Ads 468x60px

.

ලෝක විනාශය දින නියමක් නැතිව කල් ගිහින්.

පැරණි දින දර්ශනය අවසන් වුවද එවැනි තවත් දින දර්ශනයක්...

ශ‍්‍රී ලංකාවේ වේලාවෙන් ඊයේ සවස 4.41ට මත භේදාත්මක මායාවරුන්ගේ දින දර්ශනය අවසන් වු නමුත් ඇතැමුන් අනාවැකි පළ කළ පරිදි ලෝක විනාශයක් හෝ විශේෂ සිදුවීමක් ලොව කිසිදු තැනකින් වාර්තා නොවීය. 

එම වෙලාවේදී පෘථිවිය ඇතුළු ග‍්‍රහලෝක කිහිපයක් ද සූර්යා ද එකම රේඛාවක පිහිටීමෙන් දින 3ක් පෘථිවිය අඳුරේ ගිලෙන බවත් ඒ නිසා ලෝකය විනාශ වන බවද එක් පාර්ශ්වයක අදහස විය. 

සූර්යයාගේ ආලෝකය අඩුවී ලෝකය විනාශ වන බව තවත් පිරිසක් කී අතර කිසියම් ග‍්‍රාහකයක් පෘථිවිය හා ගැටීමෙන් ලෝකය විනාශ වන බවට තවත් අදහස් පළව තිබිණි. පිටසක්වලින් ප‍්‍රහාරයක් එල්ල වනු ඇතැයිද මේ අතර සාකච්චා විය.

කෙසේ වෙතත් ලෝක විනාශයට බියපත් වූ පිරිස් අධික මුදලක් ගෙවා භූගත බංකර් හෝ ආරක්ෂිත යැයි කියන නිවාස මිලදී ගත් බවට රටවල් රැසකින් වාර්ථා විය. ඇතැම් ව්‍යාපාරික සමාගම් සඳ මත සහ අඟහරු මත බිම් කොටස් ද
ආරක්ෂිත ස්ථාන යැයි පවසමින් වෙන්දේසි කෙරුණු බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ලෝක විනාශයෙන් පෘථිවි වැසියන් බේරාගැනීමට ප‍්‍රංශයේ දකුණු දිග ප‍්‍රදේශයේ බග්රාජ් කඳුකරයට පිටසක්වල යානයක් පැමිණෙනු ඇතැයි ද රාවයක් පැතිරී තිබීම හේතුවෙන් එම ප‍්‍රදේශවාසීන් වෙනත් කිසිවකුට එහි පැමිණීමට නොදී දැඩි රැකවල් යොදා පිටසක්වල යානය පැමිණෙන තෙක් බලා සිටි බවද සඳහන්ය. 

මායාවරුන්ගේ නිජ භූමිය වන මෙක්සිකෝව පමණක් ලෝක විනාශයෙන් ආරක්ෂිත බවට පැතිරී තිබූ රාවයක් අනුව දසදහස් සංඛ්‍යාත පිරිසක් අද මෙක්සිකෝවට ද රොක්ව සිටියහ. ශ‍්‍රී ලංකාවේ ඇතැම් ජ්‍යොතිෂඥයන් ද සපථ කර තිබුණේ ලෝක විනාශය අද සිදුනොවුණ හොත් වෘත්තිය අත්හරින බවටයි. 

ලෝක විනාශ කතාවෙන් බියපත් වූ ඇතැම් ශ‍්‍රී ලාංකිකයන්ද ඊයේ සිය සුපුරුදු දෛනික චර්යාව ද අත්හැර නිවෙස්වල හුදෙකලාව සිටීම විශේෂත්යකි. කාර්යබහුල කොළඹ පිටකොටුව ප‍්‍රදේශයේ ද ඊයේ පැවැතියේ වෙනදාට වඩා ඇල්මැරුණු ස්වභාවයකි.

මේ අතර ලෝක විනාශය සිදුනොවීම නිසා දැන් ඇතැමුන් විමතියට පත්ව සිටිති. තවත් සමහරෙකු මුලින් කියූ අනාවැකි වැරදී යාමට හේතු එකතු කරමින් සිටී. කෙසේ වෙතත් ලෝකයේ වැඩිදෙනෙක් තවත් දිනයක් ලෙස සුපුරුදු ලෙස අවසන් කර තිබේ.

තම පැරණි දින දර්ශනය අවසන් වුවද එවැනි තවත් දින දර්ශනයක් ඒ සමග ආරම්භ වූ බව මායාවරුන්ගේ වත්මන් නායකයා පවසා ඇත.
 
Related Posts with Thumbnails