය අය කළේ ඔවුන්ගේ අත තිබූ ෆෝන්වලින් හා කැමරාවලින් අපේ පින්තූර ගත්ත එකයි වීඩියෝ කරපු එකයි විතරම යෑයි හත්දෙනකුට මරු කැඳවූ තිස්‌ස වැවේ බෝට්‌ටු අනතුර පිළිබඳව අදහස්‌ දක්‌වමින් අනතුරින් ජීවිත බේරාගෙන ගොඩබිමට පිහිනා ආ රුමේෂ් තාරක කියයි.

එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ රුමේෂ් තාරක මෙසේ ද කීය.

"මෙම සිද්ධිය වුණේ සවස 3.00 ට විතර. බෝට්‌ටුව අපිත් රැගෙන වැවේ දූව වටේ රවුම් කිහිපයක්‌ ගිහිල්ල ආපසු එන විට බෝට්‌ටුව පැදවූ අය එකවරම බෝට්‌ටුව හැරෙව්වා. ඒ අවස්‌ථාවෙහි බෝට්‌ටුව පැත්තකට බරවෙලා එකවරම පෙරළුණා. 


අනෙක්‌ අය පිළිබඳව සොයන්න කාලයක්‌ නෙවෙයි තිබුණේ. මම මගේ ජීවිතය බේරාගැනීමටයි උත්සාහ කළේ. ඒ නිසා පෙරළුණු බෝට්‌ටුවෙන් වැවට වැටුණු මම ගොඩබිමට පිහිනගෙන ආවා. එසේ ඇවිත් බලන විට තවත් කිහිපදෙනකු මගේ පිටුපස්‌සෙන් ගොඩට පිහිනගෙන ආවා.

මෙසේ පිහිනගෙන ගොඩට ආ අපි දැක්‌කා තවත් කිහිප දෙනෙක්‌ අපේ පසුපසින් ගොඩට පිහිනගෙන ඇවිත් වැව් කණ්‌ඩිය ආසන්නයේදී දියේ ගිලෙනවා. අපි නැවත වැවට පැනලා ඔවුන්ගේ ජීවිත බේරාගෙන ගොඩට ගත්තා.

මෙම සිද්ධිය වන අවස්‌ථාවේ වන්දනාවේ පැමිණි සියයකට අධික පිරිසක්‌ වැව් කණ්‌ඩියට වෙලා බලාගෙන හිටියා. ඔවුන් කිසිවකුත් අපිට උදව් කළේ නැහැ. ඔවුන් කළේ ඔවුන්ගේ අත තිබුණු කැමරා ෆෝන්වලින් සහ වීඩියෝ කැමරාවලින් අපේ පින්තූර ගත්ත එකයි වීඩියෝ කරපු එකයි විතරයි.

පස්‌සේ ගමේ අයත් පොලිසියත් නාවික හමුදාවත් ආවා. ඔවුන් අපිට උදව් කළා. වැවේ ගිලී අතුරුදන් වූ අයගේ මළසිරුරු සොයා මෙහෙයුම් දියත් කළා. ඔවුන් වරින් වර මියගිය අයගේ මළ සිරුරු සොයාගෙන වැවෙන් ගොඩට අරගෙන රෝහලට රැගෙන ගියා.

මළ සිරුරු ගොඩට ගන්නා අවස්‌ථාවෙහි මළ සිරුරු ගොඩට ගත් අයගෙන් සමහරු කිව්වා මේ අය මැරිලද නැද්ද කියලා අපි දන්නෙ නැති නිසා ඉක්‌මනට රෝහලට රැගෙන යමු කියලා.

නමුත් ඒ අවස්‌ථාවෙත් වැව්කණ්‌ඩිය දිගට මෙම සිද්ධිය බලන්න ආපු අයගේ රථවාහන පෝලිමේ ගහල තිබුණා. ඒ එක වාහනයක්‌වත් එම සිරුරු රෝහලට ගෙනියන්න ඉදිරිපත් වුණේ නැහැ.

