Ads 468x60px

.

සුනාමි ව්‍යසනයට අදට වසර 8යි...

සුනාමියෙන් විනාශ වූ දුම්රියෙන් පූජා භාණ්‌ඩ, මල්, සුවඳදුම් රැගෙන පැරෑළිය දක්‌වා...

ශ්‍රී ලංකාවේ හතළිස්‌ දහසකට මරු කැඳවූ සුනාමි ව්‍යසනයට අදට (26 වැනිදාට) වසර 8 කි.

මේ නිමිත්තෙන් රට පුරා අනුස්‌මරණ පිංකම් රැසක්‌ සංවිධානය කර
තිබෙනවා. සුනාමි ව්‍යසනයෙන් මියගිය හා විපතට පත් ජනතාව සිහි කරමින් ආපදා කළමනා කරණ මධ්‍යස්‌ථානය 2005 වසරේ සිට වාර්ෂිකව සංවිධානය කරන ජාතික ආපදා දින උළෙල මෙවර බදුල්ල දිස්‌ත්‍රික්‌කය මුල්කර ගනිමින් අද පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වෙනවා.

විපතට පත් ජනතාව සිහි කරමින් අද පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්‌වා විනාඩි දෙකක නිහඬතාවක්‌ පළ කරන ලෙස ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා සමස්‌ත ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් ඉල්ලා සි
ටිනවා.

සුනාමියෙන් වැඩිම ජනතාවක්‌ මිය ගිය පැරෑළිය සුනාමි ස්‌මාරකය අබියස ද අද විශේෂ පිංකමක්‌ පවත්වනු ලබන අතර 2004 සුනාමියෙන් විනාශ වූ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්ත මේන්තුවේ අංක 50 (කොළඹ කොටුව - මාතර) දුම්රිය පිළිසකර කිරීමෙන් අනතුරුව එම දුම්රියෙන් පිංකමට මහජනතාව ලබාදෙන පූජා භාණ්‌ඩ, මල්, සුවඳ දුම් ආදියද රැගෙන පැරෑළිය දක්‌වා ගමන් කරනු ලබනවා.

මෙම විශේෂ දුම්රිය අද පෙරවරු 6.50 ට කොළඹ කොටුව දුම්රිය ස්‌ථානයෙන් ගමන් ආරම්භ කොට දෙහිවල, ගල්කිස්‌ස, රත්මලාන, මොරටුව, පානදුර, දකුණු කළුතර, අලුත්ගම, බෙන්තොට ස්‌ථානවල නවතන බවත් එහිදී

පිංකමට දායකවීම සඳහා පූජා භාණ්‌ඩ දුම්රිය වෙත භාරදීමට මහජනතාවට අවස්‌ථාව ලබාදී ඇති බවත් ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා පැවසීය.

පැරෑළියේ අද පැවැත්වෙන සුනාමි සැමරුම හා පුණ්‍ය මහෝත්සවය දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක මලිගස්‌පේ ශ්‍රී සුභද්‍රරාමාධිපති රුහුනු විශ්වවිද්‍යාලයේ උපකුලපති රාජකීය පණ්‌ඩිත මහෝපාධ්‍යයාය පල්ලත්තර සුමනජෝති හිමියන්ගේ සහ තෙල්වත්ත පුරාණ රන්පත් රජමහා විහාරාධිපති ගාලු - මාතර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පිටුවල සුමන, පැරෑලියේ විමල යන නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙම අවස්‌ථාවට දකුණු පළාත් ආණ්‌ඩුකාර කුමාරි බාලසූරිය මහත්මිය හා දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විඡේලාල් ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ යන මහත්වරුන්ද සහභාගි වීමට නියමිතය.

අටවැනි සුනාමි සැමරුමට හා පුණ්‍ය මහෝත්සවයට සමගාමීව විශේෂ පිංකම් හා වැඩසටහන් මාලාවක්‌ද සංවිධානය කර ඇත. ඊයේ (25 වැනිදා) පැරෑළිය පදුම ගබ්බාරාම විහාරස්‌ථානයේදී සර්වරාත්‍රික ධර්මදේශනයකි. අද (26 වැනිදා) මහා සංඝයා විෂයෙහි සපිරිකර සංඝගත දක්‍ෂිණාවකි.

රත්ගම ආසනයේ සියලුම විහාරස්‌ථාන සඳහා ප්ලාස්‌ටික්‌ පුටු ප්‍රදානය කිරීම පටුවන සීලක්‌ඛන්ධ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානයේදී අද සිදු කෙරේ. මීට සමගාමීව හෙට (27 වැනිදා) 9.30 ට මෙම විහාරස්‌ථානයේදී නැණසල මධ්‍යස්‌ථානයක්‌ නාමල් රාජපක්‍ෂ මහතා විසින් විවෘත කරන අතර පාසල් දරුවන් 400 ක්‌ සඳහා පාසල් උපකරණ ප්‍රදානයද මෙදින සිදු කෙරේ.



සුනාමි ව්‍යසනයෙන් මියගිය 31229 ක්‌ පිරිස සහ අතුරුදන් වූ 4093 ක්‌ සිහි කරමින් ජපන් පහන් දැල්වීමක්‌ ඊයේ (24 වැනිදා) මාගල්ල මොරගොඩ ඇළ ආශ්‍රිතව සිදු කෙරිණි.

මාගල්ල ජපන් භාෂා පාසල මගින් සංවිධානය කළ මෙහිදී ජපන් ක්‍රමයට අනුව පහන් දල්වමින් ඒවා ජලයේ පාකර හැරිණි.

මාගල්ල ජපන් භාෂා පාසලේ නිරෝෂන් ද සිල්වා ප්‍රමුඛ ජපන් භාෂාව ඉගෙනුම ලබන දරුවන් සහ සුනාමියෙන් ජීවිත අහිමිවූවන්ගේ ඥතීන් මෙම අවස්‌ථාවට සහභාගි වූ අයුරු ඡායාරූපයේ දැක්‌වේ.
 
Related Posts with Thumbnails