පසුව ත්‍රීවිල් රථ රියෑදුරන් දෙදෙනකු ඉදිරිපත් වෙලා දියේ ගිලුණු අයගේ සිරුරු රෝහලට රැගෙන ගියා. පොලිස්‌ රථයකිනුත් සිරුරු රැගෙන ගියා. රෝහලෙහි වෛද්‍යවරු එම සිරුරු පරීක්‍ෂා කරලා කිව්වා මියගොස්‌ කියලා.

මෙම සිද්ධිය පිළිබඳව අදහස්‌ දැක්‌වූ බෝට්‌ටු අනතුරින් ජීවිතය බේරාගත් ගංගොඩ ගමගේ ප්‍රදීප් නිශංක (24) මහතා - අපි සේවය කරන්නේ පනාගොඩ කර්මාන්තපුර පුද්ගලික ආයතනයක.

අපි 22 වැනිදා උදෑසන කතරගම ඇවිල්ල පූජා කටයුතු කරලා උදේ 10.30 ට විතර කතරගම ඉඳල තිස්‌සට ආවා අපේ තිස්‌සමහාරාම පිහිටි ගෙදරට යන්න.

ඒ එන අතරතුර තිස්‌ස වැව ළඟ නතර වුණා. අපි බස්‌ එකෙන් බැහැල වැව ළඟට වෙලා ඉන්නකොට අපේ ළඟට බෝට්‌ටුවක්‌ ආවා. ඔහු වැව තුළ ඉඳගෙන ගොඩ හිටිය අපෙන් ඇහුවා වැව වටේ රවුමක්‌ යමුද කියලා. එක්‌ අයකුගෙන් රුපියල් 50 ක මුදලක්‌ අයකරන්නෙ කිව්වා. අපි ඒකට කැමැති වුණා. 


අපේ පිරිසේ 22 දෙනකු ඉන්න නිසා අපි දෙවරකට යමුද කියලා ඇහැව්වා. එවිට ඔහු කිව්වා මේ බෝට්‌ටුවේ 30 කට යන්න පුළුවන්. බය නැතිව නගින්න කියලා. ඔයගොල්ලන්ගේ වගකීමත් අපි බාරගන්නම් කිව්වා.

ඒ අනුව අපේ පිරිස බෝට්‌ටුවට නැග්ගා. අපි බෝට්‌ටුවෙන් තිස්‌ස වැවේ දූපතට ගියා. එසේ ගියාට පස්‌සේ අපි දැනගත්තා බෝට්‌ටුව පදවපු එක්‌කෙනා බීල ඉන්නේ කියලා. ඔහු බීල ඉන්න විත්තිය කලින් දැනගත්ත නම් අපි ඒ බෝට්‌ටුවේ යන්නේ නැහැ.

අපි බෝට්‌ටුවට නැගල නැවත දූපත වටේ රවුමක්‌ ගියා. ඒ යන බෝට්‌ටුව කිහිප වරක්‌ දෙපැත්තට ඇලවෙලා පෙරළෙන්න වගේ හැදුවා. එවිට බෝට්‌ටුවේ හිටගෙන හිටපු අපි එකිනෙකාගේ ඇඟවල් අල්ලගත්තා. ඒ වෙලාවේ බෝට්‌ටුව පදවපු කෙනාට අපි කිව්වා බෝට්‌ටුව හිමින් පදවන්න කියලා. 


ඔහු කිව්වා බයවෙන්න එපා ඔය ගොල්ලන්ගේ ජීවිතවල වගකීම මම බාරගන්නවයි කියලා. ඔහු එහෙම කියලා මීටර් 30 ක්‌ විතර දුර එන විට එකපාරටම ඔහු බෝට්‌ටුව ආ වේගයෙන්ම හැරෙව්වා. ඒ එක්‌කම බෝට්‌ටුව එක පාරටම පෙරළුණා. උඩ හිටපු කිහිපදෙනෙක්‌ම පෙරළුණු බෝට්‌ටුවට යටවුණා. ඒ අය තමයි දැනට මියගොස්‌ සිටින්නේ.

මම ඒ වෙලාවේ පිහිනගෙන ඇවිල්ල ආපසු ගොස්‌ වරින් වර තුන්දෙනෙක්‌ ගොඩට ගත්තා. තවත් පිරිසක්‌ පිහිනගෙන ගොඩට ගියා. ඒ අවස්‌ථාවෙහි බෝට්‌ටුව පදවපු කෙනත් ගොඩ වෙලා බලාගෙන හිටියා මිසක්‌ ඔහු කවුරුවත් බේරගන්න උත්සාහ කළේ නැහැ. මම ඉස්‌සෙල්ලාම බේරගත්තු අය දැනට හම්බන්තොට රෝහලෙහි ප්‍රතිකාර ලබනවා.

මෙම අනතුර ඇසින් දුටු වැව් කණ්‌ඩියෙහි වෙළ
ඳාම් කරන ඩබ්ලිව්. එම්. දර්ශී මංගලිකා මහත්මිය (57) - මෙම සිද්ධිය වන අවස්‌ථාවෙහි මම වෙළෙඳාම් කරන්න ගිහිල්ල වැව් කණ්‌ඩියෙහි හිටියේ. මම දැක්‌කා බෝට්‌ටුව ගොඩ දෙස පැත්තට ඇවිල්ල එකවරම හරවනවා. ඒ එක්‌කම බෝට්‌ටුව පෙරළුණා. 

බෝට්‌ටුව පැදවූ අයගේ අපරීක්‍ෂාකාරී තත්ත්වය නිසා තමයි මෙම ඛේදවාචකය සිද්ධවුණේ. ඔය බෝට්‌ටුවක ගමන් කරන්න නියමිත 8 දෙනාටයි. නමුත් 10 කට 11 කට යන්න පුළුවන්. ඒත් ඒ බෝට්‌ටුවේ 22 දෙනකු පටවාගෙන ගියා. 

බෝට්‌ටුව බර වැඩිවෙලා පාලනය කරගන්න බැරිව තමයි ඔය අනතුර සිද්ධවුණේ. අනතුර සිද්ධවෙන වෙලාවේ ආරක්‍ෂක කබායල්වත් තිබුණේ නැහැ. එහෙම තිබුණා නම් තව කිහිපදෙනකුගේ හරි ජීවිත බේරෙන්න තිබුණා. මේ නිසා බෝට්‌ටු පදවන අය විතරක්‌ නෙවෙයි බෝට්‌ටුවේ යන අයත් තමන්ගේ ජීවිත ගැන සැලකිලිමත් වෙන්න ඕන.

දහවල් 1.15 න් පස්‌සේ කෝල් කළේ නැහැ මල්ලි ගිය බෝට්‌ටුව පෙරළී ඇති බව දැනගත්තේ රාත්‍රී ප්‍රවෘත්තිවලින්
මියගිය මනෝඡ්ගේ සහෝදරිය කියයි...

සිය ආදරණීය මවට වැඳ පළමු පඩිපත ඇයට ලබාදී නිවසින් පිටත් වූයේ කඳ සුරිඳුන් වැඩ සිටිනා කතරගම පුරවරයට සිය සේවා ආයතනයෙන් පිටත් වන විනෝද චාරිකාවට එක්‌වීම සඳහාය. එසේ යන ගමන සිය ජීවිතයේ අවසන් ගමන වන බව ඔහු සිහිනෙන් පවා සිතන්නට නැත. එහෙත් අකාරුණික දෛවය මාපිය යුවළකට පුතෙකුද සහෝදරියකට සහෝදරයෙකුද අහිමි කරමින් ඔහුගේ ජීවිතය බිලිගෙන තිබුණි.

පසුගියදා මෙසේ තිස්‌සමහාරාම වැවේදී බෝට්‌ටුවක්‌ පෙරළීමෙන් මරණයට පත් ව තිබුණේ පාදුක්‌ක ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් අංගම්පිටිය ග්‍රාම නිලධාරි වසමේ 356/1 මැටිඋළුව අංගම්පිටිය ලිපිනයෙහි පදිංචිව සිටි මනෝඡ් රෝහිරත්න (25) අවිවාහක තරුණයෙකි.

මෙම සිදුවීමෙන් දැඩි කම්පාවට පත්ව සිටින මියගිය මනෝඡ් රෝහිරත්නගේ එකම සොහොයුරිය නදීකා රෝහිරත්න මෙනෙවිය (28) කම්පාවට පත්ව මෙසේ පැවසුවාය.

මේ නැතිවෙලා ඉන්නේ මගේ එකම මල්ලී. හෝමාගම පුද්ගලික ආයතනයක සේවයට ගිහින් හරියටම මාසයයි. 21 වැනිදා රාත්‍රියේ පඩි අරගෙන ගෙදර ආවා. ඇවිත් සම්පූර්ණ පඩිය අම්මා අතට දුන්නා. දීලා කිව්වා අම්මේ වැඩපළෙන් හෙට කතරගම යනවා. මමත් යන්නයි ඉන්නේ කියලා. නොගියොත් එහෙමම වැඩකරනවා කියලත් කීවා. මල්ලිගේ ගමනට වැඩි කැමැත්තක්‌ තිබුණේ නෑ.

කොහොම හරි පහුවදා පාන්දර 1.15 ට විතර මල්ලී ලෑහැස්‌තිවෙලා ටි්‍රප් එක ගියා. ගල්ඒදණ්‌ඩ ගාවට බස්‌ එක එනවා කියලා තිබුණා. වෙලාවට බස්‌ එක ඇවිත් තිබුණා. ගමන යන අතරේ මල්ලී දහවල් 1.15 විතර මට කතා කළා. රාත්‍රියේදී මල්ලීගේ යාළුවෙක්‌ කතා කරලා කිව්වා බෝට්‌ටුවක්‌ පෙරලිලා කියලා. ඒ වෙනකොටත් අපි දැනගෙන හිටියේ නැ ඒ මල්ලිගේ බෝට්‌ටුව කියලා. 


ප්‍රවෘත්තිවලට පෙන්නනකොට දැක්‌කේ මේ පිළිබඳ අදහස්‌ දක්‌වන තිස්‌සමහාරාම පොලිසියේ ප්‍රකාශකයෙක්‌ පවසනවා තිස්‌ස වැවේ එවැනි සිදුවීමක්‌ සිදුව ඇති බවත් මළ සිරුරු කිහිපයක්‌ සොයාගෙන ඇති බවත් තවත් සිරුරු කිහිපයක්‌ සොයා ගන්නට ඇති බවත්. සොයාගත් සිරුරුවලින් එක්‌ අයෙකු පාදුක්‌ක පොලිස්‌ බල ප්‍රදේශයට අයත් අංගම්පිටියේ අයෙකු ලෙස හඳුනාගෙන ඇති බවත්ය.

මියගිය අයගේ පියා ගාමිණී ගුණරත්න වන අතර මව රෝහිණි මල්ලිකා වේ. එකම සහෝදරිය නදීකා රෝහිරත්න පාදුක්‌ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරයි.

මේ මරණය කෙසේ වුවද ඇතැම් බෝට්‌ටුකරුවන් ජීවිත සමග සෙල්ලම් කරන අවස්‌ථා අපිද දැක ඇත්තෙමු. ජීවිත ආරක්‍ෂක කබා අනිවාර්ය කර තිබුණද ඒවා නොමැති බෝට්‌ටු ද දකින්නට ඇත. මෙය සියලු දෙනාගේ අවධානයට යොමුවිය යුතු අවස්‌ථාවකි.




 
Related Posts with Thumbnails